නවතම පුවත්

වෙනිසියුලාවේ අර්බුදය: දේශපාලන තත්ත්වය උත්සන්න වූයේ කෙසේද?

අසංක

අසංක

සිය සමාජවාදී ජනාධිපති නිකොලොස් මධුරෝ අසුනින් පහකිරීමේ දැඩි ප‍්‍රයත්න මධ්‍යයේ වෙනිසියුලානු දේශපාලන අර්බුදය වඩාත් උණුසුම් තත්වයකට පත්වෙමින් ඇතැයි පෙනෙන්නට තිබේ. දකුණු අමෙරිකානු රටක් වූ වෙනිසියුලාවේ වසර ගණනක් තිස්සේ වැඩෙමින් ආ දේශපාලන අතෘප්තිකර බවට හසුවූ රටම උඩුයටිකුරු වෙමින් පවතී. අහස උසට නැගෙන අධිඋද්ධමනය, විදුලි කප්පාදුව, ආහාර හා ඖෂධ හිගය මෙම දේශපාලන අර්බුදය නමැති ගින්නට තව තවත් පිදුරු දැමීය.

පසුගිය වසර කිහිපය තිස්සේම වෙනිසියුලානුවන් මිලියන 3කට අධික පිරිසක් සිය රට හැරදමා ගියේය. එහෙත් ඇත්තටම වෙනිසියුලානු අර්බුදය පිටුපස ඇත්තේ කුමක්ද?

සැබෑම ජනාධිපතිවරයා කවුද?

බොහෝ රටවලට නම් මෙම ප‍්‍රශ්නය අසාමාන්‍ය එකක් විය හැකිය. නමුත් වෙනිසියුලාවේ මෙම ප‍්‍රශ්නය පැනනැගෙන්නේ ජනවාරි 23 වැනිදා සිට ඇරඹි නාටක මාලාවත් සමගය. එදින ව්‍යවස්ථාදායකයේ නායකයා වන ජුවාන් ගුවයිඩෝ විසින් තමා වැඩබලන ජනාධිපතිවරයා බවට ප‍්‍රකාශයක් නිකුත් කළේ ය. එපමණක් නොව, එතැන් පටන් විධායක මණ්ඩලයේ සියලු බලතල පවා තමන් විසින් කි‍්‍රයාත්මක කරන බව ද හෙතෙම පවසා තිබුණි. එලෙස සිදුවූ දේශපාලන සෙලවීම ඍජුවම අභියෝග කරන ලද්දේ ජනාධිපති නිකොලොස් මදුරෝගේ බලතලවලට ය. ඔහු ඒ වනවිට සයවසක් ඉදිරියටත් ජනාධිපති ලෙස කටයුතු කිරීමේ සිය දෙවන ධුර කාලයේ දිවුරුම් දී යන්තම් සති දෙකක් ගෙවුණා පමණි.

ජනාධිපති නිකොලොස් මධුරෝ තම ප‍්‍රතිවාදියාගේ නැගීම කාරුණිකව පිළිනොගැනීම පුදුමයට කරුණක් නොවේ. මෙය, තමන් නෙරපා හැරීමට ඇමෙරිකාව විසින් කරන ලද කුමන්ත‍්‍රණයක් බව ඔහු පුන පුනා කීය. තමන් ව්‍යවස්ථානුකූල ජනාධිපතිවරයා බවත් සිය ධුරයේ තවදුරටත් කටයුතු කරන බවටත් ඔහු ප‍්‍රකාශ කළේය.

ජනාධිපති ධුරය විවාදයට කුඩුදුන්නේ ඇයි?

2013 අපේ‍්‍රල් මස නිකොලොස් මධුරෝ පළමු වරට තෝරාපත්කර ගන්නා ලද්දේ ඔහුගේ සමාජවාදී උපදේශකයා මෙන්ම පුරෝගාමියා ද වූ හියුගෝ චාවේස්ගේ මරණින් පසුවයි. ඒ වනවිට ඔහු ජයග‍්‍රහණය කර තිබුණේ ද 1.6%ක දුර්වල ප‍්‍රතිශතයකිනි. ඔහුගේ පළමු ජනාධිපති ධුර කාලයේදී එරට ආර්ථිකය කඩාවැටෙන්නට වූ අතර බොහෝ වෙනිසියුලානුවන් ඔහුට සහ ඔහුගේ සමාජවාදී ආණ්ඩුව වෙත චෝදනා එල්ල කරන්නට විය.

2018 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් යළිත් මධුරෝ දෙවැනි වරටත් වසර 6ක ජනාධිපති ධුරකාලයක් සදහා තෝරාගැනුණමුත් එය, විපක්ෂයේ පක්ෂ වැඩිම සංඛ්‍යාවක් වර්ජනය කරන ලද වඩාත් ආන්දෝලනාත්මක මැතිවරණය බවට පත්වූයේ ය.

බොහෝ විපක්ෂ අපේක්ෂකයන් පූර්ව මැතිවරණ අවධියේදී විවිධාකාරයෙන් තහනමට ලක්කෙරුණු අතර සෙස්සන් සිරගත කිරීම හෝ ඇතැමුන් රට හැරයාමේ තත්වයක් දක්වා වර්ධනය වූයේ සිරගතවීමට ඇති භීතිය හේතුවෙනි. විපක්ෂයේ පක්ෂ මෙම මැතිවරණය කිසිසේත් නිදහස් හෝ සාධාරණ මැතිවරණයක් නොවන බවට තර්ක කළේය.

කෙසේවෙතත් මධුරෝගේ යළි පත්කිරීම වෙනිසියුලානු විපක්ෂය විසින් පාලනය කරන ජාතික සභාව පිළිගත්තේ නැත.

මේ සියල්ලඑකවර මතුවන්නේඇයි?

දෙවන වර ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා කලින්ම පැවැත්වූ 2018 මැයි මස ජනාධිපතිවරණයෙන් පසුව මධුරෝ කියාසිටියේ තමන් පළමු ජනාධිපති ධුර කාලය ගෙවා ඉන්පසුව දෙවන ධුර කාලය සදහා ජනවාරි 10 වැනි දා දිවුරුම් දෙන බවයි. මේ සමගම විපක්ෂය නැගී සිටින්නට විය. ජාතික සභාව තර්ක කළේ මැතිවරණය පවා නිදහස් හෝ සාධාරණ එකක් නොවූ බැවින් මධුරෝ එය අයථා ලෙස පැහැරගත්තකු බවයි. ඒ නිසාම ජනාධිපති ධුරය පුරප්පාඩු වී ඇති බවට ද විපක්ෂය ප‍්‍රකාශ කළේය. ජාතික සභාව මගින් නව ජනාධිපතිවරයකු ඉදිරියට එවීමට මෙම කරුණු හේතුවිය. 35 හැවිරිදි ජුවාන් ගුවයිඩෝගේ ආගමනය සිදුවන්නේ එලෙසය.

ජුවාන් ගුවයිඩෝ යනු කවුද?

වෙනිසියුලානු ව්‍යවස්ථාවේ 233 හා 333 වගන්ති උපුටා දැක්වුවහොත් එමගින් පවසන්නේ කිසියම් අර්බුදකාරී අවස්ථාවකදී ජාතික සභාවේ ප‍්‍රධානියාට වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්විය හැකි බවයි. ජනවාරි 23 වැනිදා ගුවයිඩෝ විසින් තමන් වැඩබලන ජනාධිපතිවරයා ලෙස ප‍්‍රකාශයක් කිරීමට හේතුවූයේ එයයි.

ඊට ප‍්‍රතිචාරය වූයේ කුමක්ද?

ජුවාන් ගුවයිඩෝ වෙනිසියුලාවේ නීත්‍යනුකූල ජනාධිපතිවරයා ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පිළිගත්තේ ය. ඒ ගුවයිඩෝ විසින් විධායක බලතල පවරා ගන්නා බවට කළ ප‍්‍රකාශයෙන් මිනිත්තු කිහිපයකට පසුවයි. මීට වහාම ප‍්‍රතිචාර දැක්වූ මධුරෝ චෝදනා කළේ තමන් ධුරයෙන් එළවා දැමීමේ කුමන්ත‍්‍රණය පිටුපස අමෙරිකාව සිටින බවයි. මධුරෝ වහාම ඇමෙරිකා-වෙනිසියුලානු රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා කඩා බිදදැමූ අතර වෙනිසියුලාවේ සිටින අමෙරිකානු රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සියලු දෙනාම පැය 72ක් තුළ ඉවත් විය යුතු බවට නියෝග කළේ ය.

වෙනිසියුලාව අභ්‍යන්තරයේ ගුවයිඩෝගේ ආක‍්‍රමණය සැමරුමට විරෝධය පැම් ද සිදුවූ අතර රාජ්‍ය නිලධාරීන් කියාසිටියේ තමන් ‘අධිරාජ්‍යවාදී තර්ජනයෙන්’ ජනාධිපතිවරයා ආරක්ෂා කරන බවයි.

ඊළගට වුණේ මොකක්ද?

සියල්ලෝම මධුරෝට එරෙහි වන්නැයි කියමින් ගුවයිඩෝ ජනතාව රැස්කරලීය. මධුරෝට හා ඔහුගේ ආණ්ඩුවට විරෝධය දක්වමින් උද්ඝෝෂණ, කැරළි ඇතිකරමින් එය ‘වෙනිසියුලාව නිදහස් වන තෙක්’ සිදුකළ යුතු බවට අවධාරණය කළේය. ගුවයිඩෝ, අමෙරිකාවේ, ලතින් අමෙරිකානු රටවල් ගණනාවක සහ සෙසු ජාත්‍යන්තර නායකයන්ගේ සහය ලබාගත්ත ද ප‍්‍රායෝගික තලයේ සැළකිය යුතු බලයක් ඔහුට නොවීය. ඔහු ජාතික සභාවේ සභාපතිවරයා වුවද දැනට පවතින නීතිමය තත්ත්වය යටතේ ඔහු සිතන තරමට බලතල හිමිනොවේ. ඊට හේතුවන්නේ 2017 වසරේදී ආණ්ඩු හිතවාදීන් වෙනුවෙන්ම පිහිටුවූ ජාතික සම්පාදක සභාව පිහිටුවීම නිසා ය. මෙහි ප‍්‍රතිඵලය වූයේ ජාතික සභාව බලරහිත තත්ත්වයකට පත්වීමය.

ජාතික සම්පාදක සභාව යනු කුමක්ද?

විපක්ෂ පාලනයේ පවතින ජාතික සභාව අඛණ්ඩව රැස්වූව ද එහි තීරණය, ජනාධිපති මධුරෝට හිතැති ජාතික සම්පාදක සභාවේ සහයෙන් ප‍්‍රතික්ෂේප කෙරිණි.

මෙම අවුල්ජාලය බිඳදැමිය හැක්කේ කාටද?

මතුවී ඇති අර්බුදයේ ප‍්‍රධානතම භූමිකාව ඇත්තේ ආරක්ෂක අංශවලට ය. ඔවුන් මධුරෝ හිතවාදීහු ය. එසේ වූයේ නිරන්තරයෙන් ඔවුන්ගේ වැටුප්, දීමනා නොසිතූ අන්දමින් ඉහළ දමමින් ආ මධුරෝගේ කි‍්‍රයාකලාපයයි. එපමණක් නොවේ, හමුදා සාමාජිකයන්ට කර්මාන්ත අංශයේ පවා ප‍්‍රධාන පෙළේ තනතුරු ප‍්‍රදානය කොට ඔවුන් ඔසවා තැබීමට මධුරෝ කටයුතු කර තිබුණි. ඒ අනුව 16900ක් පමණ වූ හමුදා සාමාජිකයන් මධුරෝ වෙනුවෙන් පක්ෂපාතීත්වය දැක්වීම සදහා පෙර සිටම සකස් කර තිබී ඇත.

ජනවාරි 23 වැනි දා පැවැති විශේෂ සිදුවීමෙන් අනතුරුව ඉහළ පෙළේ හමුදා නිලධාරීන් ට්විටර් සමාජ ජාලය මගින් සිය සහය මධුරෝට පළකර තිබිණි. නමුත් සමාජ ජාලයේ සැරිසැරූ ඇතැම් වීඩියෝවකින් පෙනීගියේ ජාතික ආරක්ෂක සාමාජිකයන් පිරිසක් මධුරෝට විරෝධය දක්වන ආකාරයයි.

මෙහිදී ජුවාන් ගුවයිඩෝ පොරොන්දුවක් විය. ඒ මධුරෝට සහය දැක්වීමෙන් ඉවත් වන්නේ නම් සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන්ට පොදු සමාව ලබාදෙන බවය.

වෙනිසියුලාවේ තත්වය මෙතරම් නරක් වූයේ ඇයි?

මීට හේතුවූ ඇතැම් ගැටලු බොහෝ අතීතයට දිවයයි. කෙසේහෝ වේවා, ජනාධිපති මධුරෝ සහ ඔහුගේ පූරෝගාමියා වන අභාවප‍්‍රාප්ත හියුගෝ චාවේස් ද මේ වනවිට ඇතිවී තිබෙන තත්ත්වය ඔවුන් විසින්ම ඉලක්ක කොට වර්ධනය කරගත්තවුන් ය. සමාජවාදී ආණ්ඩුව බලයට පත්වූ 1999දී වෙනිසියුලාව සියතට ගත්තේ බොහෝ විෂමතා මධ්‍යයේ ය. නමුත් දුප්පතාට සහය වීමේ අරමුණින් ගෙන ආ සමාජවාදී ප‍්‍රතිපත්ති වැරදී ගියේ ආපස්සට කැරකී යාමෙනි. මිල පාලනය එක් උදාහරණයකි. තිරිගු පිටි, පිසින තෙල් ආදි අත්‍යාවශ්‍ය ආහාර දිළිදු ජනතාවට සාධාරණ මිලකට ගත හැකි වන පරිදි හදුන්වා දුන්නේ චාවේස් ය. නමුත් සිදුවූයේ ඉතා සීමිත වෙනිසියුලානු ව්‍යාපාරිකයන් පිරිසක් පමණක් මේවා නිෂ්පාදනය කර තිබීමත් මෙම තත්වය මත ලාභ නොලැබීම නිසා ඔවුන් තවදුරටත් ඒවා නිෂ්පාදනෙයන් බැහැර වීමත් ය. 2003 වසරේදී චාවේස් හදුන්වාදුන් ඩොලර්වලින් කළුකඩ ශක්තිමත් කරන විදේශ මුදල් පාලන ප‍්‍රතිපත්තිය ද විවේචනයට ලක්විය. එතැන් පටන් වෙනිසියුලානුවන්ට බොලිවාර් මුදල් ඩොලර්වලට මාරු කරගත්තේ ආණ්ඩුවේ පාලනය ඇති ඒජන්සියකිනි. ඩොලර් මිලදී ගැනීමට නම් වැදගත් හේතුවක් දැක්විය යුතුය. උදාහරණයක් ලෙස භාණ්ඩ ආනයනයට නම් ඩොලර් මිලදී ගැනීමට හැකිවිය. නමුත් ඒ ආණ්ඩුව විසින් නියාමනය කරන ලද නියමිත අගය යටතේ ය. බොහෝ වෙනිසියුලානුවන්ට නිදහස් ඩොලර් මිලදී ගැනීමට නොහැකි විය. ඔවුන් කළේ කළු කඩ වෙත යාමයි.

ලොකුම අභියෝගය කුමක්ද?

වෙනිසියුලාවේ ජීවත්වන්නන් දෛනිකව මුහුණදෙන ප‍්‍රධානතම අභියෝගය වන්නේ උද්ධමනයයි. ජාතික සභාවේ සමීක්ෂණයකට අනුව 2018 නොවැම්බර් 18 වැනිදා වනවිට වාර්ෂික උද්ධමන අගය 130000%කි.

2018 වසර අවසානය වනවිට සෑම දින 19කට වරක්ම මෙම අගය දෙගුණ විය. මේ හේතුවෙන් වෙනිසියුලානුවන්ට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම හෝ අසීරු වන්නට විය. කෝපි කෝප්පයක මිල බොලිවර් 400ක් පමණ දක්වා දෙගුණ වී තිබූ බව බ්ලූම්බර්ග් පුවත් වාර්තා කර තිබුණි.

මේ වෙනුවෙන් රජය කළේ මොකක්ද?

අගෝස්තුවේදී රජය කළේ පැරණි මුදල් නෝට්ටුවෙන් බින්දු 5ක් කපා දමා ශක්තිමත් බොලිවර් මුදල් හදුන්වාදීමත් ඒ සදහා ‘ස්වෛරී බොලිවර්’ යනුවෙන් අලුත් නාමයක් ලබාදීමය. ඉන් අදහස් කෙරෙනුයේ වෙනිසියුලානු ජනතාවට තවදුරටත් මුදල් විශාල ප‍්‍රමාණයක් රැගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

නව මුදල් නෝට්ටු 8ක් 2, 5, 10, 20, 50, 100, 200, 500 සහ නව කාසි 2ක් ආදී ලෙසින් හදුන්වා දී තිබුණි. අලුත් නෝට්ටු හදුන්වාදීම රජය විසින් කි‍්‍රයාත්මක කළ ‘ආර්ථික පැකේජයේ’ කොටසක් වූ අතර රජය එය හැදින්වූයේ වෙනිසියුලානුවන්ගේ දිරාපත් ආර්ථිකය යළි ගොඩනැංගවීම සදහා කි‍්‍රයාත්මක ‘මැජික් සූත‍්‍රයක්’ ලෙසයි.

අවම වැටුප 34 ගුණයකින් සැප්තැම්බර් 01 වැනිදා සිට වැඩිවීම, ස්වෛරී බොලිවර් පෙට්රෝ මුදල් සමග ඈදීම, වෙනිසියුලානු හැදුනුම්පත නොමැති අයටත් ඉපැරණි ඉන්ධන සහනාධාරය ලබානොදීමේ තීරණය අත්හිටුවීම, වැට් බදු අගය 4% සිට 16%ක් දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්ක විය.

කෙසේවෙතත් නව මුදල් ඒකක ද හදුන්වා දුන් දිනයේ පටන් ඇදවැටිණ. තවදුරටත් අවම වැටුප් වැඩිවීමක් හදුන්වා දිය යුතු විය. නව කි‍්‍රයාමාර්ගවල බලපෑම් කෙසේ වී ඇත්ද යන්න ප‍්‍රධාන ප‍්‍රශ්න අතරට එක්විය.

වෙනිසියුලානුවන් ප‍්‍රතිචාර දැක්වූයේ කෙසේද?

බොහෝ වෙනිසියුලානුවන් ඡන්දය දී රට හැර ගොස් තිබුණි. එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව මිලියන 3ක් පමණ වන වෙනිසියුලානුවන් 2014 වසරේ ආර්ථික අර්බුදය රට ගිලගැනීමට පටන්ගත් දා සිටම රට හැර ගොස් තිබුණි.

කෙසේහෝ වේවා උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍්‍රගියුස් ඉහත දත්ත සම්බන්ධයෙන් විතර්ක ඉදිරිපත් කළේ සතුරු රාජ්‍ය විසින් හමුදා මැදිහත්වීම සාධාරණීකරණය කිරීමට කරන ලද පමණට වැඩි හුවාදැක්වීමක් ලෙසයි. රට හැර ගිය බහුතරය ගොස් තිබුණේ අසල්වැසි කොළොම්බියාව, ඉක්වදෝරය, පේරු සහ චිලී සහ දකුණු බ‍්‍රසීලයටය.

වැඩිම වෙනිසියුලානුවන් පිරිසක් සංක‍්‍රමණය කර තිබුණේ විශාල වශයෙන් බලහත්කාරයෙන් අවතැන් වන භූමි පරාසයක් වූ බටහිර අර්ධගෝලයට ය.

බීබීසී ඇසුරිනි
පරිවර්තනය – ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්