ලොක්කාගේ කීමට පොඩිලැසී ජේලර් මරාදැමූ හැටි ‌හෙළිවෙයි

Picture of අසංක

අසංක

බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් රුවන් තිහාර ජයරත්න මහතා ඝාතනය සම්බන්ධයෙන් සැගවුණු රහස් රැසක්අනාවරණය කරගත් ගාල්ලේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් අතර හික්කඩුව තිරාණගම පිහිටි සංචාරක නිවාඩු නිකේතනයක සේවයේ නිරතව සිටි තරුණයින් දෙදෙනක්ද සිටින බව සදහන්ය.

දකුණේ පාතාලයේ ප්‍රබලයෙන් වන පොඩි ලැසී විසින් බන්ධනාගාර සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කර ඇති බව විමර්ශන වලින් මේ වන විටත් හෙළිවී තිබේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් අම්බලන්ගොඩදී ඉකුත් 03 වෙනිදා සවස ඔහුට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. වෙඩික්කරුවන් යතුරුපැදියේ ගමන් කලත් ඔවුන්ව මෙහෙයවමින් ඔත්තු බලා ඇත්තේ මෝටර් රථයකින් ගමන් කළ ලැසියාගේ ගෝලයින් පිරිසකි. කුළියට ගත් එම මෝටර් රථයද විශේෂ පොලිස් කණ්ඩායම විසින් සොයාගෙන ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

පොඩි ලැසී විසින් එම ඝාතනය මෙහෙයවා ඇත්තේ මැගසින් බන්ධනාරයේ සිටය. ඒ සදහා ඔහු භාවිතා කර ඇතැයි හෙළිවන්නේ රත්මලානේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන බේකරි ජයන්ත නැමැත්තා විසින් භාවිතා කල ජංගම දුරකතනයකි. බේකරි ජයන්ත නැමැති මත්කුඩු ජාවාම්කරු සහ ලැසී සිට ඇත්තේ එකම සිර මැදිරියකය. ජේලර්වරයා ඝාතනය කල බව සිය ගෝලයින්ගෙන් දුරකතන ඇමතුමක් ලැබීමත් සමග පොඩි ලැසී සහ බේකරි ජයන්ත එකිනෙකා බදාගෙන සිරමැදිරිය තුළ සතුට සමරා ඇතැයිද දැනගත්නට තිබේ.

මෙම ඝාතනයට පොඩි ලැසීව පොලඹවා ඇතැයි හෙළිවන්නේ බන්ධනාගාර අධිකාරීවරයෙක් බවට සැකකරන තොරතුරු රැසක්ද විමර්ශන කන්ඩායමට ලැබී ඇත. එම අධිකාරීවරයා සම්බන්ධයෙන් මේ වන විටත් එම විමර්ශන කන්ඩායම තොරතුරු රැස්කරමින් සිටී. ඔහු රටින් පළායාමේ සූදානමක් ඇති බවට ලැබී ඇති තොරතුරක් හේතුවෙන් බුද්ධි අංශ ඔහු සම්බන්යෙන් විමසිලිමත්ව සිටින බවත් ගුවන් තොටුපොලෙන් ඔහුට පැන යන්නට නොහැකි ආකාරයට ආරක්ෂක වලලලක් යොවා ඇති බවත් ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඉදිරි පැය කිහිපය තුළ වෙඩික්කරුත් යතුරු පැදියත් වෙඩි තැබූ ටී 56 අවියත් සොයා ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.