රටේ ලුණු හිඟයක් ඇතිවේවිද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ ලුනු නිෂ්පාදනයට  බලපෑමක් එල්ල වන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව හම්බන්තොට ලුණු සමාගම ප්‍රකාශ කර සිටී .

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මුහුදු ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වීමේ බලපෑමක් මත මෙරට ලුනු නිෂ්පාදනයට කිසිම බාධාවක් නොවන බවත්, රටේ ලුනු හිඟයක් කිසි විටක ඇති නොවන බවට සහතිකයක් ලබා දිය හැකි බවත් හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා ප්‍රකාශ කර සිටි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

“නැව ගිනි ගැනීම හේතුවෙන් කවර රසායනික ද්‍රව්‍යයක් මුහුදු ජලයට එකතු වුවත් ලුනු නිෂ්පාදයේ දී අධික තාපය යොදා සිදු කරන වාෂ්පී කරණයෙන් එම සියළුම අනවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ඉවත් කරනවා. ඉතිරි වන සෝඩ්යම් ක්ලෝරයිඩ් පමනක් මගින් ලුනු නිෂ්පාදනයට යොදා ගන්නවා. එවිට මිනිස් පරිභෝජනයට නුසුදුසු කිසිවක් එහි අන්තර් ගතවන්නේ නැහැ. දැනට වුවත් මුහුදු ජලයේ විවිධ රසායනික ද්‍රව්‍ය රැසක් තිබෙනවා. මෙම නැව මගින් පමනක් නොව වෙනත් මාර්ග වලින් පවා මුහුදු ජලයට විවිධ දෑ එකතු වෙනවා. ඒ සියල්ලම නිස්සාරනය කිරීමට වාෂ්පී කරනයෙන් හැකියාව තිබෙනවා

එම නිසා රටේ ලුනු නිෂ්පාදනයට මෙය කිසිම බාධාවක් වන්නේ නැහැ. රටේ අවශ්‍යතාවයෙන් සියයට හතලිහක් හම්බන්තොට ලුනු සමාගම මගින් සැපයීම සිදු කරනවා. දැනටමත් ආරක්ෂණ තොග ලෙස මෙට්ට්‍රික් ටොන් 125,000කට වැඩි ප්‍රමාණයක් අප සතුව තිබෙනව. තවත් ආයතන කිහිපයක් මගින්ද ලුනු නිෂ්පාදනය කරනවා. මේ අවස්ථාවේ ලුනු මිල කිසිවිටක ඉහළ දැමීමක් සිදු කරන්නේ නැහැ. අනවශ්‍ය ලෙස ජනතාව බියට පත්වී ලුනු එක් රැස් කිරීම සිදු නොකරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”