නවතම පුවත්

ගණිත කුල්ලෙන් හැලෙන මිනිකැට ගැන කියවෙන “විෂම භාග”

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හරින්දි පල්කුඹුර 

විෂම භාග යන්නෙහි ගණිතමය අදහස නම් හරය අසමාන භාග යි. මෙම අදහසට සැබවින්ම සමාන අර්ථයක් විෂම භාග චිත්‍රපටයේ කතා නායකයන් දෙදෙනා පිලිබිබු කරයි.

චිත්‍රපටිය ආරම්භ වන්නේ වැස්ස ගැන කියවෙන කවියක් තාලයට ගායනා කරමින් නියරක් උඩින් පුංචි කොලු ගැටයකු ගමන් කරන දසුනකිනි. උපතින්ම කර්කශ ජිවිතයක් උරුම කරගත් ගොවිපවුලක් වටා චිත්‍රපටය ගෙතී ඇත. තාත්තා නැති ගෙදර වැඩිමහල් පුතා වී තමන්ට හිමිවූ වගකීම් ඉෂ්ට කරන්නට වෙර දරන මෙරට දහසක් දරුවන් අතරේ රුවන්සිරි කැපී පෙනෙන්නේ ඔහුගේ දයාව කරුණාව පිරි උතුම් හදවත නිසාය. 

වකුගඩු රෝගයට බිලිවූ තාත්තාගෙන් තම සිතෙහි ඇතිවූ හිඩැස ඔහු බිදක් හෝ සමනය කරගන්නේ සීයාගෙනි. සීයාට සමාන ස්වභාවිකත්වය මුල්කරගත් සෞන්දර්යාත්මක ගුණයහපත් ගති ලක්ෂණ ඇති රුවන්සිරි ගායනයෙහි ඉතා සමතෙකි. නමුත් ඔහු පෙලන ගැටලුව නම් සංකීර්ණ ගණිත ගැටළු විසදීමට ඔහුට ඇති අපොහොසත්කමටත් වඩා එම නොහැකියාවට අසංවේදී වූ ගණිත ගුරුවරයා යි. විෂම භාග විසදීම විනා හරය ලවයවත් හරිහැටි  නොඅදුනන රුවන්සිරි පහල ශ්‍රේණියට අසමත් කරන බවට ගණිත ගුරුවරයා තරවටු කරයි. මේ අයුරින්, දරුවකුගේ හැකියාවන් සහ මානසික මට්ටම් හදුනා නොගත් සම්ප්‍රදායික විෂයානුබද්ද ඉගැන්වීම් ක්‍රමයක ගොදුරක් වීමේ අවාසනාවන්ත ජීවන අත්දැකීම රුවන්සිරි අත්විදිමින් සිටි.

මෙහිදී ගණිත ගුරුවරයා ඉතා බලවත් සමාජ කාරණා දෙකක් පිළිඹ්බු කරයි. එක් පසෙකින් තරගකාරී රාමුවට කොටුවී දරුවන්ගේ හැකියාවන්, පවුල් පසුබිම්, විවිධ මානසික මට්ටම් තේරුම්නොගත් ගතානුගතික, ඉතා රළු ඉගැන්වීමේ ක්‍රමය යි. සුළු කිරිම නොදැන පසුදා පනිතියට යා නොහැකිව ගණිතයෙහි මෙන්ම අනෙකුත් විෂයෙහි දක්ෂ තම නිවුන් මල්ලි ඉදිරියෙහි අන්ත අසරණ වන රුවන්සිරි භාග සුළු කිරීමේ සරල පදනම වටහා ගන්නේ සීයාගෙනි. සීයාගේ තුනට හතරට කැපූ පුවක් ගෙඩියෙනි. පාරම්පරික ගොවිමහතකු වූ සීයා සිය ජීවිත ගමනෙන් උගත් ගණිත පාඩම, ඉමක් නැති විෂය නිර්දේශ වලින්වත් දරුවකුට වටහා දෙනු නොහැකි වීම වත්මන් අධ්‍යාපන ක්‍රමය අත්විදින සෝචනීය ඉරණම පසක් කරයි.  

ගණිත ගුරුවරයාගෙ චරිතයෙන් මතුවන වන අනෙක් ප්‍රධානම කරුණ වන්නේ ඔහු ගණිත කුසලතාවත් සෞන්දර්ය හා කලාවට ඇති කුසලතාවත් අතර දකින දැඩි විෂමතාව යි. “උඹ සින්දු කියල මොකෝ ගෙවල්වල කුලී වැඩ කරන්න යන්නද කල්පනාව?” යනුවෙන් ගණිත ගුරුවරයා සංගීත කුසලතාව පහත සමාජ ස්ථරයකට සමාන කරයි. ගණිතයට දක්ෂතා දක්වන තම මල්ලිට ගුරුවරයා දක්වන ප්‍රසාදයත් ගණිතමය සංකල්ප හදුනාගැනීමේ අපහසු නමුත් සංගීතයෙහි දක්ෂ තමන් හට ගුරුවරයාගෙන් අත්වන සමච්චලයත් හමුවේ රුවන්සිරි දැඩිව අසරණ වේ.

සංගීතය ප්‍රගුණ කොට ලොව ජයගත් උදාහරණ අපමණ තිබියදීත්, ගණිතය, විද්‍යාව යන තාක්ෂණික විෂයන්වලටම ප්‍රමුකත්වය දෙන අධ්‍යාපන ක්‍රමයක ඇති අසමත්කම අද රටේ තිබෙන සමාජ හා ආර්ථික පසුබෑම කදිමට නිරුපනය කරයි. එසේ විවිධ දක්ෂතා ඇති දරුවන් සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රම තුලින් යාන්ත්‍රික මිනිසුන් බවට පත් කර අද සමාජය කුහක, මිනිස්කම් නොහදුනන, ආත්මාර්ථකාමී මිනිසුන්ගෙන් ගහන වූ පරිසරයක් නිර්මාණය කර ඇත.  

මේ වෑයම කිසිසේත් විද්‍යාව හා තාක්ෂණය අවශ්‍ය නොවන බව සපත කරවීම නොවේ. නමුත්, ගණිතය විද්‍යාව ප්‍රගුණ කරණ දරුවා ඔසවා තැබීමත්, සංගීතය හා කලාව ප්‍රගුණ කරන දරුවා පහල සමාජ ස්ථරයකට ඇද දැමීමත් ප්‍රජාතාන්තික අධ්‍යාපන ක්‍රමය මුලිනුපුටා දැමීමක් නොවේද?.
ස්වයං අවබෝධයට ඇති නිදහස, එනම් තමාට තමාගේ හැකියාවන් හදුනාගැනීමේ ඇති ඉඩ හසර සහ ඒවා වෘතියක් දක්වා ගොඩනැංවීම, දියුණු අධ්‍යාපන ක්‍රමයක පදනම වන බව නවීන ලෝක විද්වතුන් කොතෙකුත් අදහස් පලකර ඇත. එසේ නම් තම හැකියාවන් යටපත් කරමින් කෘතීම රාමුවකට හැඩගැසීමට බල කිරීම දරුවන්ගේ නිර්මාණශිලිත්වය මුළුමනින්ම මරාදමන බව වර්තමාන අධ්‍යාපන ක්‍රමය හදුනාගත යුතු නොවේද? 
මෙහිදී වැදගත්ම කාර්ය භාරය ඉටු කරන්නේ ගුරුවරයා යි. විෂය මාලාවට පමණක් සීමාවූ වත්මන් ගුරුවරයාගේ භූමිකාව ගුරුවරයා සහ සිසුවා අතර පරතරය තීව්‍ර කර ඇත. මේ පරතරය පියවිය හැක්කේ ළමුන්ගේ මනසට සංවේදී වූ, ඔවුන්ගේ හැකියාවන් සහ ඔහු නියෝජනය කරන සමාජ පරිසරය හදුනාගත් ගුරුවරයෙකුට පමණයි. දරුවන්ගේ දුර්වලතා ඉදිරයේ අසංවේදී අධ්‍යාපන රටාවක් විෂයට මෙන්ම පාසල් ක්‍රමයටම වෛර කරනා බියගුළු පරාජිතයකු බිහි කරනු විනා, ඉගැනිමෙහි ලොල් උද්යෝගිමත් මිනිසෙකු බිහි කරාවියැයි සිතීම අපහසුයි. එම නිසා, ස්වකීය ශිෂ්‍ය පරපුරේ විවිධ හැකියාවන් හදුනාගැනීම, චරිත වර්ධනය, මානසික ශක්තිය ගොඩනැගීම, ඔවුන්ගේ අනාගතය සැලසුම් කිරීම ගුරුවරයකුට හිමි ප්‍රධානම කාර්ය වන බව අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන් ඇතුළු සමස්ත අධ්‍යාපන ප්‍රජාවම අවබෝධ කරගතයුතු කාරණාවකි.

එසේම, ගණිතය, විද්‍යාව වැනි විෂයන් මත පමණක් පදනම්ව දරුවාගේ අනාගතය සහ වෘත්තිය ඉරණම තීරණය කිරීම සමාජ ආර්ථික විෂමතා යලි පණගැන්වීමට මගහසර හෙළිකරයි. එහි වර්තමන සමාජ යථාර්තය නම්, මෙතුවක් අධ්‍යාපන ක්‍රමය තුල වැඩි වශයෙන් බිහි කොට ඇත්තේ සහතික සහ සුදුසුකම් හබායාමේ රෝගයෙන් පෙලෙන සමාජයක් මිස, මිනිසුන් තුල වූ විවිධත්වය අගයන, අන්‍යන් කෙරෙහි ඇති ගරුත්වය, තරාතිරම නොසලකා මිනිස් ජිවිත අගය කිරීම වැනි උදාර සංකල්ප වලින් පිරි ගුණ ගරුක සමාජයක් නොවීමයි.

රුවන්සිරි පිලිබිබු කරන්නේ එසේ යාන්ත්‍රික අධ්‍යාපන ක්‍රමයෙන් යටපත් වන සමාජයයි. තමාට වඩා විෂයෙහි දක්ෂ නමුත් තමන්ට නොතේරෙන ගණන් පාඩම කියාදීමට අකමැතිවන තම එකම සහෝදරයාට වෛර නොකරන රුවන්සිරි සීතලට ගුලි වූ මල්ලිට රෙද්දක් පෙරවීමට නොපැකිළෙයි. ලැබුණු එකම හකුරු කෑල්ල තමන්වත් නොකා මල්ලිට දීමට දෙපාරක් නොසිතයි. නමුත් එසේ ස්වභාවයෙන්ම උදාර වූ සිත් වර්තමාන තරගකාරී අධ්‍යාපනයට බිලි නොවී සිටිදැයි අපිට සිතිය හැකිද?

ආචාර්ය ස්වර්ණ ජයවීර විසින් රචිත ලිපියකට අනුව 1970 වර්ෂවල දියුණුවන රටවල් අතරින් ශ්‍රී ලංකාවේ කන්නන්ගර යුගයේ අධ්‍යාපන ප්‍රථිපත්ති “ආදර්ශකයක්” ලෙස යොදාගෙන ඇත්තේ මෙරට අධ්‍යාපනය, ආර්ථික වර්ධනය සහ  සමාජ අවශ්‍යතා හා පදනම්ව සැකසු ප්‍රතිපත්ති නිසාවෙනි. එනම් අධ්‍යාපනය හුදෙක් දිවි පැවැත්ම පමණක් උදෙසා නොව සමාජ දියුනව මෙන්ම සමාජ සාධාරණත්වය ඇති කිරීම උදෙසා ගොඩනැගීමයි.

නමුත් අද වන විට පටු ආර්ථික නිර්ණායක මත පදනම්ව විවිධ දේශපාලන ප්‍රතිපත්ති පෙරටු කර ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරන බිහි වී ඇත. මේ ක්‍රියාවලි මගින් විෂයානුබද්ධ රාමුවට කොටු නොවී දරුවන්ගේ විවිධ කුසලත්වයන් ඔපමට්ටම් කරමින් එය වෘතියයක් දක්වා දියුණු කිරීමට කොතරම් ඉඩ හසර සලසනවද යන්න දැඩිව කතාබහට ලක්විය යුතුයි. අප රටේ අධ්‍යාපනය සහ වෘත්තීය අතර ඇති විශාල හිඩැස කුසලතා පිරි දහස් සංක්යාත රැකියා වියුක්තිකයන් සහ තම අවශ්‍යතා සපුරාලනු වස් කුමක්හෝ රැකියාවක නියුතු අපමණක් වූ රැකියා නියුක්තිකයන් නිරුපනය කරයි.  සංකීර්ණ විෂයන්හි අසමත් නගරබද තරු පාසල්වලට යන දරුවන් හට තම හැකියාවන් දියුණු කිරීමට කොතෙකුත් අවස්ථා ඇත. ඔවුන් වැඩි වශයෙන් ටියුෂන් ගුරෙකුගේ පිහිටෙන් හෝ විභග අවම වශයෙන් හරි සමත් වෙති. නමුත් පිටිසර ගම්වල පහසුකම් අහිමි, අවස්ථා හීන දුප්පත්කම කරපින්නාගත් දරුවන්ගේ ජීවිතවලට අත්වන ඉරණම ඔබ අප කව්රුත් දනිති.

එසේ නම් වත්මන් අධ්‍යාපන සැලසුම් වලින් සැබවින්ම සමාජ ආර්ථික අවශ්‍යතා සපුරාලීම ඉලක්ක කරගත් ගුණගරුක පුරවැසියන් බිහි කරනවාද, එසේ නැතහොත් ගණිත කුල්ලෙන් හැලෙන රුවන්සිරිලා බිහි කරනවද යන්න නැවත නැවතත් සිත බැලිය යුතු බව “විෂම භාග” සිහිපත් කරවන අපුරු සමාජ පනිවිඩය යි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්