නවතම පුවත්

සුරාබදු අධිකාරිය, රටේ නීතිය උල්ලංඝණය කරනවා – ADIC

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මාර්ගගත  (online )  ක්‍රමයට  මද්‍යසාර ගෙන්වා ගැනීමට අදාලව  සුරාබදු අධිකාරිය , මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත්කර ඇති  යෝජනාව රටේ නීතිය බරපතල ලෙස  උල්ලංඝනය කිරීමක් වන බව මධ්‍යසාර හා මත්ද්‍රවය තොරතුරු මධ්‍යස්ථානය  (ADIC ) අවධාරණය කර සිටී .

වගකිවයුතු දෙපාර්තමේන්තුවක් ලෙස  මෙවැනි මොහොතක කිසිසේත් නොකළ යුත්තක් සුරා බදු අධිකාරිය විසින් සිදුකර ඇති බවත්ඒ අනුව  එම අධිකාරියේ ඉහල  නිලධාරීන්ගේ මෙම   සැක කටයුතු හැසිරීම පිළිබඳව රජය , පරීක්ෂණයක් පැවැත්විය යුතුව ඇති බවත් ADIC ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වේ .

ඒමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම සැකකටයුතු යෝජනාව ක්‍රියාත්මක වීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද , රට පිළිබඳ ආදරයක් ඇති විද්වතුන්, වෘත්තිකයන්, ආගමික නායකයින් සහ සියළු පුරවැසියන්ගෙන් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය තම නිවේදනය මගින් ඉල්ලා සිටී .

එම මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ පුබුදු සුමනසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයේ මෙසේද දැක්වේ ,

සුරාබදු, රජයක ආදායමක් ලෙස සැලකීම යල්පැන ගිය ආර්ථීක ක්‍රමවේදයක් වන අතර සුරාබදුවලින් ලැබෙන මුදල් ප්‍රමාණය ගණනය කිරීමෙන් පමණක් රජයක ආදායමක් ලෙස සැළකීමට නොහැකිය. පුද්ගලයන්ගේ මද්‍යසාර භාවිතය නිසා ඔවුන්ගේ සෞඛ්‍ය, ආර්ථික හා වෙනත් වියදම් සඳහා රජයට දැරීමට සිදු වෙන මුදල හා සුරාබදු ප්‍රමාණය අතර ඇති පරතරය ගණනය කිරීමෙන් සුරාබදු මුදල රජයට ආදායමක් ද යන්න විද්‍යාත්මක ව තීරණය කළ යුතුය. මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), මද්‍යසාර හා දුම්කොළ ජාතික අධිකාරිය (NATA) හා සෞඛ්‍ය අමාතංශය විසින් සිදු කළ අධ්‍යයනයක පැහැදිලි වන්නේ සුරාබදුවලින් 2015 වසරේ ලැබුණු මුදල රු මිලියන 105,234.00 වන විට එම වසරේ මද්‍යසාර භාවිතය නිසා රජයට දැරීමට සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පාඩුව රු මිලියන 133,769.00 වේ. මේ මගින් පැහැදිලි වන්නේ සුරාබදුවලින් ලැබෙන මුදල පමණක් සිතීම ඉතා පටු ආර්ථික සංවර්ධන දැක්මක් වන අතර මද්‍යසාර භාවිතය නිසා සිදු වෙන අලාබය ගණනය කිරීම ආර්ථික සංවර්ධනයේ වඩා ඵලදායි දැක්මක් වන බවය. දැනට දියුණු රටවල මෙම ක්‍රමය භාවිත කරන අතර නිවැරදි බදු ක්‍රම හඳුන්වා දෙමින් ක්‍රම ක්‍රමයෙන් රටේ භාවිතය අඩු කිරීම ඔවුන් අනුගමනය කරන ක්‍රමයයි.

මද්‍යසාර, දුම්වැටි බදු නිවැරදි ලෙස සකස් නොකිරීම නිසා පසුගිය වසර පහ තුළ පමණක් සිගරට්වලින් අය කරගත හැකිව තිබු බිලියන සියයක් පමණ රටට අහිමි විය. රටට අහිමි වෙන බදු ආදායම නිසි ආකාරයෙන් අය කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව මේ වන තෙක් නිවැරදි විද්‍යාත්මක බදු ප්‍රතිපත්තියක් මුදල් අමාත්‍යංශයට යෝජනා කර නැත. එහි පැහැදිලි වාසිය අත් කර ගන්නේ මද්‍යසාර හා දුම්කොල සමාගම් මගින් ය.
සුරාබදු ආඥාපනත අනුව විකුණන ස්ථානයේ ස්වභාවය, විකිණිය යුත්තේ කාටද, ලබා දෙන වේලාවල් ආදි සියලු නිතීමය තත්වයන් මාර්ගගත ක්‍රමයේ දී උල්ලංඝනය වේ. මෙසේ උල්ලංඝණය වන බව දැන දැනම අදාළ දෙපාර්තමේන්තුව විසින් ම මුදල් අමාත්‍යංශයට කර ඇති යෝජනාව බෙහෙවින්ම විස්මයජනකය. තම දෙපාර්තමේන්තුවට අදාළ පනත තමන් විසින්ම උල්ලංඝනය කර ගැනීමට සුරා බදු දෙපාර්තමේන්තුව පෙළ‌ඹෙන්නේ වෙනත් ලාබ ප්‍රයෝජන මතද යන්න පිළිබද පැහැදිළි සැකයක් මතුකරයි.

2006 අංක 27 දරණ මද්‍යසාර හා දුම්කොළ ජාතික අධිකාරි පනතේ 31 වන වගන්තියට අනුව වයස අවුරුදු 21ට අඩු තැනැත්තන්ට මද්‍යසාර හා දුම්වැටි අලෙවි කිරීම නීතියෙන් තහනම් අතර සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පනත අනුව බලයලත් නිලධාරීන් වේ. මේ අනුව සුරා බදු දෙපාර්තමේන්තුව නැවත වරක් තමන්ට අදාලවන නීතියක් උල්ලංඝනය කිරීම මුදල් අමාත්‍යංශයට කර ඇති යෝජනාව මගින් සිදු වේ. ‌මෙතරම් ම නොසැළිකිලිමත් ලෙස රජයේ දෙපාර්තමේන්තුවක් වැඩ කටයුතු කිරීම ලැජ්ජාසහගතය.

ඉහත සදහන් කරුණු අනුව සුරාබදු දේපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයට කර ඇති යෝජනාව නීතිවිරෝධී‚ නොසැලිකිළිමත්‚ අවිචාරවත් ක්‍රියාවක් බව ඉතා පැහැදිලිය. මන්දයත්‚ ඔවුන් කර ඇති යෝජනාව ක්‍රියාවට නැංවීමට නම් සුරාබදු පනත සහ 2006 අංක 27 දරණ මාධ්‍යසාර හා දුම්කොළ ජාතික අධිකාරි පනත යන පනත් දෙක ම සංශෝධනය කිරීම කළ යුතු බැවිනි.
රටේ මාර්ගගතව මිලදී ගැනීමේ හැකියාව ඇත්තේ ඉතා සීමිත පිරිසකට වන අතර‚ එම කණ්ඩායම් මෙම ක්‍රමය යටතේ මද්‍යසාර මිලදී ගෙන නැවතත් මෙම මද්‍යසාර සිල්ලරට අලෙවි කිරීමට මෙවැනි අවස්ථාවක වැඩි ඉඩකඩක් ඇති බැවින් සුරාබදු දේපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයට කර ඇති යෝජනාව රජයටත්‚ මහජනතාවටත් නැති ප්‍රශ්න ඇති කරන්නකි.
නිවසට මද්‍යසාර ගෙන්වාගෙන භාවිතා කරන පිරිස අපේ රටේ ඉතා අඩු ප්‍රමාණයක් වන අතර‚ මේ මගින් නිවසේ මද්‍යසාර භාවිතය වැඩි කරන සංස්කෘතියක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවට සැකයක් මතු වේ. එමෙන්ම මේ සමගම ළමුන් සහ තරුණ පිරිස අතර මද්‍යසාර භාවිතය ප්‍රචාරණය කිරීමට මද්‍යසාර සමාගම්වලට අවස්ථාව හිමි වේ.
මෙම කාලසීමාවේ මිලදී ගැනීමේ අවස්ථා අඩු වීම නිසා මද්‍යසාර භාවිතය අඩු කිරීමට හෝ නැවැත්වීමට භාවිතය තුළ සිරවී සිටි භාවිත කරන්නන් සැලකිය යුතු ප්‍රමාණයක් පෙළඹුණු බව සහ ගෘහස්ත හිංසනය ඇතුළු සමාජ ප්‍රශ්න රැසක් ඒ මගින් අඩු වූ බව විවිධ ප්‍රජාවන්ගෙන් වාර්තා වන අතර පසු ගිය කාලයේ සිදු කරන ලද අධ්‍යයනවලින් ද තහවුරු විය. මෙවැනි තත්වයක් යටතේ නිවස තුළට ම මද්‍යසාර සැපයීමට සුරාබදු දෙපාර්තමේන්තුවට ඇති උනන්දුව ඔවුන් පෙනි සිටින්නේ කා වෙනුවෙන්ද යන්න පිළිබද පැහැදිලි සැකයක් මතු කරයි.

කෝවිඩ් වෛරස ව්‍යාප්ත වීම වැඩි වීමට මද්‍යසාර භාවිතය බලපාන බවත්‚ එය මිනිසාගේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීමට බලපාන බවත් මෙන් ම‚ එන්නත්වල ඵලදායිතාවය අඩු වීමට මද්‍යසාර භාවිතය හේතු වන බව විද්වතුන් අවස්ථා ගණනාවක දී විද්‍යාත්මක කරුණු පැහැදිළි කිරීම් තුළින් වරින්වර පෙන්වා දී ඇති මෙවැනි අවදානම් තත්වයක් යටතේ සුරාබදු දේපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයට කර ඇති යෝජනාව පුදුමසහගත ය.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයට කර ඇති යෝජනාව රටේ නීතිය උල්ලංඝනය කරමින්, සමාජ හා පවුල් ප්‍රශ්න වැඩි කරමින් මේ මොහොතේ රට මුහුණ දී ඇති දැවැන්තම ගැටළුව වන කොවිඩ් ව්‍යාප්තිය ද දෙගුණ තෙගුණ කරවන, වගකිවයුතු දෙපාර්තමේන්තුවක් මෙවැනි මොහොතක කිසිසේත් නොකළ යුත්තක් බැවින් අදාල නිලධාරීන්ගේ මෙම සැක කටයුතු හැසිරීම පිළිබඳ පරික්ෂණයක් පවත්වන ලෙස රජය ඇතුලු වගකිව යුතු පාර්ශවයන්ගෙන් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටි. ඒමෙන්ම රට පිළිබඳ ආදරයක් ඇති විද්වතුන්, වෘත්තිකයන්, ආගමික නායකයින් සහ සියළු පුරවැසියන්ගෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම සැකකටයුතු යෝජනාව ක්‍රියාත්මක වීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටියි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!