නවතම පුවත්

ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව සතුටෙන්ම සිටිය හැකි රට ලෙස පිට පිට හත්වැනි වරටත් ෆින්ලන්තය කිරුළ දිනාගත්තේ ය. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ 2024 සඳහා ලෝකයේ සතුටින්ම ජීවත්වන සහ ජීවත්වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමිනි.

ලෝකයේ සතුටින්ම ජීවත්වන සහ ජීවත්වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 128 වැනි ස්ථානයයි. ඒ රටවල් 143ක් අතරිනි. ලෝක සිතියමේ අබැටක් තරමේ වුව ද මේ රට වාසනාවන්ත මෙන්ම සශ්‍රීක රටකි. ස්වාභාවික විපත් අවම නිසි කලට වැසි වසින, සෞම්‍ය දේශගුණයක් හිමි රටකි. එහෙත් අප රටේ ජනයාට සතුටෙන් ජීවත්වීමේ වරම අහිමි කර හෝ නැත්නම් අහිමි කරගෙන වී තිබේ. දුගීභාවයත් අවිනිශ්චිතභාවයත් උරුමව මනුෂ්‍යත්වයේ අසරණකම තුළ දවස් ගෙවා දැමීමට පුරවැසියාට සිදු වී තිබේ. මෙහි බරපතළම වින්දිතයන් බවට පත්ව සිටින්නේ මල්මෙන් හදවත් ඇති නෙත් මෙන් රැකබලාගත යුතු දරු පරපුර වේ. ඒ සම්බන්ධ අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය.

අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ මව්පියන්ගේ නිසි රැකවරණයක් නොමැතිව අනාරක්ෂිතව දිවි ගෙවන බව කියන හලාවත ප්‍රදේශයේ රජයේ ප්‍රාථමික පාසලක සිසු සිසුවියන් 27 දෙනකු ගැන එම පාසල පිහිටි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය හලාවත කොට්ඨාස ළමා සහ කාන්තා  කාර්යංශයට පැමිණිලි කළ බව ය. එමෙන්ම හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සුභාෂිණි හේරත් මහත්මිය එම ග්‍රාම නිලධාරිනිය සමග එම පාසලට ගොස් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ය.

පළමුව එම නිලධාරිනියන් දෙදෙනාට ප්‍රණාමය පිරිනැමිය යුතු ය. ඒ අනුන්ගේ දරුවන් යැයි නොසිතා එම අහිංසක දරු පැටවුන් ගැන සොයා බැලීම සම්බන්ධයෙනි. බොහෝවිට සිදුවන්නේ ඛේදවාචකයක් වූ විට ඒ සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙළීම සහ කප්පරක් තර්ක විතර්ක ඇදබෑම ය.

අප ප්‍රවෘත්තියට අනුව මෙම බාල වයස්කාර සිසුසිසුවියන් විසි හත් දෙනාම අනාරක්ෂිතභාවයට පත්ව ඇත්තේ මවුපියන් විදෙස් රැකියා සඳහා යෑමත් පියවරුන්ගේ බීමත්කමත් නිසා ය. මෙම සිසු සිසුවියන් විසිහත් දෙනාගේ මවුවරුන්ගෙන් පස් දෙනකුම දරුවන් අතහැර අනියම් සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් සමග පැනගොස් පවුල් ජීවිත ගත කරන බවත් දරුවන් අනාරක්ෂිතභාවයට පත් කිරීම සම්බන්ධයෙන් එම මවුවරුන්ට ඉදිරියේ දී නඩු පැවරීමට පියවර ගන්නා බවත් පොලිසිය සඳහන් කරන බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය.

බීමත්කමට ඇබ්බැහි වී සිටින පියවරුන් උපදේශන සේවාවලට යොමුකර ඔවුන් සමාජගත කිරීමට හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය පියවර ගෙන ඇති බවත් උපදේශන සේවාවලට යොමුකර තිබියදීත් මත්පැන් පානය කිරීමට යොමු වුවහොත් ඔවුනට එරෙහිව ද අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන් ය.

මුළු රටේම අවධානය යොමු විය යුතු තත්වයකි. අප රටේ දූ දරුවන් මුහුණ දී සිටින දුක්ඛිත ඉරණම මෙම ප්‍රවෘත්තියෙන් කියැවේ. පසුගිය ජනවාරි මාසයේ සිට මෙම මාසයේ මුල් සතිය දක්වා පමණක් අනාරක්ෂිතව සිටි දරුවන් 12 දෙනකු සොයාගෙන ඔවුන්ගේ ආරක්ෂාව සඳහා හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය අවශ්‍ය පියවර ගෙන තිබේ.

මුළු රටේම සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි මෙබඳු සමීක්ෂණ කළ යුතු ය. අනාරක්ෂිතව දිවි ගෙවන දරුවන් හඳුනාගෙන ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර නොපමාව ගත යුතු ය. ෆින්ලන්තයේ ජනයාට උරුම සතුට අපට උරුම කරගත හැකි වන්නේ එමගින් පමණි.

(ලංකාදීප කතුවැකිය )

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්