රුසියානු-යුක්‍රේන යුද්ධය: යුක්‍රේනයට තවදුරටත් සටන් කළ හැකි ද?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ලැබීමෙන් වසර තුනකට ආසන්න කාලයක් ගත වූ පසු, බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ හමුදාවන්ට සටන් ජයගත හැකි වුව ද, යුද්ධ ජයග්‍රහණය කරන්නේ ආර්ථිකයන් බවයි. එසේ නම්, යුක්‍රේනයට මේ අඛණ්ඩ සටන් කිරීම දරාගත හැකි ද?

ජනාධිපති සෙලෙන්ස්කි මෑතකදී කියා සිටියේ යුක්‍රේනයට අවශ්‍ය වන්නේ ‘යුද්ධයට වේගවත් අවසානයක් නොව සාධාරණ අවසානයක් බව’ යි. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය ආධාර නැවැත්වීම සහ අනාගතයේදී ලබාදෙන සහය අවම කරන බවට ඉඟි කිරීමත් සමග, යුද්ධයෙන් පීඩා විඳින යුක්‍රේනයේ ගැටලුකාරී ආර්ථිකයට තවත් වසරක් සටන් කිරීම දරාගත හැකි ද?” යන්න විමසිය යුතුව තිබේ.

යුද්ධය මැද යුක්‍රේනයේ ආර්ථිකය

යුරෝපයේ අනෙකුත් රටවල් හා සසඳන විට යුක්‍රේනය වර්ග ප්‍රමාණයෙන් විශාල වුව ද, එහි ජනගහනය, භූමිය සහ එහි ආර්ථිකය අනුව රුසියාවට වඩා බෙහෙවින් කුඩා ය. පූර්ණ පරිමාණයේ යුද්ධයට පෙර රුසියානු ආර්ථිකය යුක්‍රේනයට වඩා 10 ගුණයකින් විශාල යැයි ගණන් බලා ඇත.

1990 කාල සීමාවේ සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසු ඇතිවූ ආර්ථික අර්බුදය සහ ඉහළ උද්ධමනය සමග සසඳන කළ මෑත ඉතිහාසයේ යුක්‍රේනයේ දරුණුතම මූල්‍ය අර්බුදයට යුද්ධය හේතු විය.

2022 පෙබරවාරි මාසයේ සිට රජය රාජ්‍ය ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ආරක්‍ෂක කටයුතු සඳහා වැය කළ අතර අනෙකුත් වැදගත් ක්ෂේත්‍ර වන රාජ්‍ය සේවා, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය යන කේෂ්ත්‍ර ආවරණය කිරීමට මුදල් සොයා ගැනීම අභියෝගයක් වූ අතර ඉන් අයවැයේ විශාල හිඩැසක් නිර්මාණය කළේය.

A playground next to a destroyed apartment building on April 9, 2022 in Borodianka, Ukraine.
ඡායාරූප ශීර්ෂ වැකිය,2022දී මුලුමනින් ම ආරම්භ වූ යුද්ධයේ මානව පිරිවැයට අමතරව, යුක්‍රේනය මෑත ඉතිහාසයේ එහි දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ ය

රුසියානු ප්‍රහාරයේ මුල් මාසවලදී යුක්‍රේනය රාජ්‍ය බැඳුම්කර විකුණමින් සහ මුදල් මුද්‍රණය කිරීමෙන් හිඟය පියවා ගැනීමට උත්සහ කළේය. 2022 අවසානය වන විට යුක්‍රේන ආර්ථිකය තුනෙන් එකකින් පමණ හැකිලී ඇති අතර උද්ධමනය 25% දක්වා ඉහළ ගොස් තිබේ.

ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ සහය ඇතිව යුක්‍රේනයේ ස්ථාවරත්වයක් ඇති විය.

මුලදී, ඇමෙරිකා එක්සත් ජනපදය, යුක්‍රේනයේ ප්‍රධාන ආධාර සපයන්නා වූ අතර ආර්ථිකය ස්ථාවරව තබා ගැනීම සඳහා හමුදා, මානුෂීය සහ මූල්‍ය ආධාර සපයන ලදී.

නමුත් පසුව මෙම භූමිකාව, විශේෂයෙන් ම යුක්‍රේනයට මූල්‍ය ආධාර ලබා දීම යුරෝපා සංගමය වෙත පැවරිණි.

“අද, යුද්ධයේ පිරිවැයෙන් 80%ක් ආවරණය කරන්නේ යුක්‍රේනය සහ යුරෝපය. ඉතිරි 20% ඇමෙරිකා එක්සත් ජනපදය දරනවා,”යැයි ජනාධිපති සෙලෙන්ස්කි පෙබරවාරි 14 වන දින මියුනිච්හිදී පැවති ආරක්ෂක සමුළුවට එක්වෙමින් එහි සිටි වාර්තාකරුවන්ට පැවසුවේ ය.

යුක්‍රේනයට ලැබෙන මූල්‍ය ආධාර මොනවා ද?

Aid to Ukraine's economy by country in 2022-2024 chart
  • 2022-2024දී යුක්‍රේනයට විදේශ රටවලින් ඩොලර් බිලියන 115කට වඩා ලැබුණ අතර එයට ප්‍රධාන වශයෙන් ණය, ප්‍රදාන සහ ණය සහන බැඳීම් ඇතුළත් ය.
  • ඊට යුරෝපා සංගමයෙන් ඩොලර් බිලියන 44.8ක්, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් බිලියන 31.2ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 12.4ක් ඇතුළත් විය.
  • 2024දී එක්සත් ජනපදය විසින් පොරොන්දු වන ලද බොහෝ ප්‍රමාණයක් හමුදා ආධාර වන ඩොලර් බිලියන 60.7න් ඩොලර් බිලියන 7.9ක් යුක්‍රේනයේ ආර්ථිකයට උපකාර කිරීම සඳහා ණය ලෙස ලබා දී ඇත.
  • ලෝකයේ විශාලතම ආර්ථිකයන් සමූහයේ එකතුව වන G7 කණ්ඩායම, තහනම් කළ රුසියානු වත්කම්වලින් ආපසු ගෙවීමට අසාමාන්‍ය ආදායම් ත්වරණ ඩොලර් බිලියන 50ක විශේෂ ණයක් ලබා දීමට පොරොන්දු විය.
  • යුක්‍රේනය 2025දී සිය මිත්‍ර රටවලින් ඩොලර් බිලියන 38.4ක් ලබා ගැනීමට අපේක්ෂා කරයි.

එය උපකාර වන්නේ කෙසේ ද?

නිල ඇස්තමේන්තුවලට අනුව විදේශීය සහය ඇතිව යුක්‍රේනයේ ආර්ථිකය 2023දී 5.3%කින් සහ 2024දී 3.6%කින් වර්ධනය විය.

ජාත්‍යන්තර ආධාර හේතුවෙන් යුක්‍රේනයට එහි විදේශ මුදල් සංචිත නැවත පිරවීමට, සාපේක්ෂ වශයෙන් ස්ථාවර ජාතික මුදල් ඒකකයක් පවත්වා ගැනීමට මෙන් ම අයවැය හිඟය පියවා ගැනීමට හැකි වී තිබේ.

People walk along Khreshchatyk, the main street in Kyiv, Ukraine, on January 24, 2025
ඡායාරූප ශීර්ෂ වැකිය,යුක්‍රේනයේ ඉදිරි පෙළට ඈතින් පිහිටි ප්‍රදේශවල මිනිසුන්ට ජාත්‍යන්තර ආධාරවලට ස්තුති වන්නට ‘සාමාන්‍ය ලෙස’ ජීවත් වීමට හැකි වී තිබේ.

“යුක්‍රේනයට අඛණ්ඩව සටන් කිරීමට වසරකට ඩොලර් බිලියන 40ක් පමණ අවශ්‍යයි.” සමාජ හා ආර්ථික පර්යේෂණ මධ්‍යස්ථානයේ (CASE Ukraine) බුද්ධි මණ්ඩලයේ ප්‍රධානියා වන දිමිත්‍රෝ බෝයර්චක් පවසයි.

“ආධාර නැතිවුණොත් ඒක ඉතා ම කණගාටුදායක තත්ත්වයක් වෙයි”

යුක්‍රේනයේ දේශීය තත්ත්වය

යුද්ධ කාලවලදී යුක්රේන ආර්ථිකයට ඇති එක ම ගැටලුව මුදල් පමණක් නොවේ. ඊට බලශක්ති හා ශ්‍රම බළකායේ හිඟය ද ඇතුළත් වේ.

රුසියාව යුද්ධයට පෙර යුක්‍රේන බලශක්ති උත්පාදන ධාරිතාවයෙන් අඩකට වඩා විනාශ කර හෝ පාලනයට ගෙන ඇතැයි සැලකේ.

2022 ඔක්තෝබර් සිට 2024 සැප්තැම්බර් දක්වා කාලය තුළ බලශක්ති යටිතල පහසුකම් 1,000කට වඩා වැඩි ගණනක් රුසියානු ප්‍රහාරවලට ගොදුරු වූ බව යුක්‍රේන බලශක්ති අමාත්‍යංශය පවසයි.

Zaporizhzhia nuclear power plant seen in the distance
ඡායාරූප ශීර්ෂ වැකිය,යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සැපොරීෂියා බලාගාරය යුක්රේනයේ විදුලියෙන් වැඩි ප්‍රමාණයක් සැපයීමට භාවිත කළ නමුත් එය පූර්ණ පරිමාණ යුද්ධයේ ආරම්භයේ සිට රුසියානු පාලනය යටතේ පවතී

ප්‍රබල රුසියානු ප්‍රහාරවලින් ආරක්ෂා වුණු න්‍යෂ්ටික බලාගාර, බොහෝ දුරට බලශක්ති ඉල්ලුම සපුරාලයි. උපරිම ඉල්ලුමක් ඇති විටදී, විදුලිය ආනයනය, සුළං සහ සූර්ය බලය සහ ජංගම ගෑස් ටර්බයින මගින් එම හිඟය සපුරාලනු ලැබේ.

මේ සියල්ල ජීවන වියදමට බලපා ඇති අතර ව්‍යාපාර සහ සමස්ත කර්මාන්තවල වියදම් ඉහළ නංවා ඇත.

ශ්‍රම බළකාය තුනෙන් එකකින් අඩුවීම යුක්‍රේනයේ ආර්ථිකයට ඇති තවත් විශාල ගැටලුවක් බව විශ්වාස කෙරේ.

යුද්ධයෙන් සිදුවන මරණ සහ ජීවිත හානි, සංක්‍රමණය මෙන් ම හමුදා සඳහා අඛණ්ඩ බඳවා ගැනිම ඊට ප්‍රධාන හේතු වේ.

880,000කට ආසන්න පිරිසක් මේ වන විට හමුදාවේ සටන් කරමින් සිටින බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

රුසියානු ආක්‍රමණය හේතුවෙන් යුක්‍රේන ජනගහනයෙන් හතරෙන් එකකට පමණ පළා යාමට සිදු වී ඇත. යුක්‍රේන සරණාගතයින් මිලියන හතකට ආසන්න ගණනක් විදේශ රටවල සිටින අතර යුරෝපයේ මිලියන 6.3ක් සහ යුක්‍රේනය තුළ මිලියන 4.6කට වැඩි පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරයි.

යුක්‍රේනයේ ආර්ථිකය කොපමණ කාලයක් පවත්වාගෙන යා හැකි ද?

යුක්‍රේනයට ලබා දෙන ගෝලීය ආධාර අධීක්‍ෂණය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෑතකදී කියා සිටියේ, අභියෝග මධ්‍යයේ වුව ද රටේ ආර්ථිකය තවමත් ශක්තිමත්ව පවතින බව ය.

ආර්ථීක විශේෂඥ දිමිත්‍රෝ බෝයර්චක් පවසන්නේ, විනාශකාරී යුද්ධයකදී සියලු සම්පත් තීරණාත්මක වන අතර ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ප්‍රධාන සාධකයක් බවයි.

යුක්‍රේනයේ ජාතික බැංකුවේ ප්‍රධානී ඇන්ද්‍රි පයිෂ්නි පැවසුවේ, යුද්ධයෙන් යුක්‍රේනයේ පරාජය ආහාර සුරක්ෂිතතා ගැටලු, නව සරණාගත රැල්ලකට සහ රටවල් හරිත ආයෝජන වෙනුවට මිලිටරි වියදම් කෙරෙහි අවධානය යොමු කෙරෙන ආකාරයට මුළු ලෝකයට ම බලපානු ඇති බව ය.

යුක්‍රේනය විශාල වශයෙන් විදේශ ආධාර මත යැපෙන අතර ම ඔවුන් යුද්ධ කාලීන ආර්ථික අභියෝග විසඳීමට මුල පුරා ඇති බව පෙන්නුම් කර තිබේ.

එක්සත් ජාතීන් සහ තුර්කිය විසින් දුර බැහැර රටවලට ආහාර අපනයනය කිරීම සඳහා පහසුකම් සලසන ලද ගිවිසුමක් වන කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුවෙන් රුසියාව ඉවත් වූ විට, යුක්රේනය සහ එහි හවුල්කරුවන් රුසියානු ප්‍රහාරවල අවදානම වළක්වා ගැනීමට කළු මුහුදේ නව මාර්ගයක් ස්ථාපනය කර ගත්තේ ය.

මෙය යුක්‍රේනයට සිය ගොවිපළ ආශ්‍රිත අපනයනය පූර්ව යුද්ධ මට්ටම් කරා ගෙන ඒමට පමණක් නොව අනෙකුත් භාණ්ඩ අපනයනය නැවත ආරම්භ කිරීමට ද උපකාරී විය.

2024දී අපනයන 15%කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 41.6කට වැඩි ආදායමක් ගෙන ආ අතර එය එම වසරේ ජාත්‍යන්තර ආධාරවලට සමාන ය.

2025 සඳහා යුක්රේනයේ ඉදිරි දැක්ම

යුක්‍රේන මුදල් අමාත්‍යංශය පවසන්නේ, 2024දී යුද්ධය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 52කට ආසන්න මුදලක් වැය කළ එය දිනකට ඩොලර් මිලියන 142ක් පමණ වූ බව ය.

2025 සඳහා රජය ආරක්ෂක කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 49ක් වෙන් කර ඇති අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකකට වඩා වැඩි ය.

අමාත්‍යංශය අනුව, සැලසුම් කර ඇති සියලු ම හමුදා නොවන වියදම් බොහෝ දුරට ජාත්‍යන්තර ආධාර මගින් ආවරණය කරනු ලැබේ. ඇතැම් ඒවා අභ්‍යන්තර ආදායම් මූලාශ්‍රවලින් ද ආවරණය කෙරේ.

2025 අයවැය ආවරණය කිරීම සඳහා ඇතැම් බදු වැඩි කර ඇති නමුත් වැඩි බදු පීඩනය ව්‍යාපාරවලට හානියක් විය හැකි අවදානමක් පවතී. එය විශාල වශයෙන් නොවූව ද ආදායම අඩු කිරීමට හේතු වේ.

යුක්‍රේනයේ ජාතික බැංකුවේ ප්‍රධානී ඇන්ද්‍රි පයිෂ්නි පවසන්නේ, පොරොන්දු වූ ජාත්‍යන්තර ආධාර නියමිත වේලාවට ලැබෙනු ඇති බවට සැක කිරීමට හේතුවක් නොමැති බවයි.

එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පවතින ගනුදෙනු සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රවේශය තවමත් හෙළි කර නොමැත.

පොරොන්දු වූ ආධාර තම අනුප්‍රාප්තිකයින් විසින් ලබා දෙනු ඇති බව සහතික කිරීමට බයිඩන් පරිපාලනය පියවර ගත්ත ද, තත්ත්වය “තවමත් මග අංශක 180කින් වෙනස් කළ හැකි”, යැයි ආර්ථික විද්‍යාඥ දිමිත්‍රෝ බෝයර්චක් පවසයි.

රුසියානු-යුක්‍රේන යුද්ධය විසින් ගෙන එන ලද අර්බුදය විසඳීම සඳහා බොහෝ රාජතාන්ත්‍රික ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතින අතර ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, යුක්‍රේනය සහ යුරෝපය අතර ඇති විය හැකි ගිවිසුම් ගැන දැඩි අවධානයක් යොමුව පවතී. නමුත් කල්පවත්නා සාමයක් පිළිබඳව වන අපේක්ෂාව තවමත් දූරස්ථව පවතී