රියැදුරෙක් බිම දා ඇඟට පැන්න පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරයි

Picture of අසංක

අසංක

පන්නිපිටිය ප්‍රදේශයේදී ලොරිරථ රියදුරෙකුට මහමග බිම දමා රථවාහන පොලිස් නිලධාරියකු උඩපැන පහරදීමක් සම්බන්ධයෙන් සමාජ ජාල තුළ දැඩි ආන්දෝලනයට තුඩුදුන් වීඩියෝවේ සිටින පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධියේ පොලිස් නිලධාරියා මහරගම පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙක් බවයි.

පන්නිපිටියේ  රථවාහන පොලිස් නිලධාරියෙකුට ලොරි රථයක් ඇඟේ හැපීම  නිසා රෝහල් ගත කර තිබේ.

පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා කළුබොවිල රෝහලට ඇතුළත් කළ පසුව ලොරි රථයේ රියදුරුට තවත් පොලිස් නිලධාරියෙකු විසින් මෙසේ පහර දෙන ලදී.

රියදුරු වරදකරුවකු වූ අවස්ථාවක වුවද පොලිසියට මේ ආකාරයෙන් හැසිරීමට නොහැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටි.

පරුෂ වචනයෙන් බනිමින් එම පොලිස් නිලධාරියා අමානුෂික ලෙස රියැදුරුට පහර දීම ඇතුළත් වීඩියෝව සමාජ ජාල තුල දැඩි විවේචනයට ලක්ව තිබේ.

වීඩියෝවෙන් දැක්වෙන්නේ රථවාහන පොලිස් නිලධාරියා එම පුද්ගලයා පාරට තල්ලු කර ඔහුගේ සිරුරට පනින ආකාරයයි.

පොලිස් නිලධාරියා මෙම ක්‍රියාවෙන් එම පුද්ගලයා මතට වැටේ.

නමුත් අනෙක් අය ඔහුට උදව් කරමින් නිලධාරියා එම ස්ථානයෙන් ඉවත් කරයි.