ලෝකයේ රට රටවල සාමය යුක්තිය හා සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් නිර්භයව අනුකූල තාවයෙන් යුතුව නිර්මාණශීලී භාවයෙන් කටයුතු කළ ගෞරවනීය පුද්ගලයන් වෙනුවෙන් ලෝක මෙතෝදිස්ත කවුන්සලය පිරිනමන ලෝක මෙතෝදිස්ත සාම ත්‍යාගය මෙවර (2022) හිමි වී ඇත්තේ ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහනායක එබනේසර් ජෝශප් හිමිපාණන්ට ය.
ලක්ෂ අටසීයකට ආසන්න ලෝකවාසී මෙතෝදිස්ත බැතිමතුන්ගේ ගෞරවණීයත්වයට පාත්‍ර වූ මෙම සම්මාන ප්රදානය ආරම්භවූයේ1977 දී ය.එතැන් සිට මේ දක්වා මෙම සාම ත්‍යාගය 38 වතාවක් ලෝකයේ සාමය හා සංහිඳියාව වෙනුවෙන් කැපවූ පුද්ගලයන්ට පිරිනමා ඇත.
එහි දී ඇමරිකාව,ඊජිප්තුව, එංගලන්තය ,සිම්බාබ්වේ කොරියාව,අයර්ලන්තය ජර්මනිය, ඊශ්‍රායලය, දකුණු අප්‍රිකාව, ඝානාව, ආජන්ටිනාව, සියරාලියොන්, බ්රසීලයඩ, ඔස්ට්‍රේලියාව, නයිජීරියාව කෙන්යාව, බොලීවියාව ආදී රටවල ජාතික ආගමික හා වාර්ගික සංහිඳියව හා අන්නෝන්‍ය සාමය වෙනුවෙන්කැප වූ විශිෂ්ට පුද්ගලයන්ට මෙන්ම නෙල්සන් මැන්ඩලා,ජිමි කාටර්, මිකායිල් ගොර්බොචොව්,කොෆි අනන් වැනි මහා පුරුෂයන්ට ද මෙම මෙතෝදිස්ත සාම ත්‍යාගය පිරිනමා ඇත.
එබනේසර් ජෝශප් හිමිපාණන් ආසියානු කලාපයේ එම ත්‍යාගයෙන් පිදුම් ලද ප්‍රථමයා වේ.
නුවරඑළිය කඳපොළ උපන් එබනේසර් ජෝශප් හිමිපාණන් කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබීය.
අනතුරුව තමිල්නාඩුවේ දේවධර්ම ශාස්ත්රාලයේ (Theological) දී සිය උසස් අධ්‍යාපනය ආරම්භ කර විශ්වවිද්‍යාල කිහිපයකින්ම උපාධි ලබා ඇත.
1980 මෙතෝදිස්ත දේවගැතිවරයෙකු වශයෙන් සිය පූජක දිවිය ඇරඹු උන් වහන්සේ සිය කටයුතු ආරම්භ කළේ කොළඹ වේල්ල වීදියේ පිහිටි City mission දේවස්ථාන යෙනි.
කොළඹ නාගරික මුඩුක්කු පැල්පත් ජනතාව හා කොළඹ නගරයේ නාට්ටාමි ප්‍රජාව සමඟ ඉතා සමීපව කටයුතු කළ උන් වහන්සේ 83 ජූලි කලබලවල දී නගරයේ දමිළ ජනතාව ආරක්ෂා කිරීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ අයෙකු බව එම ප්‍රදේශයේ ජනතාව අදත් සිහිපත් කරති.
1999 – 2020 දක්වා දෙවරක්ම ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහලේකම් ධුරය දැරූ උන් වහන්සේ 2002 සිට මේ දක්වා ආගමික සමුළුවේ සම ලේකම් ලෙස ද අන්තර් ආගමික සමුළුවේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ද 2008 සිට අන්තර් ආගමික සමුළුවේ මහලේකම් ලෙස ද කටයුතු කරති.
ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමි,මාදුළුවාවේ සෝභිත නාහිමි,බානගල උපතිස්ස නා හිමි,බෙල්ලන්විල විමලරත්න නාහිමි,මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ සෙසු ආගමික නායකයන් සමඟ ඉතා සමීපව කටයුතු කරමින් එබනේසර් ජෝශප් හිමිපාණන් උතුරේ හා දකුණේ මිනිසුන් තුළ ජාතික සමගිය පිළිබඳ සිතුවිලි ගොඩනැගීමට ද උතුරු නැගෙනහිර ගැටුම් අවසන් වීමෙන් පසු සරණාගත කඳවුරුවල සිටි දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණය සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනයට බෞද්ධ හින්දු කතෝලික හා මුස්ලිම් ආගමික නායකයන් සමග එක්ව කැප වී කටයුතු කළහ.
බෞද්ධ හා සෙසු ආගමික නායකයන් සමඟ එක්ව රට රටවල විවිධ සමුළු සම්මන්ත්‍රණවලට සහභාගි වෙමින් මෙරට ආගමික සහජීවනය පිළිබඳ ගැඹුරු පණිවුඩයක් ලෝකයට ගෙන යාමට උන් වහන්සේ ක්‍රියා කළහ.
අන්තර් ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක සභාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ උන් වහන්සේ ජාතික රූපවාහිනියේ හා ජාතික ගුවන් විදුලියේ ක්‍රිස්තියානි උපදේශක සභාවේ සාමාජිකයෙකු වශයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රිස්තියානි අධ්‍යාපනය පිළිබඳ උපදේශක සභාවේ සාමාජිකයෙකු වශයෙන් ද ජෝශප් එබනේසර් හිමිපාණෝ කටයුතු කරති.
මේ රටේ සාමය උදෙසා කළ කටයුතු වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් උන් වහන්සේ ගෞරව උපහාර සම්මාන රැසකින්ම පිදුම් ලබා ඇත.
එබනේසර් ජෝශප් හිමිපාණන්ට හිමි වූ මෙම මෙතොදිස්ත සාම තිළිණය උන් වහන්සේට පිළිගැන්වීමේ උත්සවය පෙබරවාරි 18 වන සෙනසුරාදා පස්වරු පහට කොළඹ වෙස්ලි විද්‍යාලයේ දී ලෝක මෙතෝදිස්ත සභාවේ සභාපති (කොරියාවේ) බිෂොප් කේ.ජේ.පාර්ක් (K.J.Park) හිමිපාණන් ගේ සහ එහි මහලේකම් අයිවන් ඒබ්‍රහම් බිෂොප්තුමන්ගේ (ද.අප්‍රිකාව) ප්‍රධානත්වයෙන් ද මෙතෝදිස්ත සභාවේ ජාත්‍යන්තර නියෝජිතයන් පනහකට ආසන්න පිරිසකගේ ද සහභාගිත්වයෙන් පැවැත් වෙන බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහා මන්ත්‍රණ සභා ලේකම් ලෙස්ලි ඩරීජු දේවගැතිතුමා පවසයි.