වේල්ලවීදියේ බෑගයක තිබූ මළසිරුර අයිති තරුණියගේ දේශපාලන සබඳතා හෙළිවෙයි

Picture of අසංක

අසංක

බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කොට කොළඹ කොටුව, වේල්ලවීදියේ බෑගයක දමා තිබූ හිස සුන් මළ සිරුර එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නැගණිය බවට අනාවරණය වෙයි.

ඝාතනය සිදුකළ පොලිස් පරීක්ෂකවරයා යහපාලන ආණ්ඩු සමයේ දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ප්‍රධාන මන්ත්‍රී ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පුද්ගලයායි.

ඒ කාලයේදී දේශපාලන කටයුතු සඳහා ඉහත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවසේ අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රැස්වීම් ආදිය සංවිධාන කර ඇති අතර ඝාතනයට ලක්වූ තරුණිය එකල එම නිවසේ නැවතී සිට තිබේ.

එහිදී පාදේශීය සභා මන්ත්‍රිවරයාගේ නැගණියට මෙම පොලිස් පරීක්ෂකවරයා නිතර හමු වී ඇති අතර ඇය විසින් ඔහු අමතා ඇත්තේ ‘අංකල්’ යනුවෙනි.

ඇය හා පොලිස් පරීක්ෂකවරයා අතර සාමාන්‍ය හිතවත්කමක් තිබී ඇති අතර පොලිස් පරීක්ෂකවරයා විවාහකයෙකු බවත් දරුවන් සිටින අයකු බවත් දන්නා බැවින් නිවැසියන්ට ඔවුන්ගේ සබඳතාව සම්බන්ධයෙන් සැකයක් ඇති වී නොමැත.

ඝාතනයට ලක්වූ තරුණියගේ පියා මියගොස් ඇති අතර මව රෝගීව එක්තැන්ව කාලය ගත කරන්නීය.

කෙසේ වෙතත් තරුණිය ඝාතනය වීමට දින කිහිපයකට පෙර පොලිස් පරීක්ෂකවරයාගේ සොහොයුරිය යැයි කියන කාන්තාවක් විසින් තරුණියගේ සොයුරාට මෙම සබඳතාව නැවැත්වීමට කටයුතු කරන ලෙසට බැණ තර්ජනය කර තිබෙන බවද පොලිස් විමර්ශනයේ දී හෙළි වී තිබේ.

ඝාතනයට ලක්වූ තරුණිය යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බව ද ඇයගේ සමාජ ජාල ගිණුම්වල දැක්වේ.