“රට වහන්න විදියක් නෑ” කැබිනට් සම-ප්‍රකාශක කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රට වසා දැමීමට අවශ්‍යතාව පැවතියද  එම පියවර ගැනීමට හැකි ආර්ථික ශක්තියක් ශ්‍රී ලංකාවට නොමැති බැවින් රට වසා නොදමන බව කැබිනට් සම-ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී හෙතෙම පෙන්වාදුන්නේ රට විවෘතව තබාගෙන හැකිතාක් මෙම ප්‍රශ්නය විසදාගැනීමට රජය උත්සාහ කරන බවය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,
“ශ්‍රී ලංකාවේ අපිට මාස දෙකහමාරකට ආසන්න කාලයක් රට වසා දැමීමෙන් පස්සේ අපි දැක්කා ලංකාවේ ආර්ථිකයේ  ඇතිවෙච්ච කඩාවැටීම. ලක්ෂ ගණනකට රැකියා අහිමි වුණා. ශ්‍රී ලංකාව වැනි දැඩි ලෙස ණය බරින් මිරිකී සිටින රටකට තවදුරටත් රට වසාගෙන සිටීමේ ආර්ථිකමය ශක්තියක් නෑ. අපිට කරන්න උවමනා වුණත් අද හැකියාව නෑ. ආණ්ඩුව පුළුවන් තරම් රට විවෘතව තබාගෙන මේ ප්‍රශ්නය විසඳ ගන්න තමයි උත්සාහ කරන්නේ. කොරෝනා වෛරසය සමඟ ජීවත් වීමට ඉගෙන ගැනීම අද අපි ඉදිරියේ තිබෙන අභියෝගයක්.
අපි දන්නවා IDH රෝහලේ තමයි කොරෝනා රෝගීන් 100%ක්ම ඉන්න රෝහල. එහි කිසිම වෛද්‍යවරයෙකුට හෙදියකට හෝ සාත්තු සේවකයකුට ඒ රෝහලේ රැකියාව කිරීම හේතුවෙන් කොරෝනා වෛරසය බෝ වෙලා නෑ. එයින් පෙනෙන්නේ තමන් නිසිලෙස පරිස්සම් වෙනවා නම් කොරෝනා රෝගීන් පමණක් ඉන්න තැනක පවා රෝගය බෝ නොවී ඉන්න පුළුවන් කියන එක. ඒ නිසා අපට අද සිද්ධ වෙලා තියෙනවා පවතින තත්වය හමුවේ හැකිතාක් දුරට රට විවෘතව තබාගෙන ජීවිතය ගෙනයන්න.” යැයි ද කැබිනට් සම-ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කීය.