නවතම පුවත්

“සෞභාග්‍යයේ දැක්ම තුළ විදුලි පාරිභෝගිකයා අනාගතයේදී නිෂ්පාදකයකු කරනවා”

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
සෞභාග්‍යයේ දැක්මට අනුව විදුලි පාරිභෝගිකයා අනාගතයේදී විදුලිබල නිෂ්පාදකයකු ලෙස පරිවර්තනය කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ විශාතලම සුළං විදුලි බලාගාරය ‘තම්බපවනි’ ජනතා අයිතියට පත්කරමින් හෙතෙම මේ බව කීය.
ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5ක ධාරිතාවක් එක් කෙරෙන මන්නාරම තම්බපවනි මෙ රට විශාලතම සුළං විදුලි බලාගාරය ඊයේ (08) දින අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත්කෙරිණ.
සර්ව ආගමික ආශිර්වාද මැද සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය – තම්බපවනී ජනතා අයිතියට පත් කරමින් අගමැතිවරයා  සුළං කුලුනු ක්‍රියාත්මක කරවීය.
මන්නාරම සිට නඩුකුඩා දක්වා කිලෝ මීටර් 30ක් දිගැති අධි බලැති විදුලි සම්ප්‍රේෂණ පද්ධතියකින් සමන්විත මෙම විදුලි බලාගාරය මගින් උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව සමස්ත විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5ක ධාරිතාවක් එක් කිරීමට නියමිතව ඇත.
මන්නාරම වෙරළ තීරයේ කිලෝ මීටර 13 දුරට හෙක්ටර්යාර් 150 ක භූමියක මෙම බලාගාරය ස්ථාපිත කර ඇති අතර එ මගින් වසරකට විදුලි ඒකක මිලියන 400ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ය. පවුල් දෙ ලක්ෂයකට අධික ප්‍රමාණයකයට විදුලිය සැපයෙන තම්බපවනි සුළං විදුලි බලාගාරය මෙතක් ඉදිවූ විශාලතම පුනර්ජනනීය විදුලි බලාගාරය වේ.
මන්නාරම තම්බපවනි සුළං විදුලි බලාගාරය ජනතා අයිතියට පත්ක්රමින් අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කෙරෙන ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය විවෘත කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා.
මිත්‍රවරුනි, දේශපාලඥයෙකුට විතරක් නෙමෙයි ඔනෑම මනුස්සයෙකුට ජීවිතයේ තියෙන්න පුළුවන් සතුටක් තමයි යමක් පටන් අරගෙන අවසන් කිරීම. අද මම මන්නාරම් දූපතට ආවේ 2014 දි මුල් පියවර තබපු මේ ව්‍යාපෘතිය රටට කැප කිරීම සඳහා, අන්න ඒ සතුට උපරිමයෙන් දරා ගෙනයි.
ඒ වගේ ම මන්නාරමට එනකොට මම දැක්කා මේ අවට සියලු පාරවල් කාපට් කරනවා. ඩලස් ඇමතිතුමා කිව්වා විදුලිබල මණ්ඩලයේ මෙම ව්‍යාපෘතියෙන් තමයි කිලෝමීටර් විස්සක් අවට පාරවල් කාපට් කරන්නෙ කියලා,
මිත්‍රවරුනි, මට මතක් වෙනවා 2008 දි තරම් ඈත දි, මඩු දේවස්ථානයට යන පාර හදලා, මඩු මංගල්‍යය වෙනුවෙන් රටේ නායකයා විදිහට මම එන්න හදන කොට, මට කිව්වේ, මෙහෙට එන්න නම් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් අවසර ගන්න ඕන කියලයි.
මිත්‍රවරුනි, රටේ නායකයාට මඩු පල්ලියට එන්නත් ත්‍රස්තවාදීන්ගෙන් අවසර ගන්න ඕන යුගයක් එදා තිබුණෙ. මම එදා බොහො ම පැහැදිලිව කිව්වා මේ රටේ සෑම පුරවැසියෙකුට ම උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් නිදහසේ යන්න පුළුවන් යුගයක් නිර්මාණය කරනවා කියලා. අද මේ තම්බපවනී බලාගාරය ඒ නිදහසේ ප්‍රතිඵලයක් නේදැයි මා ඔබගෙන් විමසනවා.
එදා 1890 දි මෙ රට මුල් ම විදුලි බල්බය දැල්වූ දා පටන් විදුලිය සියලු දෙනාට සිහිනයක්. එහි දී ලොකු ම අභියෝගය වුණේ ගමට විදුලිය ගෙන යාම. ඉංජිනේරු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා ඇතුළු විද්වතුන්ගේ ධෛර්ය සහ දායකත්වය මත ඒ අභියෝග ජය ගැනීමට හැකිවුණා.
මිත්‍රවරුනි, විදුලි බලය ලබාදීමට යම් කාලයක් ගත වන බව ඔබ දන්නවා. ඇතැම් පාලන සමයන්හි දී දුර දිග නොබලා කළ ක්‍රියාකාරකම් රටේ විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුවට බාධාවන් එක් කළා. කැරළි කෝලහාල මෙන් ම යුද්ධය පැවැති සමයන්හි විදුලිබල පද්ධතියට සිදු වූ හානිය සුළු පටු නැහැ. ඒ නිසා පසුකාලීනවත් රටේ විශාල විදුලි අර්බුද පැන නැගුණා. එහි ඇතැම් ප්‍රතිවිපාකවලට අදටත් අපි මුහුණ දෙනවා.
ඒ බව දන්න නිසා, අනෙකුත් තීන්දු වගේ ම, විදුලි බලය පිළිබඳව අපි හැම විට ම ක්‍රියාත්මක වුණේ සැලසුම් එක්ක. අපේ රජයන් බලයට පත්වූ සෑම විට ම, මෙ රට විදුලිබල ඉල්ලුමට අවශ්‍යය සැපයුම ලබාදීමට මූලික අවධානය යොමු කළා. අපේ පාලන කාලයේ දී උමා ඔය, ඉහළ කොත්මලේ, මොරගහකන්ද වැනි ජල විදුලි බලාගාර හැදුවා. ඒ වගේ ම තමයි කිසි ම අවස්ථාවක අපි විදුලිය කප්පාදු කළේ නැහැ.
ඒ නිසා කිසිදා විදුලිය නොදුටු ඈත පිටිසර ගම්මාන සංවර්ධන මාවතට ගෙන එමින් විදුලිය ලබා දෙන්න අපට හැකිවුණා. දැයේ අනාගතය භාරගන්න දුවා දරුවන් කුප්පි ලාම්පු එළියෙන් පොතපත බලන යුගය නිමා කළ යුතු බව අද මෙන්ම එදත් අපි තරයේ විශ්වාස කළා. වර්ෂ 2005 දී අපි බලයට පත් වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 65 % කට පමණයි විදුලිය තිබුණේ. වර්ෂ 2015 වන විට මුළු ජනගහණයෙන් 98% ක ප්‍රතිශතයකට විදුලිය දෙන්න අපට හැකි වුණා.
මේ නිසා නගරයේ මෙන් ම ගමේ නිවසකත් විදුලි බල්බයක් දැල්වෙන පරිවර්තනීය යුගයක් අපි නිර්මාණය කළා.
ඉදිකිරීම් අවසන් කර ගන්න බැරිව තිබුණ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ කටයුතු අපි පසුගිය කාලය තුළ අවසන් කළා. ඒ මඟින් මෙගා වොට් 900ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් වුණා.
අපි 2015 වන විටත් සැලසුම් සකස් කරලයි තිබුණේ 2020 වෙනකොට ගල්අගුරු බලාගාර ඉදිකිරීමට වගේ ම පුනර්ජනනීය විදුලිය ව්‍යාප්ත කිරීමට. නමුත් 2015 බලයට පත්වුණු ආණ්ඩුවට, ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීම ගැන විධිමත් වැඩපිළිවෙළක් තිබුණේ නැහැ.
ඒ හේතුව නිසා අපිට ඉදිරියේ දී විදුලිබල හිඟයකට මුහුණ දෙන්න සිදු වෙන්න ඉඩ තියෙනවා.  එම අභියෝගයට මුහුණ දෙන්න අපි දැනටමත් විදුලිබලාගාර ඉදිකරමින් පවතිනවා. කෙරවලපිටිය LNG බලාගාරය තුළින් මෙගාවොට් 300ක ධාරිතාවක් ද, නොරොච්චෝලේ තවත් ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීම තුළින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න සියලු කටයුතු සූදානම් කර අවසන්.
අපේ අරමුණ වෙන්නේ අධික වියදමක් දැරීමට සිදුවන තාප විදුලි බලාගාර ක්‍රමයෙන් අඩු කරමින් පුනර්ජනනීය විදුලිබලය ප්‍රචලිත කිරීම. අපි 2013 දි තමයි පුනර්ජනනීය විදුලි බලය ප්‍රචලිත කරන්න කටයුතු කළේ. අපි එදා ඉඳන් සුළං බලය වගේම සූර්ය බලය යොදගෙන විදුලි බලාගාර ඉදි කරන්න සැලසුම් සකස් කළා. අපෙන් පසුව එන ආණ්ඩුත් ඒ වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාවි යැයි අපි එදා කල්පනා කළා. නමුත් එය එසේ සිදු වු‍යේ නැහැ. හොඳ දේ හොඳ විදියට දකින්නත් වැරදි දේ වැරදි විදියට දකින්නත් බැරිවුණ නිසා ඔවුන් වෙනසකට කළේ අපෙන් පළිගත්න එක විතරයි.
අධ්‍යාපනයෙන් රටේ මානව සම්පත හදලා, රැකියා උත්පාදනය කරලා, පාරක් තොටක් හැදිලා, කර්මාන්ත ශාලාවක් පටන් ගෙන, එක විදුලි බල්බයක් හරි අලුතින් දැල්වෙන විට ජනතා අපේක්ෂාවන් දැල්වෙනවා. අපි රජයක් විදිහට මේ බව සෑම විට ම තේරුම් ගත්තා. ඒ විතරක් නෙමෙයි ඕනෑම පුද්ගලයෙක් ත්‍රස්තවාදී  උවදුරු නැති ආරක්ෂිත රටක ජීවත්වෙන්න කැමතියි. දරුවන්ගේ අනාගතය සුරක්ෂිතවනවාට කැමතියි. ඒ ගැන කල්පනා කළ ජනතාව අපට පහුගිය මැතිවරණයෙ දී ඉහළ ම ජනවරමක් ලබා දුන්නා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියෙන් ඒ ජනතා අපේක්ෂාව ඉටු කරන්න අපි ලෑස්තියි. විදුලි බලය ගත්තත්, සෞභාග්‍යයේ දැක්මට අනුව විදුලි පාරිභෝගිකයා අනාගතයේදී විදුලිබල නිෂ්පාදකයකු ලෙස පරිවර්තනය කෙරෙනවා.
මිත්‍රවරුනි, අද මේ යථාර්ථයක් වෙලා තියෙන්නෙත්, එදා අපේ රජයක් යටතේ 2014 දි මූලික සැළසුම් සකස් කළ ව්‍යාපෘතියක්. ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුවත් මෙම සුළං විදුලි බලාගාරය එක් සංධිස්ථානයක්. අද ලෝකය ම පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරනවා. නමුත් එ් සෑම රටකටම ස්වභාවික ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගන්න තරම් වාසනාවක් නැහැ. ඒ අතින් අපේ රට කොතරම් වාසනාවන්ත ද?
සුළං බලය පමණක් නෙමෙයි, සූර්ය බලයත් යොදා ගෙන අපට විදුලිය නිපදවිය හැකියි. මේ සෑම පුනර්ජනනීය බලශක්තියක් ම ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට සියයට 80% ක විදුලි ධාරිතාවක් එක් කර ගැනීම අපේ අපෙක්ෂාවයි.
මෙතෙක් පෞද්ගලික අංශයට කුඩාවට හෝ සුළං බලයෙන් විදුලිය ජනන කිරීමේ හැකියාවක්  තිබුණා. නමුත් ලංකා විදුලිබල මණ්ඩලයට ඒ හැකියාව තිබුණේ නැහැ. මොකද, මෙතෙක් සුළං විදුලි බලාගාර  තිබුණේ පෞද්ගලික අංශය සතුව. ඒ නිසා මන්නාරමේ විවෘත වන මෙම සුළං විදුලි බලාගාරය, ලංකා විදුලි බල මණ්ඩලයට අයත් පළමු සුළං විදුලි බලාගාරය ලෙස ඉතිහාසගත වෙනවා.
අපේ මිත්‍ර ඩලස් අලප්පෙරුම ඇමතිතුමා, ඉතා කෙටි කලක් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අවශ්‍ය නායකත්ව ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍ය දුම්න්ද දිසානායක ඇමතිතුමා ඒ වගේ ම අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන්ලා ඇතුළු මේ ව්‍යාපෘතියට සම්බන්ධ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්, නිලධාරීන්, සෙසු සේවකයන් විශාල පරිශ්‍රමයක් ඒ වෙනුවෙන් දරා
මෙම ව්‍යාපෘති ඉලක්කයෙන් 30%ක ධාරිතාවක් අද මේ මොහොතේ පටන්ම ජාතික විදුලි බල පද්ධතියට එක්වෙනවා. ඉදිරියේ දී මෙහි 100% මුළු ධාරිතාව ම විදුලිබල පද්ධතියට එක් කිරීමට අපි කටයුතු කරනවා.
තවත් මාස කිහිපයකින් මෙම ව්‍යාපෘතියෙ සමස්ත ඉලක්කය සපුරන විට ඉතා අඩු වියදමකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ  හැකියාව ඇති වෙනවා. ඒ තුළින් සැමට විදුලිය ලබා දීමේ අපගේ ඉලක්කය සපුරා ගැනීමට මෙන් ම වාර්ෂිකව ඉහළ යන විදුලි ඉල්ලුමේ අර්බුදය විසඳා ගැනීමටත් හැකිවෙනවා.
දේශගුණික විපර්යාස අවම කිරීමේ විසඳුමක් විදියටත්, අද පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අවධානය යොමු වෙනවා. මෙවැනි ව්‍යාපෘතියකින් සිදුවන පරිසර හානියක් නැති තරම්. මිත්‍රවරුනි, මන්නාරම කියන්නේ නිරිත දිග වගේ ම ඊසාන දින මෝසම් දෙකේදි ම හොඳට සුළං ලැබෙන ප්‍රදේශයක්. ඒ වගේම සංක්‍රමණික පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මේ හරහා තමයි ලංකාවට පැමිණෙන්නේ. ඒ සත්තුන්ටත් හිරිහැරයක් නොවන පරිද්දෙන් මේ සුළං පෙති එකවර නවතා දැමෙන රේඩාර් පද්ධතියකුත් අපි සවිකර තිබෙනවා.
ජනතාව විදිහට, ඔබට සතුටුවිය හැකි රටේ දියුණුවට බලපාන මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි අපේ ඉලක්කය. ඒ නිසා පසුගිය කාලයේ අපට විවිධ අවලාද නගමින් සිටි අයට අපි මතක් කරන්න කැමතියි, අපේ ක්‍රමය පළිගැනීම නෙමෙයි රටට වැඩ කිරීම කියලා.
ඒ නිසා විශාලම සුළං විදුලි බලාගාරය රටට එක්වන අද දිනයේ රජයක් විදිහට ඒ ගැන සතුටු වෙනවා. මම දැක්කා විරුද්ධ පක්ෂයේ ඇතමෙක් අර ළඟ දී ආපු සුළි කුණාටුව රටට එන්නත් කලින් ඒ ගැන අනාවැකි කිව්වා. ඒ අය බලා උන්නෙ ජනතාවට විපත්තියක් වෙලා ආණ්ඩුවට බනින්න මාතෘකාවක් හදාගන්නෙ කොහොමද කියලා. මේ වගේ පටු දේශපාලන අරමුණු දැන්වත් මේ රටින් ඉවත්විය යුතුයි කියලයි ජනතාව කල්පනා කරන්නෙ. මට මතකයි මම විදුලිය දෙන්න ප්‍රමුඛත්වය දෙනකොට විරුද්ධ පක්ෂයේ දේශපාලඥයන් එදා අහුවා විදුලිය කන්න ද කියලා. මම කිව්වා, ඔව් විදුලිය දීලා, කර්මාන්ත ශාලා හැදිලා රැකියා උත්පාදනය වුණාම විදුලියෙන් කන්න ලැබෙනවා කියලා.
කොවිඩ්-19 තත්ත්වය නිසා මුළු ලෝකය ම අද ආර්ථික පසුබෑමකට ලක්වෙලා. නමුත් අපේ රටේ ජනතාව එම පීඩාවෙන් මුදා ගැනීමට අවශ්‍යය සෑම පියවරක් ම අපි අරගෙන තිබෙනවා. ඒ වගේ ම එක්ව ජය ගැනීමේ දේශීය ආර්ථිකය නගා සිටුවීමේ ක්‍රියාවලියට අප මුලපුරා තිබෙනවා. ආනයන සීමා කරමින් දේශීය නිෂ්පාදකයා ගැන බලාපොරාත්තු දල්වා තිබෙනවා. ජාතික විදුලි බල පද්ධතියට අද දින එක්වන මෙම  සුළං විදුලියත් ඒ සඳහා ශක්තියක්.
මිත්‍රවරුනි, සෞභාගයේ දැක්මට අනුව 2030 වන විට අපේ රටේ සමස්ත විදුලියෙන් සියයට 70% හෝ 80% ක් පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවිය යුතුයි. විදුලිබල ක්ෂේත්‍රයේ සිදුවන එම දැවැන්ත පරිවර්තනයට, ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බව සිහිපත් කරන්න කැමතියි!
ඔබ සැමට සෞභාග්‍යමත් හෙටක්!
තෙරුවන් සරණයි! “
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන  හා උතුරු පළාත් ආණ්ඩුකාරිනි පී. එස්. එම්. චාර්ල්ස්, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදුලිබල මණ්ඩලයේ සභාපති  ඉංජිනේරු විජිත හේරත් ඇතුළු රජයේ උසස් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්