නවතම පුවත්

අපේ රටේ ඉතිහාසය අවුරුදු 45000ක් ඈතට ගෙනයමින් ලොව මානව ඉතිහාසය අලුත් කළ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයා

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

දුනු ඊතල ගැන කියනවිට අපට මතක් වෙන්නෙ අපේ රටේ වැදි ජනතාව. අපට දැනෙන්නෙ දුනු ඊතලවල අයිතිය තියෙන්නෙ ඔවුන්ට කියලා. හැබැයි හොමෝ සේපියන් මානවයාගේ ඉතිහාස කතාව අලුත්වන්නෙ අපේම රටේ පාහියංගල කැණීම්වලින්.

අවුරුදු 45000ක් ඈත අතීතයට සාක්ෂි සපයන ඊට අදාල විද්‍යාත්මක මුලාශ්‍ර ඇතුළත් පර්යේෂණ පත්‍රිකාව පසුගියදා ලොව පිළිගැනීමට ලක්වුණා.ඉන් කියැවෙන්නෙ ලංකාවේ රට අභ්‍යන්තරයෙ ජීවත්වු හොමෝ සේපියන් මානවයා අදින් වසර 45000කට පෙර නිවර්තන තෙත් කලාපීය වනාන්තරවල සැලසුම්සහගත ඉලක්කගත දඩයම්වල නිරතවු බවයි.

ලොව මානව ඉතිහාසය වෙනස්වන මෙම කතාව සොයා ගැනීමට පෙරමුණ ගෙන ක්‍රියා කළේ අපේම රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක්.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂයෙකු වන ඔෂාන් වෙදගේ මහතා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ කථිකාචාරයවරයෙක්,

ඒ වගේම ඔක්ස්ෆර්ඩ් සරසවියේ සුදුසුකම්ලත් පර්යේෂකයකුවන ඔහු ඉන්දියාවේ ඩෙකැන් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබද පළමු පෙළ සාමාර්ථයක් ලබා  දැනට ජර්මනියේ මානව ඉතිහාසය පිළිබද විද්‍යානුකූල අධ්‍යයනයක නියැලෙන මැක්ස් ප්ලැන්ක් ආයතනයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා.

යුරෝපයේ සිට කෙටි කාලයකට ලංකාවට පැමිණි ඔෂාන් වෙදගේ මහතා මෙම සොයාගැනීම පිළිබද ‘ද කළම්බො එක්ස්ප්‍රස්’ වෙබ් අඩවියට ඔහු සතුටින් ප්‍රකාශ කළා. මේ ලෝකය උඩු යටිකුරු කළ අපේ රටේ ආතීතාවලෝකනය ගැන පුරාවිද්‍යාඥ ඔෂාන් වෙදගේ මහතා සමග කළ කෙටි සාකච්ඡාවකි.

අපි දන්නවා මේ සොයා ගැනීම් සරලව විස්තර කිරීම අපහසුයි. ලංකාවේ ඉතිහාසය සොයාගෙන යන නිවැරදි ක්‍රමයෙන් අපි කතාව පටන්ගමු ?

අපේ රටේ ඉතිහාසය ගැන බොහෝ අය දන්නෙ වසර 2500ක ඉතිහාසය ගැනයි. විජය කුමාරයාගේ පැමිණීම, කුවේනිය කපු කටිමින් සිටියාය කියන කතා පුවත ඔස්සේ මානවයා ගැන ඉතිහාසයේ කතා කරනවා. ඊට බොහෝ  සෙයින් පාදක වන්නේ වංශ කතා සාහිත්‍යයය. හැබැයි ලෝකයේ බොහොමයක් රටවලට ඒ වගේ වංශ කතා සාහිත්‍යයක් නැහැ. ඒ නිසා ලෝකයම පිළිගන්න නම් ඉතිහාසය විද්‍යාත්මක වෙන්න ඔන. කොටින්ම කියනවා නම් අපි පෙන්වන ඉතිහාසය විද්‍යානුකූලව පිළිගන්න පුළුවන් වෙන්න ඕන.

පුරාවිද්‍යාව ඔස්සේ සිදුවන්නේ මේ නිවැරදි ක්‍රියාවලියද ?

ඇත්තෙන්ම ඔව්. කැණීම් හා පර්යේෂණ ඔස්සේ පිළිගැනීමට ලක්වන විද්‍යාත්මක ඔප්පු කිරීමක් පුරාවිද්‍යාව ඔස්සේ තහවුරු කෙරෙනවා. පුරා මානවයාගේ චින්තනය හා පරිසර සැබැදියාව දව්‍යාත්මක අවශේෂ මත විද්‍යාත්මකව තහවුරු කරන්නෙ පුරාවිද්‍යාව මගිනුයි. මේ විධියට ගත්තම මානවයා ශිෂ්ටාචාරගතවීමට පෙර කරුණු සොයා බැලීම ලංකාවේ මුලින්ම ආරම්භ කළේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඉන්පසුව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු වු ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතාගේ මගපෙන්වීම මත අපේ රටේ ප්‍රාග් ඵෙතිහාසික පර්යේෂණ නව පරිච්ඡේදයකට පැමිණෙනවා.

නවීන මානවයා පිළිබද සාකච්ඡාව ලංකාව දෙසට එන්නෙ කොහොමද ?

නවීන මානවයා අප්‍රිකාවෙන් නික්මීමේ න්‍යාය පුරාවිද්‍යාඥයින් ඉතා වැදගත්කොට සලකනවා. අවුරුදු ලක්ෂ දෙකකට පමණ පෙර මානවයා අප්‍රිකාවේ බිහිවී වරින් වර පිටවුණු බව පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනවා. දැනට අවුරුදු 79,000කට පමණ පෙර අරාබියේ හෝමෝ සේපියන් මානවයා සිටි බවට නිශ්චිත තොරතුරු මේ වනවිට විද්‍යානුකූලව සනාථ වී තිබෙනවා. ඉන් කොටසක් සිනාහි අර්ධද්වීපය හරහා යුරෝපයටත්, තවත් කොටසක් ආසියාව හරහා ඔස්ට්‍රේලියාවටත් විහිදීගිය බව විශ්වාස කරනවා. ඕස්ට්‍රේලියාව වෙත ගිය මානවයන් ලෙවාන්, ඉරානය, ඉන්දියාව පසු කොට ශ්‍රී ලංකාව හරහා මැලේසියාව, ඉන්දුනීසියාව හරහා පිලිපීනය පසුකොට ඔස්ට්‍රේලියාවට ඔවුන් සංක්‍රමණය වී තිබෙන බව පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනවා. එය විවිධ හේතු නිසා සිදුවන්නට ඇති. ඇතැම්විට කෑම හිගකම, නැත්නම් ඔවුන් අතරම පැවැති අභියෝග ඊට හේතුවන්නට ඇති.

මෙසේ පැමිණි මානවයා ගැන ලාංකේය මට්ටමෙන් ආචාර්ය සිරාන් දැරණියගල සුවිශේෂ සෙයාගැනීම් කරනවා නේද ?

වෙරළබඩ කලාපයේ බුන්දල, පතිරාජවෙල හෝ ඉරණමඩු පස් තැන්පතුව ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ පදනම් කරගෙන ආචාර්ය දැරණියගල ලංකාවේ ප්‍රාග් ඵෙතිහාසික යුගය අදින් වසර ලක්ෂ 5ත් ලක්ෂ 7ක් අතර කාලයේදී අපේ රටේ ප්‍රාග් ඓතිහාසික මානවයා ඉන්නට ඇති බව විශ්වාස කළා. ඒ අනුව අදින් වසර 125000කට පෙර අනිවාර්යයයෙන් ඔවුන් සිටිය හැකි බවට ද ඔහු අදහස් කරනවා. ලංකාවේ ප්‍රාග් ඵෙතිහාසික යුගයේ ජීවත්වු මානවයා පිළිබද නිසැක සාධක ලැබෙන්නෙ ලෙන් ජනාවාසවලින්. මෙම පර්යේෂණ මුල්වරට සිදුවුයේ හැත්තෑව දශකයේයි. කුරුවිට බටදොඹ ලෙන, කිතුල්ගල බෙලිලෙන, හොරණ පාහියන් ලෙන, කෑගල්ලෙ අළු ලෙන කැණීම්වලට ලක්වුණා. මෙම කැණීම් තොරතරු ‘The Prehistory of Sri Lankaග්‍රන්ථයේ ආචාර්ය දැරණියගල සදහන් කර තිබෙනවා. පාහියන් ලෙන කැණීම් සමග මෙම පර්යේෂණ තවත් ඉදිරියට පැමිණියා. ආචාර්ය සිරාන් දැරණියගල හා එක්ව ආචාර්ය ඩබ්ලිව් ඒච් විජේපාල සහ ආචාර්ය නිමල් පෙරේරා ලංකාවේ ප්‍රාග් ඵෙතිහාසික තොරතුරු ලෝකයට ගෙනයාමට පියවර ගත්තා.

පාහියන් ලෙන අලුත්ම අනාවරණයටත් මුල පුරන ස්ථානය ?

ආචාර්ය ඩබ්ලිව් ඒච් විජේපාල 1986 දි  පාහියන්ලෙන කැණිම් ආරම්භ කරනවා.  ප්‍රධාන ගල් ලෙනෙන් කිසිදු තොරතුරක් නොලැබුණ නිසා පහළ ගල් ලෙනේ කැණීම් ඇරඹෙනවා. එහිදි වසර 36000 සිට 5000 දක්වා කාල පරාසයට අයත් ප්‍රාග් ඵෙතිහාසික ජනාවස අවධි 5ක් පිළිබදව තොරතුරු සොයා ගන්නවා. මේ කැණීමේදී තමයි ප්‍රථම වතාවට අවුරුදු 32,000ක් පැරණි මානව ඇටසැකිලි කොටස් හමුවන්නේ. මේ අස්ථි කොටස්වලින් තමයි දකුණු ආසියාවේ පැරණිතම හෝමෝ සේපියන් පිළිබද තොරතුරු ලැබෙන්නේ. 2007, 2008, 2009, 2010 සහ 2012 කැණීම් සිදුකරනු ලබනවා. 2012 කැණීමේදී ප්‍රථම වරට වසර 37000ක් පමණ පැරණි ප්‍රාග් ඵෙතිහාසික මෙසෝලොතික මානවයාගේ සම්පුර්ණ කාන්තා ඇටසැකිල්ලක් පාහියන්ගල ලෙනින් සෙයාගනු ලබනවා. මේ කාලයේදී කුරුවිට බටදොඹ ලෙනේ කැණීම් සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කළේ ආචාර්ය සිරාන් දැරණියගල හා ආචාර්ය නිමල් පෙරේරා මහත්වරුන්. මම තමයි එහි කැණීම් කටයුතු ක්ෂේත්‍රයේ සිට මෙහෙයවූයේ.

2004-2005 කාලයේදී ආචාර්ය නිමල් පෙරේරා ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයට යනවා. එහිදී කුරුවිට බටදොඹලෙන නැවත වතාවත් බහු විෂයාත්මක ශික්ෂණයකින් විද්‍යාත්මක ක්‍රමවේද යටතේ හොදින් අධ්‍යයනය කොට යාවත්කාලීන කරනවා. ඉන් කුරුවිට බටදොඹලෙන ප්‍රාග් ඵෙතිහාසික යුගය වසර 28000 සිට 38000 දක්වා වාත්කාලීන වෙනවා. එය නිදසුනක් කොටගෙන ආචාර්ය නිමල් පෙරේරා සිතනවා පාහියන්ගලත් කැණීම් කරලා මේ විදියට කළයුතුයි කියලා. ඒ අනුව තමයි 2007 සිට ඉහත කී කැණීම් කටයුතු අරඹන්නේ.

මේ කාලයෙදි ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ පුරාවිද්‍යාව පිළිබද විශේෂවේදී උපාධිය හදාරා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂකයකුව සිට පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට එක්ව කථිකාචාර්යවරයකු ලෙස මෙම පර්යේෂණ මම දියත් කළා.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එක්ව කරන 2009-2010 පර්යේෂණ සදහා පර්යේෂකයකු ලෙස එක්වන්නෙ.  2012 දි එහි තවත් දිගුවක් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නෙ මම ඒම ස්ථාන භාර පර්යේෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටියදියි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් තමයි මේ කැණීම් සියල්ල සිදුවන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය නිමල් පෙරේරාගේ අධීක්ෂණය යටතේ තමයි මම සම්පූර්ණයෙන්ම කැණීම් කටයුතු කළේ. මෙහි සම්පූර්ණ විද්‍යාගාර පර්යේෂණ සහ විශ්ලේෂණ කටයුතු සිදුවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සහ ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් පර්යේෂණායතනයේ මූලිකත්වයෙන්. 2008 වසරේ සිට මා විසින් තමයි එම ස්ථානයේ පර්යේෂණ කටයුතු සම්පූර්ණයෙන්ම භාරව සිටි නිලධාරියා වූයේ.

එක දවසක් මේ සියල්ල කණපිට ගැහෙනවා නේද ?


1986 කැණීම් කළ ආචාර්ය විජේපාල හදුනාගනු ලැබූ මව් පාෂාණයත් අපි 2012 වසරේදී අපි යළි කැණීම් කළා. ඒ කැණීමේ අවසාන දිනවලදී ඒ පතුරුවලට යටින් ඇති හොද තැන්පතු අපිට ලැබුණා. ඒවා අපේ කාර්ය මණ්ඩලය සමග එක්ක ඉවත් කළාට පස්සේ තමයි බොහෝ තොරතුරු ලැබුණේ. එහිදී 1986දී හදුනාගෙන තිබූ මව් පාෂාණය, මව් පාෂාණ කොටසක් නෙවෙයි ගල්ලෙනෙහි බිත්තිය කඩාගෙන වැටිලා තැන්පත්වීමක් ලෙස අපි එහිදී හදුනාගත්තා. එය 1986 හරියට හදුනාගෙන තිබුණේ නෑ. ඒ නිසා අපි ඊට යටින් තිබුණු පස් ස්ථරත් නැවත මතුකරගෙන යළි කැණීම් කළා. ඒකෙන් තමයි අපිට අවබෝධ කරගන්න හැකිවුණේ මේ අතීතය තවත් පස්සට යනවා කියලා.

හැම පර්යේෂණයක්ම එතෙක් සිද්ධවෙලා තිබුණෙ ඒ ස්ථරය දක්වා පමණයි. කවදාවත් හිතුවෙ නැහැ එතැනින් යට තවත් ඉතිහාසයක් ආරම්භවේය කියලා. අවසානයේ මටත් පුදුම හිතුණා. ඒ යට තිබුණෙ ලොව තවත් ඵෙතිහාසික පුරාවිද්‍යා වටිනාකම් සහිත භුමියක්. මෙතන තිබිලා තමයි ආසියාවේ පැරණිතම අස්ථි මෙවලම (බෝන් ටූල් එක) හමුවන්නෙ. එලෙස හමුවු අත් ආයුධයට අමතරව තලාතු මිනිරන්, ගුරුගල්, සත්ව ඇටකටුවලින් තැනූ පබළු ඇතුළු බොහෝ පුරාවස්තු කැණීම්වලින් පසුව සොයාගනු ලැබුවා.

මීට කලින් මධ්‍යශිලා යුගයේ මානවයාට වැසි වනාන්තර කියන්නෙ ජය ගත නොහැකි අභියෝගයක් ලෙස සැලකුවේ ?

මැසි මදුරු උවදුර ඇතුළු විශාල උවදුරු සංඛ්‍යාවක් හේතුවෙන් මධ්‍යශිලා යුගයේ වෙරළබඩ ජීවත්වු හොමො සේපියන් මානවයාට වැසි වනාන්තරවලට පිවිසීම අපහසුවූ බව තමයි පිළිගැනීම. ඔවුන් අප්‍රිකාව සිට පැමිණෙන විට විශාල සතුන් දඩයම් කිරීම සදහා ආයුධ තනාගෙන තිබුණත් එවැනි විශාල සතුන් වැසි වනාන්තර තුළ හමුවන්නෙ නැති නිසාත් කුඩා සතුන්ගේ උවදුරුවලට මුහුණදීමට නොහැකිවීම නිසාත් එය අභියෝගයක් වී තිබුණා.

ආසියාවේ පැරණතම අස්ථි මෙවලම ලංකාවෙන් හමුවීම සුව්ශේෂි වෙන්නෙ ?

ශෛල මෙවලම් බරින් වැඩි නම් ඒවා ඉතා ළග ඉලක්ක සදහා තමයි භාවිතා වන්නෙ. නමුත් මෙම මානවයා ලොකයේ යකඩ ඊතල හදන්න කලින් සත්ත්ව අස්ථි මෙවලම් යොදාගෙන ඊතලය හදලා තියෙනවා. ඔවුන් ජ්‍යාමතික හැඩතල සහිතව ආයුධ නිර්මාණය කරගෙන තියෙනවා. ඔබ මොහොතකට හිතන්න මෙසේ සොයාගත් අස්ථි මෙවලමක් සෙන්ටිමීටරයක්, නැතිනම් සෙන්ටිමීටර් දෙකක් හෝ උපරිම සෙන්ටිමීටර් හතරක් ඇති. එහෙනම් මේ තියුණු මෙවලම යම් දෙයකට සවිකොට ඉලක්ක ලබා ගැනීමට එකල මානවයා කටයුතු කර තිබෙන බව පැහැදිලිය. වදුරන්, ලේනන්, දඩු ලේනන්, කැලැ බළලුන් වැනි කුලවලට සමාන කුඩා සතුන් දඩයම් කිරීම පහසු වන්නේ නැහැ. මොකද මේ සතුන් ඉතා වේගයෙන් දිවයන අතර අපට ඔවුන් වෙත ළගාවීමට ඉතා අපහසුයි. අපිට ගෝනෙක් ඇල්ලීමට හැකියි නමුත් වදුරෙක් ඇල්ලිය නොහැකියි. එවැනි අල්ලන්න අමාරු සතුන් දඩයම් කිරීමට නම් යම් ඉලක්කයක් ඈත සිට ලබාගත යුතුමයි. ඔවුන් ඊට සරිලන්න ආයුධ තනාගෙන තිබෙනවා.එකක් හෝ කිහිපයක් සවිකොට ඔවුන් ආයුධ තනාගෙන තිබෙනවා. එකල දඩයම් කළා පමණක් නොවෙයි. දඩයම් කළේ වදුරෙකු නම් උගේ දත් හෝ ශක්තිමත්ම අස්ථිය ගෙන එම අස්ථියෙන් මෙවලමමක් තනා ගැනීමට තරම් අපේ රටේ ජීවත්ව සිටි ප්‍රාග් මානවයා දැනුමෙනුත් සන්නද්ධ වෙලා ඉදලා තියෙනවා. ඒ නිසා දුන්න, ඊතලය අපේ රටේ වැදි ජනතාවට ප්‍රාග් ඓතිහාසිකව මානවයාගෙන් පාරම්පරිකව උරුම වූ දායාදයක් බව පැහැදිලියි.

හොමෝ සේපියන් මිනිසා මීට අවුරුදු 45000කට පෙර නිවර්තන තෙත් කලාපීය වනාන්තරවල ජීවත්වු බවත්, ඉලක්කගත දඩයම්වල නිරතවු බවත් ඔබ ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් කළ හෙළිදරව්වේ මීළග පියවර කුමක් වෙයිද?

ඇත්තටම මේ පර්යේෂණය ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ ජර්මනියේ මානව ඉතිහාසය විද්‍යානුකූලව අධ්‍යයනයක යෙදෙන මැක්ස් ප්ලැන්ක් ආයතනය ඒකාබද්ධව සිදු කළ පර්යේෂණයක්. මෙම පර්යේෂණය ප්‍රථමයෙන්ම සිදුකරනු ලැබුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය සිරාන් දැරණියගල, ආචාර්ය නිමල් පෙරේරාගේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ නිලධාරීන්ගේ ද ද සහයෝගය ඇතුවයි. පසුව මෙම පර්යේෂණය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් ආයතනයේ පර්යේෂණ සහයෝගීත්වය ඇතුව සිදුකරනු ලැබුවා. ඒ අනුව මේ සදහා මා හට විශාල විද්වතුන් ප්‍රමාණයක් සහයෝගය ලබාදුන්නා. ඒ සහය ලබාදුන් විද්‍යාඥයින් තමයි මේ. නොයෙල් අමානෝ, මිෂෙල් සී. ලැන්ග්ලී, කැතරිනා ඩූකා, ජේම්ස් බ්ලිකෝන්, ඇලිසන් ක්‍රෝතර්, සිරාන් දැරණියගල, නිකොස් කුරුම්පස්, ඉයන් සිම්ප්සන්, නිමල් පෙරේරා, ඇන්ඩ්රියා පිසින්, නිකෝ බෝල්වින්, මයිකල් ‌‌පෙත්‍රාලියා, පැට්රික් රොබර්ට්ස්.  ඒ අය අතරින් මිෂෙල්, නොයෙල් සහ ප්‍රැට්රික් කියන පුරාවිද්‍යාඥයන් තුන්දෙනාව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මීළග පියවර කියලා අපට කල්තබා කියන්න බැහැ. තවත් පර්යේෂණ පත්‍රිකා කිහිපයක් ලොව ඉදිරියේදී තව නොබෝ කලකින් පළවේවි. මයිකා ගුරුගල්වලින් රූපලාවන්‍ය කරලා ඒ කාලෙත් අපේ කාන්තාවො ලස්සනට හිටියද වගේ ඒවා අනාගතයේ දැනගන්න ලැබේවි.

පර්යේෂණ පත්‍රිකාව කියවන්න https://www.nature.com/articles/s41467-019-08623-1

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්