භාරතයේ නූතන බෞද්ධ පුනර්ජීවනයේ නිර්මාතෘ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ (අනගාරික ධර්මපාලතුමන් පැවිදි දිවියේ )
ඉදි වූ ප්‍රථම පිළිරුව නිරාවරණය ජනවාරි (05) පස්වෙනි දින කොළඹ මාලිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාර පරිශ්‍රයේ දී සිදු කෙරේ.ඊට සමගාමීව එම විහාරයේ තැන්පත් කර ඇති සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා එදින පෙරවරු නවයේ සිට පස්වරු හයයි තිහ දක්වා (9.00 – 6.30) මහජන පූජෝපහාරයට ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමය නිවේදනය කරයි.
අග්‍රශාවක ධාතූන් වහන්සේලා මහජනතාවට දැක බලා වැඳ පුදා ගැනීමට මෙසේ අවකාශ සැලසෙන්නේ දීර්ඝ කාලයකට පසුව බව අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලාගේ තේවාව භාර අම්බුලුගල සුමංගල හිමියෝ පවසති.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ බෝපාල් ආසන්නයේ අශෝක අධිරාජයා විසින් ඉදිකළ සාංචි ස්ථූප සමූහය 11 වන ශත වර්ෂයෙන් පසු ඇති වූ විවිධ ආක්‍රමණ හේතුවෙන් විනාශ වී නටඹුන් වී ශතවර්ෂ ගණනාවක් සාංචි කඳුවැටියේ මහා ඝන වනාන්තරයේ සැඟව තිබුණි. එම නටඹුන් ස්ථූප 1818 දී ජෙනරල් හෙන්රි ටේලර් විසින් පළමු වරට සොයාගනු ලැබීය.
ඉන්පසු 1851 දී මෙම සාංචි පුදබිම ගවේෂණය කළ ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් සහ චාර්ල්ස් මෙයිසි සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කර තිබූ ශෛලමය මංජුසාව සොයා ගනු ලැබූහ.සොයා ගනු ලැබූ එම සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා1853 දී සිට එංගලන්තයේ වික්ටෝරියා – ඇල්බට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබී ඇත.
මෙම අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා බෞද්ධයන් වෙත ලබා ගැනීමට මහාබෝධි සංගමය සහ ලෝක බෞද්ධ නායකයන් එක්ව කළ සටනක ප්‍රතිඵලයක් වශයෙන්,1947 පෙබරවාරි 27 වැනිදා එම කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා මහාබෝධි සමාගමේ නියෝජිත ලෙස ලන්ඩනයට ගිය දයා හේවාවිතාරණ මහතාට බාරදෙනු ලැබීය. එංගලන්තයේ සිට “ඔරයන්” නෞකාවෙන් මාසයකට ආසන්න නාවික ගමනකින් පසු මාර්තු 14 වෙනි දින එම ධාතූන් වහන්සේලා රැගත් නැව කොළඹ වරායට සේන්දු විය.ඉන්පසු ධාතූන් වහන්සේලා කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර තිබියදී ලක්ෂ දොළහකට ආසන්න ජනතාවක් එම ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත් බව වාර්තාවල දැක්වෙන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියෝ පවසති.අනතුරුව (වසර දෙකක් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළ බව සමහර ලේඛනවල දැක්වේ) මෙම ධාතූන් වහන්සේලා නැවත ඉන්දියාවේ කල්කටා නුවර ඔස්සේ සාංචියට වැඩම කරවා එහි තැන්පත් කරනු ලැබීය.
පසුව එම ධාතූන් වහන්සේලා ගෙන් කොටසක් බුරුමයටද පරිත්‍යාග කරනු ලැබූයෙන් (1951) ශ්‍රී ලංකාවට ද එම ධාතුන් වහන්සේලා කොටසක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුව ඉන්දීය රජය ලබාදුන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා 1955 දී සාංචියේ සිට එග්මෝර් ඔස්සේ තලේමන්නාරමට දුම්රියෙන් හා නැවෙන් වැඩම කරවනු ලැබුහ.එතැන් සිට ද දුම්රියෙන් කොළඹට වැඩම කරවනු ලැබූ එම ධාතූන් වහන්සේලා මහාබෝධි මූලස්ථානයේ තැන්පත් කරනු ලැබීය. අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට විහාර මන්දිරයක් ඉදි කිරීමට 1952 අගෝස්තු 20 වැනිදා එවකට ජපානයේ ඔටුන්න හිමි කුමරා වූ තකහිතෝ මිකාෂා කුමරු මුල්ගල තැබුව ද එහි කටයුතු ඉතාම මන්දගාමීව සිදුකිරීම හේතුවෙන් එකල අතිශය දුෂ්කර තත්ත්වයන් තුළ සාංචි චේතියගිරි විහාරය ඉදිකළ අතිපූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියන්ට මෙම විහාරය ඉදිකිරීමේ කාර්යය මහාබෝධි සංගමය භාර කරනු ලැබූ බව බානගල උපතිස්ස නා හිමියෝ පවසති. එසේ ඉදිකළ අග්‍රශ්‍රාවක මහා විහාරය අග්‍රශාවක ධාතූන් වහන්සේලා තැන්පත් කර,1969 සැප්තැම්බර් 03 දින
එවකට අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමා විසින් විවෘත කරනු ලැබීය.
එදා බුදුන් දවස රාජ්ගිරි හා ශ්‍රාවස්ති හි නිදන් කර තිබූ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා අශෝක අධිරාජයා සාංචියට වැඩම කරවා ඒවා නිදන් කොට සිය බිසව වූ විදිසා දේවිය වෙනුවෙන් මෙම සාංචි චෛත්‍යය ඉදි කරනු ලැබීය. සාංචි පුදබිමෙන් හමු වූ අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා අද අපට වැඳ පුදා ගැනීමට ලැබුණේ මීට වසර (69) හැට නවයකට පෙර මෙම මාළිගාකන්ද පුදබිමට එම ධාතූන් වහන්සේලා වැඩම කළ නිසාවෙන . අතිපූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමියන් ගෙන් පසු 2000 ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ධූරයට පත් අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ මෙහෙයවීමෙන් ඉතාමත්ම ගෞරවනීය පුදබිමක් බවට පත්වූ මාලිගා කන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයට 2015 දී පාවුළු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද එම වසරේදීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් ද දෙස් විදෙස් බෞද්ධ නායකයන් රැසක් ද වරින් වර පැමිණ ඇත.
බානගල නා හිමියන්ගේ 74 වන ජන්ම දිනය යෙදෙන ජනවාරි පස්වෙනි දින උන්වහන්සේටත් ශ්‍රී ලංකාවටත් රටේ ජනතාවටත් සෙත් හා යහපත පතා මෙම අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා මහජනතාවට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසාදීමටත්,ඒ අනුව ජනවාරි (05)පස්වෙනි දින පෙරවරු නවයේ (9.00) සිට පස්වරු හයයි තිහ (6.30) දක්වා අග්‍රශාවක ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් ජනාධිපති නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා පවසයි.