ශ්‍රී ලංකාවට අම්ල වැසි අනතුරක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

X-Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට  ඇසිඩ් වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනතුරු අඟවා සිටී.
එහි සභාපතිනී දර්ශනි ලහන්දපුර මහත්මිය අප වෙබ් අඩවිය වෙත සඳහන් කර සිටියේ  , විවායුගෝලයට විමෝචනය වන නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමග මිශ්‍ර වීමෙන් නයිට්‍රික් අම්ලය හෙවත් ඇසිඩ් වැසි ඇති විය හැකි බවයි .

එලෙස ඇති වන වායු ධාරාවන් වෙරළබඩ ප්‍රදේශවල සිට රට තුළට ගමන් කළ හැකි බව ත් එමගින් අවට ප්‍රදේශවල ඇසිඩ් වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව ත් ඇය සඳහන් කළා ය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂාකාරීව අවධානයෙන් පසුවන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

තව ද එම අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී සිටින්නේ, මේ දිනවල වර්ෂාවට සෘජුවම නිරාවරණය වීමෙන් වළකින ලෙසත් එළිමහනේ ඇති ලෝහයෙන් තැනූ උපකරණ මෙන්ම වාහන ආවරණය කර තැබීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට ගොඩ ගැසූ සුන්බුන් ඇල්ලූ පුද්ගලයින් කිහිපදෙනෙකුට ආසාද්මිකතා හට ගෙන ඇතැයිද  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර සිටී

ඒ අනුව වෙරළට ගොඩගසා ඇති සුන්බුන් එක්රැස් කිරීම අවදානම් ක්‍රියාවක් බව ද එම අධිකාරිය මහජනතාවට දන්වා සිටී .