සියල්කොට්හිදී ප්‍රියන්ත කුමාර ඝාතනයේ වරදකරුවන් 6කට පාකිස්ථාන උසාවියෙන් මරණ දඬුවම

Picture of අසංක

අසංක

පාකිස්ථානයේ සියල්කොට්හි කර්මාන්තශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර මහතා කුරිරු ලෙස ඝාතනය කිරීමට වැරදිකරු වූ පුද්ගලයන් 6 දෙනෙකුට පාකිස්ථානයේ ත්‍රස්ත විරෝධී අධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් වැරදිකරුවන් 7 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත.

තවත් සැකකරුවන් 76 දෙනෙකුට වසර 2 ක සිරදඬුවම් පමුණුවා තිබේ.

මෙම ඝාතන නඩුවේ පුද්ගලයන් 89 දෙනෙකුට අධිචෝදනා ගොනු කෙරුණු අතර ඉන් නව දෙනෙකු බාලවයස්කරුවන් විය.

ඇසින් දුුටු සාක්ෂි, සීසීටීවී කැමරා දර්ශන, එම ස්ථානයේ සිටි පුද්ගලයන්ගේ ජංගුම දුරකතනවලින් ලබාගෙන තිබූ වීඩියෝ පට ආදිය ද මෙහි සාක්ෂි සඳහා ලබාගෙන තිබු අතර මෙම නඩු විභාගය දිනපතා විභාගය වූවකි.

පසුගිය වසරේ වූ මෙම සිද්ධියට මුහුණ පෑ 48 හැවිරිදි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන ප්‍රියන්ත කුමාරට ආගමික අන්තවාදීන් පිරිසක් පහර දී මරා දමා ගිනි තැබීම සම්බන්ධයෙන් ලෝකයේම විවේචනයටත් අවධාරනයක් එල්ලවූ සිද්ධියක් විය.

පාකිස්ථානයේ එවකට අගමැති ඉම්රාන් ඛාන් මෙම ඝාතනය හෙළා දකිමින් අපරාධකරුවන්ට වහා නීතියෙන් දඬුවම් ක්‍රියාත්මක කරන බවට ප්‍රියන්තගේ පවුලටත් ශ්‍රී ලාංකික ජනතාවටත් පොරොන්දු විය.

කෙසේවෙතත් ඉම්රාන් ඛාන් මහතා තමාට එරෙහිව එල්ල වූ දෝශාභියෝගය පරාජය වීම හේතුවෙන් පසුගියදා අගමැති ධුරය අහිමි විය.