නවතම පුවත්

විමල් – අගමැති හමුවෙයි

අසංක

අසංක

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තුවේ ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (10) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වූ අතර ඊට අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු ද සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනා ඇතුළත් වාර්තාව හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා උපදෙස් ලබා ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය සාර්ථකව මර්දනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ලොව ඉදිරියෙන්ම සිටිය දී, අප රට අපකීර්තියට පත් කිරීමේ අරමුණින් වැරදි මතවාද ඇතුළත් කොට ඉතා ප්‍රෝඩාකාරීව මෙම මානව හිමිකම් යෝජනාවලිය නිර්මාණය කර ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

රටේ ජයග්‍රහණයට මෙන්ම ස්වෛරීත්වයට හානි වන ආකාරයේ කරුණු 16ක් ඇතුළත් කරමින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙම යෝජනා වාර්තාව ඉදිරිපත් කර ඇතිබව මෙහිදී හෙළි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කර සිටියේ මෙවැනි තීරණාත්මක අවස්ථාවක ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා ලබා ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අග්‍රාමාත්‍යතුමා ඇතුලු පිරිසට ස්තූතිවන්ත වන බවයි.

මෙවැනි අවස්ථාවක ජිනීවා මානව හිමිකම් කොමිසමට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කිරීම නුසුදුසු බවත්, ඒ වෙනුවට අපගේ නිවැරදි භාවය සඳහන් කරමින් විත්ති වාචකයක් පමණක් ඉදිරිපත් කළ යුතු බව උන්වහන්සේ පැවසූහ.

මානව හිමිකම් කොමිසමේ අරමුණ රට බෙදා වෙන්කිරීම බව පෙන්වා දුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මානුෂීය මෙහෙයුමකින් ත්‍රස්තවාදය අවසන් කිරීම යුද අපරාධයක් යැයි කීම මහා අපරාධයක් බව පෙන්වා දුන්හ.

මෙම යෝජනාවලට අදාළව ප්‍රතිසන්ධානය ඉතා භයානක බවත් එවැනි එකඟවීමකින් තොරව කාලය ගෙන පාර්ලිමේන්තුවේ දේශප්‍රේමී පනතක් සම්මත කර ගැනීම උචිත බව පැවසූහ.

මෙම තත්ත්වයට මුහුණදීමට බෞද්ධ රටවලට අපගේ ස්වාමීන් වහන්සේලා හරහා යම් බලපෑමක් කළ හැකි බවත්, ඒ ඔස්සේ සාධනීය පිළිතුරකට ක්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ නාලක අනු නාහිමියන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ මානුෂීය මෙහෙයුමකින් දිනා ගත් නිදහස ආරක්ෂා කර ගත යුතු බවත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හා ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තීන් සැලකිල්ලට ගනිමින් අප කටයුතු කළ යුතු බවත්ය.

මංගල සමරවීර මහතා එකග වූ 30 (1) යෝජනාවේ බලපෑම දීර්ඝ වශයෙන් රටට ඇති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

කල් ගැනීමකට එකඟවීම අවම මට්ටමක පවතින බව කී අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකාවට තර්ජනය ඇත්තේ කුමන පැහැදිලි කිරීම කළත් වෙනස් නොවන රටවලින් බව ප්‍රකාශ කළේය.

ඇතැම් රටවල ප්‍රතිපත්තිය වෙනස් නොවන බවත්, අපට වාසි සහගතව පවතින රටවල් දිනාගැනීම අප විසින් කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

මෙම යෝජනාවලියෙන් සම්බාධක පැනවීම, රටවල් අතර ගමනාගමනය හා විදෙස් රටවල සහයෝගය ලබා නොදීම වැනි කරුණු කාරණා රැසක් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකි බව ප්‍රකාශ කළ අමාත්‍ය විමල් වීරවංශ මහතා එම යෝජනාවලියට විරුද්ධව අපට පක්ෂව සිටින රටවල් සංඛ්‍යාව ඉහළ දමා ගැනීම ඉතාම වැදගත් බව ප්‍රකාශ කළේය.

නඩු අහලා තීන්දු දීම සාමාන්‍ය ක්‍රමවේදය වුවද මෙම යෝජනාවලියෙන් තීන්දුව ඒමටත් පෙර තීන්දු කරලා ඉවර කිරීම යුක්ති සහගත නොවන බවත් යුක්තිය නීතිය හා සාධාරණත්වය මෙම යෝජනාවලියට ගෑවිලාවත් නැති බවත් අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

මෙහිදී පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ මෙම අවදානම් තත්ත්වයට සුවිශේෂී කරුණු 2ක් බලපාන බවයි. ඉස්ලාම් අන්තවාදය හා නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදීම, අවසානයේ අමෙරිකානු අවශ්‍යතා ඉෂ්ඨ සිද්ධ වන තැනට තල්ලු වී ඇතිබව උන්වහන්සේ කීහ.

එසේම මෙම කාරණාවේදී අප රට විසින් යම් කල් ඉල්ලීමක් සිදු කළ යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියන් ප්‍රකාශ කර සිටියේ විදේශ රටවල්වල ප්‍රසාදය මෙරට වෙනුවෙන් නතු කර ගැනීම මෙන්ම, දෙමළ ඩයස්පෝරාවේ මතයට ක්‍රියාත්මක නොවන තානාපති සේවයක් ශක්තිමත් කිරීම තුළ මෙම තත්ත්වයට මුහුණ දිය හැකි බවයි.

ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා පිළිබඳව ස්තූතිවන්ත වූ අග්‍රාමාත්‍යතුමා රට මුහුණ දෙන ඕනෑම අභියෝගයක් හමුවේ මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා සඳහා ප්‍රමුඛස්ථානය ලබාදෙන බව හා ඒ අනුව ක්‍රියා කරන බව පැවසීය.

මෙම අවස්ථාව සඳහා පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමි, පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, පූජ්‍ය මහාචාර්ය ඉත්තෑ දෙමළියේ ඉන්දසාර නාහිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි, පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි, පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී අනුනාහිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනාහිමි, පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, පූජ්‍ය අග්‍රහැරේ කස්සප හිමි, පූජ්‍ය එගොඩ උයනේ ඤාණවිමල හිමි, පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමි, පූජ්‍ය තංගල්ලේ ගෝතම හිමි, පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇතුලු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන ජී.එල්. පීරිස්, , උදය ගම්මන්පිල, විමල් වීරවංශ මහත්වරු හා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්