විශේෂාංගසිව්කොණ

Share now!

ලාංකිකයින් යනු අරුම පුදුම ජාතියකි. එකී අරුම පුදුම කම අදහන්නට වටින බැව් හොදින් පසක් වන්නේ ලක්දිවෙන් බැහැරව ජීවත් වනවිටදීය. කෝවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය මගින් ඔවුන් මත පැටවුණු වගකීම්, රෙගුලාසි ගොන්නකි. එළියට පහලියට බැස වටපිට බැලීමටවත් කරුම ඇදිරි නීතිය කිසිදු ඉඩක් නොතැබුවේය. එනමුත් පනවන නීතියකට වුවද නොනැමෙන හරි කෙළින් ජාතියක් වූ ලාංකිකයා කඩපොලේදී, එළිපහලියේදී පුදගල දුරස්ථභාවය මීටරයක් දුරින් විය යුතු බවට නීති පැනවුවද, ලාංකිකයාගේ මීටරය නගරයේ සුපිරි වෙළද සැලෙන්, පොදු වෙළදපොලට පැමිණෙන විට සෙන්ටි මීටරය වී ගමේ පොළේදී එය මිලිමීටරයටත් අවම පරතරයක් රදවාගනු ප්‍රවෘත්ති මගින් දිනපතා දුටිමි. අත්‍යාවශ්‍ය කාරණයකට හැර නිවෙසින් බැහැර නොයන ලෙසට නීතියක් පැනවූ විටදී ලාංකිකයා එකී රුදුරු නීතියට එරෙහිව ළයදී සටන් වදිනු දුටිමි, එහි ප්‍රතිථලයක් ලෙස ලාංකිකයින් ගේ කෝවිඩ් ආසදිතයින් සංඛ්‍යාව 500 වනවිට ඇදිරිනීතිය බිද දැමූවන් සංඛ්‍යාව 38000 ඉක්මවීය. එසේම රාජකාරි සදහා පිටත්වීමට ඇදිරි නීතිය ලිහිල් කරමින් එක බසයක මගීන් උපරිම සංඛ්‍යාව 25 හා ඔවුන්ගේ දුරස්ථභාවය මීටර දෙකක් ලෙස සලකුණු කළ විට, උදෑසනම බසයට මගීන් පොල් පටවන්නාක් මෙන් ගාල් කොට බස් දෙකක් අතර මීටර් දෙකක පරතරයක් තබා ගැනීමට ඔවුහු උත්සුක වූහ. මෙසේ බැලූ කල ලාංකිකයා යනු අරුම පුදුම ජාතියක් යැයි කීමට තවත් සාක්ෂි අවශ්‍යවන්නේ නැත.

මිනිසා යනු සහජයෙන්ම ආත්මාර්ථකාමී සත්වයෙකි. මිනිසා සැමවිට සිතන්නේ තමන්ගේ යහපත, හා බඩ වියත ගැන පමණි. එකී ආත්මාර්ථයේ සෘජු පරාවර්තනය අපි පසු ගිය සති කිහිපය තුල කදිමට දුටිමු. මෙකී තත්ව ලංකාවට පමණක් පොදු ධර්මාතාවයක් නොවේ. එය මා ජීවත් වන ඔස්ට්‍රේලියාවේ පටන් ලොව සුපිරි බලවතාවන අමෙරිකාව දක්වා දිව යයි. එයට කදිම නිදසුන් සපයන්නේ මේ මොහොත වනවිට අමෙරිකාව පුරා දිනකට දහස් ගණනක් මිනිසුන් කෝවිඩ් වෛරසය හේතුවෙන් මිය යද්දී තවත් පිරිසක් “අපට කොණ්ඩය කපන්නට ඕනේ” යැයි පවසමින් එරට ප්‍රාන්ත නැවත පණගන්වන මෙන් රජයට බල කිරීමෙනි. මෙවැනි උවදුරකදී රාජ්‍යයක ආර්ථික මර්මස්ථාන වසා දැමීමෙන්, ගුවනේ තිබිය යුතු ගුවන් යානා මහ පොළොවේ ගාල් කොට තැබීමන් හා රටක ශ්‍රම බලකාය නිවෙස් හි සිරකොට තැබීමෙන් මෙතුවක් කල් ගජ රාමෙට කරගෙන ආ පරිභෝජනවාදී ආර්ථිකයට වදින්නේ මරු පහරකි. ඕනෑම රාජ්‍යය නායකයකුගේ නොසන්සිදෙන හිසේරුදාව වන්නේ කෝවිඩ් වසංගතය කවදා හෝ පහව ගිය පසු තමන්ට පවතින්නට හා පවත්වාගන්නට ආර්ථිකයක් ඉතිරි වේද යන්නයි. නමුත් මේ මොහොතේ රාජ්‍යය නායකයා පවතින ප්‍රශ්නය පිළිබදව සබුදිධික නම් ආර්ථිකයට වඩා තමන් යටතේ පාලනය වන අසරණ ජනයාගේ ජීවිතය රැකගත යුතු බවට පසක් කොට ගත් යුතුය. මෙකී තත්වය ලංකාවට ද පොදු ධර්මතාවයකි. සමස්ත ලෝකයටම ණයවී එකී ණය බරින් දිවි ගෙවන ජන කොට්ඨාශයක් වෙසෙන ලංකාව තුල ලහි ලහියේ ඇදිරි නීතිය ඉවත් කොට රාජ්‍යය විවෘත කිරීමට වගකිව යුත්තන් දත කන්නේ එළඹෙන මහ මැතිවරණය පවතවා ඉන් බහුතර බලය දිනා ගැනීමට නම් එය මේ සහශ්‍රයේම පාලකයෙකු විසින් කරන ලද අඥාණම ක්‍රියාව වනු ඇත.

මේ මොහොත වන විට ලාංකීය සමාජය තුල කදිම දේශපාලන මතවාදයක් හිස ඔසවමින් තිබේ. එනම් පැවති පාර්ලිමේන්තු ක්‍රමයට එලෙසම පා නොතබා පැවති දේශපාලන ක්‍රමය අලුත් මොඩලයකින් සවිබල ගැනිවිය යුතු බවය. පැවති දේශපාලන ක්‍රමය පිළුනුවූ මොඩලයක් බැව් අපි සියල්ලෝ දනිමු. නමුත් පැවති ක්‍රමය පිටු දැකීම හා අලුත් ක්‍රමයක ප්‍රවිෂ්ඨ වීමට නම් දේශපාලන ක්‍රමය පමණක් නොව ලාංකීය සමාජයේ වෙසෙන මහ ජනයා හා ඔවුන්ගේ ආකල්පද නැවුම් විය යුතුය. ඒ සදහා ඔවුන් අවම වශයෙන් පොදු නීතියක් විනය ගරුකව රැකීමට පුහුණු විය යුතුය. මිනිසුන් ලෙස පෙළ ගැසී මීටරයේ දුර පොලීසියේ බලයෙන් තොරව පවත්වා ගැනීමට හෝ හැකි විය යුතුය. පොදු සමාජය වෙනුවෙන් නිවෙසට වී සිටින්නට යැයි කී විට ස්වේඡ්චාවෙන් එම නීතිය රැකීමට හුරු විය යුතුය. එසේ නොමැතිව දේශපාලනය වෙනස් මගකට හැරවීමට වලි කෑමෙන් සිදුවන්නේ යහපත් දේශපාලනය පසෙකට වී දිවි හිමියෙන් තමන්ව රැකි තුවක්කු බයිනෙත්තුව නිරායාසයෙන් තමන් වෙත එල්ල කර ගැනීමයි.

 

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සෙකා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment