ලබන වසර (2022) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත( අයවැය ලේඛනය) පිළිබඳ තෙවැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද(10) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මෙසේ පැවැත්වෙන්නේ දින 28ක දීර්ඝ විවාදවලින් පසුවය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැය කථාව පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 12 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
ඉන්පසු අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය මස දහතුන් වැනිදා සිට ආරම්භ කෙරුණු අතර එම විවාදය දින හතක් පැවැත්විණ.
ඉන්පසු අයවැය කාරකසභා අවස්ථාවේ විවාද නොවැම්බර් මස 22 වැනිදා සිට ආරම්භ කෙරිණ.
අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන හෙයින් සියලුම මන්ත්‍රීවරුන් අද දිනයේ කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් සිය මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.
අයවැය අවසන් ඡන්ද විමසීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන අද දැඩි කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.
විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු අයවැය විවාද දින තුනක් පසුගියදා වර්ජනය කර තිබුණි.