නවතම පුවත්

වාහන ආනයනට ඉඩ ලැබෙන යෝජනාවක් මහබැංකුවෙන් රජයට

Roshan

Roshan


*පවතින බදු ගැනත් නිර්දේශ දීලා
* සල්ලි අච්චුගැහිල්ල බඩු මිලට අදාළ නෑ

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

වාහන ආනයන තහනම ඉවත් වන යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව සූදානම් වෙයි. මහ බැංකු පරිශ්‍රයේදී ඊයේ (14) පැවති ‘ආර්ථික ප්‍රතිපත්ති සමාලෝචනය’ සම්බන්ධයෙන් වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසීය.

මෙරටට වාහන ආනයනය කිරීමේදී සියලු ආනයන වියදම් විදෙස් මුදලින් ගෙවීම සිදුකිරීමේ නව ක්‍රමවේදයක් පිළිබඳව රජයට කඩිනම් යෝජනාවක් ඉදිරිපත් කරන බව එහිදී අධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ඒ අනුව වාහන ආනයන තහනමට හේතුවූ ඩොලර් අර්බුදය ද විස‍ඳ‍ෙන අතර වාහන ආනයනයට ද අවස්ථාව ලැබෙන බව හෙතෙම කීය.

“රට තුළ මේ වනවිට වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇතිවෙනවා අපි දකිනවා. ඒ තුළින් සමහරවිට අපේ පද්ධතියට ඉදිරි කාලයකදී යම් හානියක් වෙන්න පුළුවන් . ඒ නිසා අපේ යෝජනාවක් තිබෙනවා, වාහන ගෙන්වීමට පුළුවන් නම් පිටරට මුදල්වලින්. ඊටත් අමතරව පිටරට මුදල්වලින් ගෙවීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම් ඒ තුළින් විදේශ විනිමය ගලාඒමක් සිදුවෙනවා. අවශ්‍ය භාණ්ඩයත් ලැබෙනවා. හෙට අනිද්දා වෙනකොට අපි රජයට ඒ පිළිබඳව ලිඛිතව දන්වන්න බලාපොරොත්තු වෙනවා.” යැයි ද මහබැංකු අධිපතිවරයා කීය.

මේ අතර මෙරට පවතින ඍජු බදු හා වක්‍ර බදු සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය සළකා බලා ඒ සම්බන්ධ නිර්දේශ සහ සිය මතය මහ බැංකුව විසින් සැප්තැම්බර් 15 දින රජයට යොමු කළ බව ද අධිපතිවරයා එහිදී කීය. ඉදිරි අයවැයේදී මෙම කාරණා සළකා බලා ජනතාවට ලබා දිය හැකි බදු සහන රජය ලබා දෙනු ඇති බවත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.

ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා කියාසිටියේ තමා ඉන්ධන මිල ඉහළ දැමීමට දිරිගන්වන්නෙකු නොවූවද මේ මොහොතේ පවතින තත්ත්වය යටතේ ඉන්ධන වැඩිවීම සිදුවිය යුතු බවත්, එසේ නොවුවහොත් අර්ථිකයට දරාගැනීමට නොහැකි වනු ඇති බවත්ය.

එහිදී ඉන්ධන බදු සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ විට මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, ඉන්ධන බදු අඩු කළ හැකි උපරිමයෙන් අඩු කර ඇති බවත්, එය තිබිය යුතු තත්වයෙන් තිබීම වැදගත් බවත්ය.

මේ අතර මේ වනවිට මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළගොස් ඇත්තේ මුදල් අච්චු ගැසීම නිසා නොවන බව මහ බැංකු අධිපතිවරයා එහිදී අවධාරණය කළේය. ඔහු පෙන්වා දෙන්නේ එම භාණ්ඩවල මිල ඉහළයෑමට බලපා ඇත්තේ රුපියලේ අගය සහ පිටරටවල භාණ්ඩ මිලෙහි සිදුවූ වෙනස්කම් බවය. “ඔබ මහ බැංකුවේ වෙබ් අඩවියට ගියොත් තොරතුරු දැනගන්න පුළුවන්, කොතරම් ප්‍රමාණයක් මුදල් අච්චු ගහලා තියෙනවාද කියලා. මොකද අපිට ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ නැහැ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යනවා දකින්න. අපි ඒක ගැන අවධානයෙන් කළමනාකරණය කරමින් ඉන්නේ. තෙල්, ගෑස් මිල වැඩිවුණේ මුදල් අච්චු ගහලා නෙමෙයි. වැඩිවෙන්න හේතුව සැපයුම් බලපෑම්. රුපියලේ අගය සහ පිටරටවල වෙනස්කම්.” යැයි ද අධිපතිවරයා කීය.

මේ අතර කොවිඩ් හේතුවෙන් අසාදු (ක්‍රිබ්) ලේඛනයට ඇතුළත් වී ඇති ව්‍යාපාරිකයන්ට සහන ලබාදීම සඳහා මහ බැංකුව විසින් අදාළ බැංකු සහ මූල්‍ය ආයතන වෙත උපදෙස් ලබාදී ඇති බවත් ඉදිරියේදී ද ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වෙන බවත් මහ බැංකු අධිපතිවරයා පැවසීය. මෙම වසරේ ශ්‍රී ලංකාව සියයට පහක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය මූල්‍ය අගය නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කළ බවත්, මීට අමතරව මූල්‍ය ස්ථාවරබව උදෙසා වන වෙනත් මූල්‍ය මෙවලම් භාවිතා කිරීමට මහ බැංකුව තීරණය කර ඇති බවත්, ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග තුළින් රට තුළ උද්ධමනය පාලනය කිරීමට හැකිවනු ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත. ඉදිරියේදී රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ අගයකට යොමු කරගැනීමට හැකිවනු ඇති බවත්, ලෝකයේ ආර්ථික වර්ධනය වීමේ ප්‍රවනතාවය මේ වන විට දැකගැනීමට හැකි බවත්, ඉදිරියේදී මෙරට තුළද මෙය සිදුවනු ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි