ශාරීරික දුබලතා ඇති අය වෙනුවෙන් බුද්ධිමය දේපළ පනත් සංශෝධනය මැතිසබයට

Picture of අසංක

අසංක

බුද්ධිමය දේපළ පනත සදහා වන සංශෝධනය දෙවනවර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරේ.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවති වෙළඳ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සලකා මෙය බලන ලදී.

දෘශ්‍යාබාධිත හෝ යම් ශාරීරික දුබලතා හේතුවෙන් මුද්‍රිත මාධ්‍ය පරිශීලනය කළ නොහැකි අය වෙනුවෙන් ඒ සදහා පහසුකම් සැපයීම අරමුණුකරගනිමින් මෙය ක්‍රියාත්මක ය.

2020 නොවැම්බර් මස 26 වන දින වෙළඳ අමාත්‍යවරයා විසින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

මේ අනුව 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය වන බව කාරක සභාවට දැනුම් දුනි.

මේ අනුව දෘශ්‍යාබාධිත හෝ යම් දෘශ්‍ය , ශාරීරික දුබලතා හේතුවෙන් මුද්‍රිත මාධ්‍ය පරිශීලනය කළ නොහැකි පුද්ගලයින් වෙනුවෙන් ඕනෑම ග්‍රන්ථයක හඬපටයක් (Audio) ඔවුන්ගේ පරිශීලනය සදහා නිකුත් කළ හැකිය.

මේ සදහා මෘදුකාංගයක් භාවිතා කරන අතර එවැනි හඬපට කතෘ භාග ගෙවීමකින් තොරව ඉහත දැක්වූ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ පහසුව සදහා මේ අනුව යොදාගත හැකි බවත් කාරක සභාවට පෙන්වා දෙන ලදි.

එහෙත් වාණිජ පරමාර්ථ සදහා කිසිවෙකුටත් මෙය අවභාවිතා කිරීමට නොහැකි වන ලෙස ඉදිරියේදී රෙගුලාසි එක්කරන බවද අමාත්‍යවරයා පැවසීය.

දැනට ආබාධිත තත්ත්වයේ සිටින දස ලක්ෂයකට වඩා පිරිසකට මෙමගින් සුවිශාල ප්‍රතිලාභ හිමිවන බවත් වැඩිදුරටත් කාරක සභාවට දැනුම් දෙන ලදි.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් ප්‍රනාන්දු , මර්ජාන් ෆලීල් , වෙළද අමාත්‍යාංශයේ ලේකම්තුමිය සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ