නවතම පුවත්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්තයේ සහය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

21 වන සියවසට ගැලපෙන පරිදි මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම  සඳහා අවශ්‍ය  විශේෂඥ සහය ලබාදීමට ෆින්ලන්තය ඉදිරිපත්ව  ඇත

ඒ අනුව  ෆින්ලන්ත අධ්‍යාපනඥයන් පිරිසක් පසුගිය දා දිවයිනට පැමිණි අතර . එහි කණ්ඩායම් නායකයා වන්නේ  ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයෙහි මහාචාර්ය ලීනා ක්‍රොක්ෆර්ස් (Prof.Leena Krokfors) මහත්මිය යි.

2017 වසරේ ලොව හොඳ ම අධ්‍යාපනය හිමි රට ලෙස ෆින්ලන්තය සම්මානයට පාත්‍ර වූ අතර .ඒ අනුව 21වන සියවසේ අධ්‍යාපන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ෆින්ලත්න අධ්‍යාපනඥ සහාය ලබා ගැනීම, මෙරට  අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නව පිම්මක් ලෙස සනිටුහන් වනු ඇත..

ඒ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා කොළඹ  සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

E-thaksalawa content is free of charge-Susil – NewsRadio – English

එහිදී අදහස් දැක්වූ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධයාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,මෙසේ පැවසීය .

“ඉතිහාසයේ අපිට හොඳ වාරි තාක්ෂණයක්, වෛද්‍ය විද්‍යාවක්, ඉංජිනේරු තාක්ෂණයක් තිබුණා. බ්‍රිතාන්‍යයන්ගෙන් පසුව අපිට හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය අද වනතුරු ක්‍රියාත්මක වෙනවා. ඒ අධ්‍යාපනය තමයි තවමත් අපේ රටේ තිබෙන්නේ කලෙන් කලට සුළු වෙනස්කම් වුණත්. අපිට දැන් අවශ්‍ය 21වන සියවසට ගැලපෙන අධ්‍යාපනයක් සකසන්නට යි. මේ අධ්‍යාපනයෙන් බිහි කරන දරුවාගේ දැනුම විශිෂ්ටයි. ආකල්ප හොඳයි. නමුත් කුශලතා තමයි ගැටලුව.
ෆින්ලන්තය තමයි 2017 දී ලෝකයේ අංක එකේ අධ්‍යාපනය ලබාදෙන රට බවට පත්වුණේ. ඒ රටවල පළාත් පාලන ආයතන මඟින් පාසල් පරිපාලනය කරනවා. නමුත් අපේ රටේ එවැන්නක් කරන්න හැකි ද කියා හිතන්න වෙනවා. දවසේ කුණු ටික කළමනාකරණය කර ගන්නට බැරි පළාත් පාලන ආයතන අපේ රටේ තියෙන්නේ. රැස්වීමක් දැක්කොත් ඒකෙ රණ්ඩු වෙනවා.
ෆින්ලන්තයේ ගුරුවරයෙක් අවුරුදු 05ක් පුහුණු කරනවා. අපි දැන් ඒවා කරමින් සිටිනවා. විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරමින් යනවා. ඒ රටේ සෑම කෙනෙක් ම උපාධිධාරියෙක් බවට පත් වෙනවා. ගුණාත්මක අධ්‍යාපනය වර්ධනය කරනවා. අනෙකුත් වෙනස්කම් කරමින් යනවා. ගුරුවරුන් පුහුණු කිරීම, තෝරා ගැනිම වගේ දේවල් ඉතා හොඳින් ඒ රටේ සිදු කෙරෙනවා. අපි එතනට යා යුතු යි නව ප්‍රතිසංස්කරණ තුළින්. දරුවා ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව යොදාගත හැකි තත්ත්වයක් ඇති කරන්නට අපිට දැඩිව අවශ්‍යයි.
තව අවුරුදු ගණනාවක් ලෝකයේ දැනට තිබෙන රැකියා බොහොමයක් නැති වෙනවා. අලුත් ම රැකියා බිහි වෙනවා. මෙතෙක් නොදුටු විරූ රැකියා බිහිවෙනවා. අපේ දරුවන් ඒ සඳහා සූදානම් කළ යුතු වෙනවා. තාක්ෂණයත් එක්ක ඉදිරියට යන අධ්‍යාපනයක් අපිට අවශ්‍යයි. යනුවෙන් පැවසී ය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික  අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා මෙසේ පැවසීය ,

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘තිරසාර සංවර්ධනය හා තිරසාර සාමය උදෙසා අධ්‍යාපනය’ වශයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය වශයෙන් අපි එකතු වෙලා තේමාවක් සකසාගෙන තිබෙනවා. එහි පෙරපාසල් අධ්‍යාපනය, අධ්‍යාපන පරිපාලනය, විෂයමාලා ප්‍රතිසංස්කරණ ආදී වශයෙන් තේමා 09ක් පවතින අතර ඉන් තුන්වැන්න වන විෂයමාලා ප්‍රතිසංස්කරණය සම්බන්ධ ව ජාතික අධ්‍යාපන ආයතනය වශයෙන් අප ලබාදෙන දායකත්වය පිළිබඳ මෙහි දී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළමුවරට සාමාන්‍ය අධ්‍යාපනය අරමුණු 06ක් ඔස්සේ සංවර්ධනය කිරීම අපේ අපේක්ෂාව යි. ජාතික සංවර්ධනයට ක්‍රියාශීලීව දායක විය හැකි දරුවන් බිහි කිරීම, කාර්යක්ෂම හා සඵලදායී සේවකයෙක් හෝ සුහුරු ස්වයං රැකියා ලාභියෙක් බිහි කිරීම, හොඳ ව්‍යවසායකයෙක් හෝ ව්‍යවසායකත්ව මනසක් සහිත පුද්ගලයෙක් බිහි කිරීම, දේශප්‍රේමී පුරවැසියෙක් බිහි කිරීම, හොඳ මනුෂ්‍යයෙක් බිහි කිරීම, සතටුදායක පවුලක සාමාජිකයෙක් බිහි කිරීම ආදී වශයෙන් එම අරමුණු ඉදිරිපත් කරන්නට පුළුවන්.
රටේ සංවර්ධනය උදෙසා දායකත්වය සැපයිය හැකි ක්‍රියාශීලී පුද්ගලයෙක් බිහි කිරීමේ දී ඒ ඒ දරුවා දක්වන දක්ෂතාව සහ හැකියාවන්, කුශලතාවයන් අනුව ජාතික ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නට හැකි වන පරිදි අධ්‍යාපනය සකස් කරන්නට අපි කටයුතු කරමින් සිටිනවා. ඒවගේ ම අපි දන්නවා අද රටේ මේසන්වරයෙක්, වඩු කාර්මිකයෙක් තමන්ගේ සේවය නිසි පරිදි ලබා දීමට අපොහොසත් වන අවස්ථා පිළිබඳ ව. ගෙදරක වැඩකට එහෙම කෙනෙකුට කතා කළා ම දවසක් වැඩ කරලා ඉතුරු දවසකට දෙකකට මුදලුත් අරගෙන ගිහින් ආපහු එන්නෙ හුඟක් කාලෙකින්. එතැනදි සේවා ලාභියා අපහසුතාවයට පත්වෙනවා. සේවා ලාභියාට අවැසි පරිදි සේවය ලබාදීමට හැකි වඩාත් කාර්යක්ෂ ම හා සඵලදායී පුද්ගලයෙක් බිහි කරන්නට අධ්‍යාපනයෙන් දායකත්වය සැපයිය යුත්තේ එනිසයි. පාසල් අධ්‍යාපනය තුළ දී ම දරුවන්ට ව්‍යවසායකත්ව මනසක් සකසා දෙන්නට මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපට හැකි වෙතැයි විශ්වාස කරනවා. ඒ අනුව හොඳ ව්‍යවසායකයෙක් බිහි කරන්නට නම් අධ්‍යාපනය තුළින් එම නැඹුරුව ලබා දී තිබිය යුතු වෙනවා. එකී මානසිකත්වය දරුවන් තුළ රෝපණය කළ යුතු වෙනවා. එසේ ම අධ්‍යාපනය තුළින් හැදෙන දරුවා රටට ආදරය කරන දේශප්‍රේමියෙකු විය යුතු යි. වර්තමානයේ තරුණ තරුණියන් රට හැරයන ආකාරය ඔබට අපට ඇස් පනාපිට පෙනෙන්නට තිබෙනවා. එය නවතා ගන්නට නම් අධ්‍යාපනය තුළින් රටට ආදරය කරන්නට දරුවාට කියා දිය යුතු වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව ආගම් භේදයකින් තොරව රට පිළිබඳ දේශප්‍රේමී හැඟීමෙන් කටයුතු කරන පුරවැසියන් බිහි කරන්නට අප කටයුතු කළ යුතු වන්නේ ත් අධ්‍යාපනය තුළින් ම යි. සෑම ශ්‍රී ලාංකිකයෙක් ම තමන්ගේ මවු රටට ආදරය කරන කෙනෙක් කරන්නට අධ්‍යාපනයේ දාකයත්වය නව ප්‍රතිසංස්කරණ තුළින් ලබා දීමට අපි අපේක්ෂා කරනවා. එමෙන් ම හොඳ මිනිසෙක් බිහි කරන්නට හැකි අධ්‍යාපනයක් අපි නව ප්‍රතිසංස්කරණ තුළින් ලබා දීමට අපේක්ෂා කරනවා. ඔහු දොස්තරවරයෙක්, ඉංජිනේරුවෙක් වුණත් හොඳ මනුෂ්‍යයෙක් නොවේ නම් එවැනි අධ්‍යාපන ක්‍රමයකින් රටට යහපතක් සිදුවන්නේ නැහැ. ඊළඟ කරුණ තමයි සතුටු පවුලක සාමාජිකයෙක් අධ්‍යාපනය තුළින් බිහි කිරීමට කටයුතු කිරීම. වර්තමානයේ බොහෝ දරුවන්ට දරාගැනීමේ හැකියාව තරමක් අඩුයි. ඉවසීම අඩුවෙන තරමට පවුල් සංස්ථාව තුළ සතුටින් ජීවත් වීමට අපහසු වෙනවා. ඒ නිසා ම ඇතැම් තරුණ තරුණියන් තමන්ගේ විවාහයේ ඡායාරූප ශිල්පියා මංගල ඡායාරූප ඇල්බමය ගෙනැත් දෙන්න යන විට ත් දික්කසාද වෙලා. එවැනි තත්වයකින් අපේ දරුවන් මුදා ගන්නට නම් අධ්‍යාපන ප්‍රතිසංස්කණ තුළින් එය ද ආමන්ත්‍රණය කළ යුතු යි.
ඇයි අපට එහෙම වෙනසක් අවශ්‍ය වන්නේ? අපිට අවශ්‍යයි මේ අධ්‍යාපනය නැවත අර්ථ නිරූපණය කර ගන්නට. විසි එක්වන සියවසේ ජීවත්වන අප දැන් මේ සිටින්නේ සිවුවැනි කාර්මික විප්ලවයේ. මේ යුගයට අවශ්‍ය අධ්‍යාපනයක් අපි ලබාදිය යුතු යි. නමුත් අපි තවමත් සිටින්නේ තුන්වැනි කාර්මික විප්ලවය සමයේ. අපේ අධ්‍යාපනය තුළ තවමත් තිබෙන්නේ කියැවීම, ලිවීම සහ ගණිතමය හැකියාව කියන කොටස් පමණයි. නමුත් විසිඑක්වන සියවසේ අධ්‍යාපනයට අවශ්‍ය වෙනවා ඉගෙනුම් කුශලතා, සාක්ෂරතා කුශලතා සහ ජීවන කුශලතා වශයෙන් කුශලතාවන්. ඒවගේ ම නිර්මාණශීලිත්වය, විචක්ෂණශීලීත්වය, අනෙකා සමඟ එකට වැඩ කිරීමේ හැකියාව, සන්නිවේදන හැකියාව, නම්‍යශීලීභාවය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දරුවාට ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. අද පවතින අධ්‍යාපන ක්‍රමයට අනුව සිද්ධ වෙන්නේ ගුරුවරයා දේශනය කළ පසු ඒවා ලියා ගන්නා දරුවන් විභාගෙට පෙනී සිටිනවා. දැනුම , මතකය මනිනවා. නිර්මාණශීලිත්වය, විචක්ෂණශීලිත්වය, සන්නිවේදන කුශලතා දැනට පවතින අධ්‍යාපන ක්‍රමය තුළින් දරුවන්ට ලැබෙන්නේ නැහැ. නමුත් දරුවාට දේශන පවත්වනවාට වඩා දරුවන් අධීක්ෂණය කරමින්, දරුවාට මඟ පෙන්වමින් කටයුතු කරන ගුරුවරයෙක් අපි බිහිකර ගත යුතු යි.
සාක්ෂරතාව යටතේ තොරතුරු තාක්ෂණය, මාධ්‍ය සාක්ෂරතාව, සංඛ්‍යාලේඛන සාක්ෂරතාව අලුත් ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දීමට අවශ්‍ය යි. තොරතුරු තාක්ෂණය අද ලෝකය ඉදිරියට ගෙනයනවා. තාක්ෂණය පිළිබඳ සාක්ෂරතාවය දරුවාට අද අත්‍යවශ්‍ය වෙනවා. තමන්ගේ නිවසේ විදුලි බල්බයක් පිළිස්සුණු පසු එය මාරු කර ගැනීමට නොහැකි සහ නොදන්නා ‘ඒ’ තුන ම ලබාගත් සිසුන් කොපමණ සිටිනවා ද? දරුවන්ට නව තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කළ යුතු යි. ඒවගේ ම නම්‍යශීලීත්වය, නායකත්වය, ආරම්භකතාවය, ඵලදායීතාවය සහ සාමාජීය හැකියා සංවර්ධනය හඳුන්වා දීමට අපි කටයුතු කරනවා. එමෙන් ම පුද්ගල චරිත සහ පුරවැසි අධ්‍යාපනය සංවර්ධනය අධ්‍යාපනය තුළින් සංවර්ධනය කළ යුතු යි. බෞද්ධ චින්තනය සහ අනෙකුත් ආගමික වටිනාකම් නිසා පුද්ගල චරිත සංවර්ධනයක් එක්තරා අන්දමකට සිදුවෙලා තිබෙනවා. නමුත් එය අදට ගැලපෙන ලෙස සංවර්ධනය වෙලා නැහැ. චරිත සංවර්ධනයට දරුවන්ට වැඩිපුර ම බලපාන්නේ දෙමාපියන්. පාසලෙනුත් ඒ සඳහා වගකිවයුතු කොටසක් ඉටු විය යුතු යි. දරුවන් ධනාත්මක ව හිතන්නට යොමු කරන්නට, යැපුම් මානසිකත්වයෙන් තොරව සිතන්නට දරුවන් යොමු කළ යුතු යි. ආණ්ඩුවේ රැකියා සඳහා දේශපාලඥයන් පසුපස යන මානසිකත්වය දරුවන්ගෙන් තුරන් කළ යුතු යි. ඒවිතරකුත් නොවෙයි ආකල්ප සහ වටිනාකම්, හොඳ හැසිරීම, පුරවැසි වගකීම්, සාමාජීය හා මානුෂීය අධ්‍යාපනය, තමා හඳුනා ගැනීම, අනෙකා හඳුනා ගැනීම, අනෙකා සමඟ සබඳතා පැවැත්වීම, පුවරසි වගකීම් සහ යුතුකම්, සංස්කෘතියට ගරු කිරීම, විවිධත්වය ගරු කිරීම වැනි දේ සහිත දරුවෙක් බිහි කරගත යුතු යි. දරුවාට පන්තිකාමරයෙන් පමණක් නොව පාසලෙන්, නිවසින් සහ සමාජයෙන් අධ්‍යාපනය ලබාදිය යුතු වෙනවා. කැඩෙට්වගේ දේවල්, බාලදක්ෂ වගේ දේවල් විෂය මාලාව තුළට දැමිය යුතු වෙනවා. මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කණ තුළ මේ සඳහා ඇගයීම් ලබාදෙන්නට කටයුතු කරනවා.
ඒවගේ ම අලුත් ඇගයීම් ක්‍රම අපි අලුතින් හඳුන්වා දෙන්නට කටයුතු කරනවා. අපේ විෂය මාලා, ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රම වෙනස් කරන්නට සිදු වෙනවා. වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ නැත්නම් මේ පරණ අධ්‍යාපන ක්‍රමය තුළ 21වන සියවසට අවශ්‍ය අධ්‍යාපනයක් දරුවාට ලැබෙන්නේ නැහැ. ඉගැනුම්-ඉගැන්වීම් ක්‍රමය වෙනස් විය යුතු යි. දැනුම, කුශලතා, ආකල්ප සහ චින්තනය යනුවෙන් කොටස් හතරකින් යුත් දරුවෙක් 21වන සියවසේ දී බිහිකළ යුතු යි. තථ්‍ය පාදක ඉගෙනුම, සිද්ධි පාදක ඉගෙනුම, කණ්ඩායම් පාදක අධ්‍යාපනය, ඇගයීම් පාදක අධ්‍යාපනය වශයෙන් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සැකසිය යුතු වෙනවා. දැන් තියෙන්නේ අවුරුදු දෙකක් උගන්නලා පැය තුනකින් මතකය මැන බලන ක්‍රමවේදයක්. සාමාන්‍ය පෙළ වගේ ම උසස් පෙළ විභාගවලින් සිදුවන්නේ එයයි. නමුත් අලුත් ප්‍රතිසංස්කරණවලට අනුව දරුවා දිනපතා ඉගෙන ගන්නා ගමන් ඇගයීම් කරනවා. ළමයා වෙලාවට පාසලට එනවා ද? ඔහුගේ ඉදිරිපත් කිරීමේ හැකියාවන් කෙලෙස ද? ආදී වශයෙන් බලනවා. නායකත්ව හැකියාව කොහොම ද? සන්නිවේදන හැකියාව කොහොම ද? කියලා බලනවා. නිර්මාණශීලිීභාවය පදනම් කරගත් ඇගයීම් 21වන සියවසට අවශ්‍ය යි. ඉහළ මට්ටමේ තීරණ ගැනීම, ගැඹුරු ඉගෙනුම වැනි දේ සංවර්ධනය කළ යුතු වෙනවා. ඇතැම් දරුවන්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවල දී ‘ඒ’ සාමාර්ථ 09 හෝ ‘ඒ ‘සාමාර්ථ තුන ලබා ගත්තත් ප්‍රායෝගික දැනුම නැහැ. ඒ පැරණි ක්‍රමයෙන් හැදෙන්නේ අංශක 90 දරුවෙක්. නමුත් අංශක 360 දරුවෙක් අපි හදන්න ඕනේ.
1960 දී ලංකාවේ දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 89 ක් වුණු අතර අද එය 4000 හිරවෙලා. නමුත් ජපානය 90 සිට 48 000 දක්වා දියුණු කරගෙන. සිංගප්පූරුව 30 සිට 64 දක්වා වැඩි කරගෙන. මැලේසියාව 12000 දක්වා වර්ධනය කරගෙන. ඒ රටවල්වලට පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි. අපේ දළ දේශීය ආදායමට වඩා වැඩි ආදායමක් ලබන ලෝකයේ ලොකුම ව්‍යාපාර පවා තිබෙනවා.
අපේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ළමයින් 100 000ක් හැලෙනවා. උසස් පෙළින් ළමයි 100 000ක් හැලෙනවා. අපි මෙච්චරකල් කළේ දරුවන් කොහොම හරි විශ්වවිද්‍යාලයට යවන්න උත්සාහ කළ එකයි. ගෙදර ඉඳල සල්ලි හොයන්නෙ කොහොම ද කියලා අපි උගන්වන්නේ නැහැ. උපාධියක් අරගෙන ත් රැකියාවක් නැත්නම් මොනව ද කරන්න පුලුවන් කියලත් අපි අවධානයට ගන්නවා. අපේ අධ්‍යාපනයෙන් හැදෙන්නේ ව්‍යවසායකයින් 2.6ක ප්‍රමාණයක්. එය ද ව්‍යවසායකයින් නිරමාණය කිරීමක් නොවෙයි. ඒ අය විසින් උත්සාහයෙන් නිර්මාණය කර ගැනීමක්. සේවා සැපයීම අතින් ඉහළ තැනක් තියෙන අපේ රටේ ගනුදෙනුකරුවාට කතා කරන්නේ කෙසේ දැ යි කියා පාසලේ දී සිට අප උගන්වන්නේ නැහැ. අපේ දරුවන් ලෝකයට ගෙන යා යුතු යි. 2025 දී ඇමෙරිකානු ඩොලර් 12000 සීමාවට යන්නට අපි කටයුතු කළ යුතු යි. ඒ සඳහා මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැලපීමට අපි කටයුුතු කරනවා. යනුවෙන් පැවසී ය.


මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ආචාර්ය උපාලි එම්. සේදර මහතා,මෙසේ පැවසීය .

අපි නව ප්‍රතිසංස්කරණ තුළින් අනිවාර්ය අධ්‍යාපනය 60%ක් ඉදිරි අධ්‍යාපනය 30ක් සහ අනිවාර්යය ශාරීරික අධ්‍යාපනය 10%ක් වශයෙන් සකස් කරනවා. අනවශ්‍ය බරක් විභාග නිසා දරුවන්ට ලබාදීමට අපි බලාපොරොත්තු වන්නේ නැහැ. ෆින්ලන්ත අධ්‍යාපනයෙන් අපට ලබාගන්න තියෙන එවැනි දේ බොහෝ යි. අපේ වර්තමාන අධ්‍යාපනයේ තිබෙන්නේ විභාග මූලික අධ්‍යාපන ක්‍රමයක්. නමුත් විභාග මූලික ක්‍රමයක් නොවෙයි ඇත්තට ම අවශ්‍ය වනේනේ. පරීක්ෂණ මූලික අධ්‍යාපනයක්. ඒවගේ ම නව ප්‍රතිසංස්කරණ තුළින් නව පාසල් සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීමට අපි අපේක්ෂා කරනවා. අපිට අවශ්‍ය ජාතික පාසල් නොව හොඳ පාසල් බව අපි මතක තබා ගත යුතු යි.

මෙහිදී ෆින්ලන්ත අධ්‍යාපන විශේෂඥයින් වෙනුවෙන් අදහස් දැක්වූ මහාචාර්ය  ලීනා ක්‍රොක්ෆර්ස් මහත්මිය,මෙසේ පැවසීය ,

රටේ අධ්‍යාපනයේ නියමුවා ගුරුවරයා සහ විදුහල්පතිවරුන්. ඒ අය නිවැරදි ව දිශානුගත කළහොත් අනාගතය රටට අවැසි ලෙස දිශානුගත කරන්නට පුළුවන්. ඒ නිසා අනාගතය දකින නිවැරදි ගුරු අධ්‍යාපනයක් ඕනෑම රටක තිබිය යුතු යි. ගුරුවරුන් තුළ 21වන සියවසට ගැලපෙන අධ්‍යාපනික කුශලතා වර්ධනය විය යුතු යි. රටක අධ්‍යාපනයේ සාර්ථකත්වය රඳාපවතින්නේ ගුරුවරයා මතයි

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල සී.කේ පෙර්රා මහතා ද මෙහි දී අදහස් දැක්වීය.,මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය ආදී අධ්‍යාපනයට සම්බන්ධ ආයතන ගණනාවක අධ්‍යාපනඥයින් සහ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්