මෙරට විශාලතම තෙල් පිරිපහදුවක් තැනීමේ ආයෝජන කතාව බොරු- ඕමාන රජය කියයි

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාව තුළ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට පාර්ශ්වකරුවකු වන බවට වන ප්‍රකාශය ඕමාන ඛනිජතෙල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබේ.

ඕමාන රජය මේ බව ප්‍රකාශ කර ඇත්තේ මෙරට තුළ ඩොලර් බිලියන 3.85ක තෙල් පිරිපහදු ව්‍යාපෘතියක් සදහා අරාබි රාජ්‍යයක් පාර්ශ්වකරුවකු වන බවට මෙරට රජය කළ ප්‍රකාශයකට දිනකට පසුවයි.

පසුගිය අගහරුවාදා දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී රජය පාර්ශ්වයෙන් පවසා තිබුණේ ඕමානයේ ඛනිජ තෙල් අමාත්‍යාංශය සහ සිංගප්පූරුව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ඉන්දියානු අකෝර්ඩ් සමූහ ව්‍යාපාරය සමග ඒකාබද්ධව දිනකට බැරල් දෙලක්ෂයක පිරිපහදු ව්‍යාපෘතියකට එකගතාව පළකළ බවයි.

ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් 30%ක කොටස් හිමිකාරිත්වයක් ඇති එම පිරිපහදුව හම්බන්තොට වරාය ආසන්නයෙන් ඉදිකරන බව ද එහිදී පවසා තිබුණි.

එය මෙරට විශාලතම විදේශ ඍජු ආයෝජනයක් බව එහිදී සදහන් කළේය.

මෙම ව්‍යාපෘතියට ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් කිසිදු දැනුවත්භාවයක් ඕමාන රජය පාර්ශ්වයෙන් නොමැති බව ඕමානයේ ඛනිජතෙල් සහ ගෑස් කටයුතු අමාත්‍යාංශයේ උපලේකම් සලීම් අල් අවුෆි ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී නිල ප්‍රකාශයක් කර තිබේ.

‘මට ඒ බව දැනගන්න ලැබුණේ ප්‍රවෘත්තියක් විදියටයි. මම දන්නේ නැහැ කවුද ඩොලර් බිලියන 3.8ක චෙක්පතක් අත්සන් කළේ කියලා.’ යැයි ද හෙතෙම පැවසූ බව එරට පුවත් අනාවරණය කළේය.