නවතම පුවත්

“එන්නත් ජාතිකවාදය” (Vaccine Nationalism)

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට අපගේ එදිනෙදා ජනජීවිතයට එල්ලවී ඇති බලපෑම ඉමහත්ය .  සෞඛ්‍යමය  හා ආර්ථිකමය වශයෙන් පමණක් නොව සමාජයීය හා සංස්කෘතික වශයෙන්ද එම බලපෑම අප වෙත දැඩිව එල්ලවෙමින් පවතී .

නිදසුනක් ලෙස අප එදිනෙදා භාවිතා කරන වචන මාලාවට පවා මෙම වසංගතය හේතුවෙන් අලුතින්ම වචන රැසක් එකතුවී ඇත . “නව සාමාන්‍යය” , “සමාජ දුරස්ථකරණය”  , වැනි වචන රාශියක් ඒ අතර වේ . කොරෝනා වසංගතය හේතුවෙන් අපගේ වචන මාලාවට එලෙස  එක්ව ඇති  නවතම වචනය  ,  “එන්නත් ජාතිකවාදයයි” ( ‘Vaccine Nationalism’ )

“එන්නත් ජාතිකවාදය” යන වචනය  භාවිත කෙරෙන්නේ , එන්නත් සැපයුම ,අනුන්ගේ වියදමින්,  තම ජනතාව වෙනුවෙන් පමණක්ම  වෙන් කරවා ගැනීම සඳහා විවිධ රටවල  ජාතික ආණ්ඩු කෑදර සහ අසාධාරණ ලෙස ක්‍රියා කිරීම හැඳින්වීමට ය. මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ ලොව බලවත් හා ධනවත් රටවල් විසින් බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතුමය  .

ඖෂධ නිෂ්පාදන සමාගම් හා ආයතන  සමඟ ද්විපාර්ශවික ගිවිසුම් ඇති කර ගනිමින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අතිශයින් වැඩි එන්නත් තොග මිලදී ගැනීමට බොහෝ ධනවත් රාජ්‍යයන් පෙළඹී ඇත.

ලොව පුරා නිෂ්පාදනය වූ විවිධාකාර කොවිඩ් එන්නත්වල සායනික පරීක්‍ෂණයන් අවසන්වීමටත් පෙරම , බහරේනය , ඇමෙරිකාව , කැනඩාව , ජපානය  බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපාකරයේ රටවල් ඇතුළු ධනවත් රටවල් රැසක් එම එන්නත් වර්ග සඳහා ඇනවුම් ලබාදුන්හ .

බ්‍රිතාන්‍යයේ වෛද්‍ය ජර්නලය (British Medical Journal) සඳහන් කරන අන්දමට ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිටත් විවිධ කොවිඩ් එන්නත් වර්ග හයකින් එන්නත් මාත්‍රා මිලියන 800ක්  දැනට තමා සන්තක කරගෙන ඇති අතර තවත් අමතර එන්නත් මාත්‍රා බිලියනයක්ද ඇනවුම් කර ඇත . එසේම මහා  බ්‍රිතාන්‍යයද දැනටමත් එන්නත් මාත්‍රා මිලියන 340ක් මිලදී ගෙන ඇති අතර එම ප්‍රමාණය  එරට සෑම රටවැසියෙකුටම මාත්‍රා පහ බැගින් ලබාදීමට තරම් සෑහේ.

 

[Muaz Kory/Al Jazeera]

 

බ්‍රිතාන්‍යයේ මෙම ක්‍රියාකලාපයට මේ වනවිට එරට තුලින්ම ප්‍රතිරෝධයක් , විරෝධයක් මතුව ඇත . එරට “වෙල්කම්” (wellcome) නම් සංවිධානය සඳහන් කර ඇත්තේ මෙලෙස එන්නත් තොග ගොඩ ගසා ගැනීම නිසා  දිළිඳු රටවලට දැඩි අසාධාරණයක් වන බවයි .

එම සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙරමි ෆරාර් මේ සම්භන්ධයෙන් පසුගියදා මාධ්‍ය වෙත පැවසුවේ මෙවැන්නකි ,

“අපේ දේශ සීමාවෙන් එහා පිළිබඳවත් හිතන්නට අප පටන් ගත යුතුයි. මෙතරම් මාත්‍රා ගණනක් එක්සත් රාජධානිය තුළ භාවිතා කෙරෙන්නේ නැහැ. ගෝලීය වශයෙන් එන්නත් අත්‍යවශ්‍යව සිටින අය සමඟ අපි මේවා බෙදා ගැනීම අප ආරම්භ කළ යුතුයි.මෙය සදාචාරයටත් එහා ගිය කාරණයක්. එය විද්‍යාත්මක සහ ආර්ථිකමය අවශ්‍යතාවක්.”.

ගවී (Gavi) නමින් හැඳින්වෙන එන්නත් සන්ධානයේ ප්‍රධාන විධායක නිලධාරී සෙත් බර්ක්ලි පසුගිය සතියේ කියා සිටියේ “2009දී (සූකර උන එන්නත) සිදු වූ ආකාරයටම එන්නත් ජාතිකවාදය දිගටම ක්‍රියාත්මක කරගෙන යාමට ආණ්ඩු ක්‍රියා කළහොත් බරපතල අර්බුදයක් මතුවිය හැකි බවයි .  වැඩිම ලංසුවට පමණක් කොවිඩ් එන්නත ලබා දීමට නිෂ්පාදකයන් පියවර ගතහොත් එයින් සිද්ධ වෙන්නේ වෛරස් ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහී යාමයි ” යනුවෙන්ද ඔහු මාධ්‍ය වෙත පැවසීය .

“පෝලිමේ අග සිටින සියලුම රටවලට පවා එන්නත් ලබාදීමට පොරොන්දු වුනත්, ඒවා ලොව පුරා බෙදා හැරීම පමා කිරීම නිසා කොරෝනා වෛරසය දිගටම සංසරණය වෙමින්, වෙනත් ප්‍රභේද ඇතිවෙමින් තවත් ශක්තිමත් වෙනවා.” යයිද බර්ක්ලි මෙහිදේ  අනාවරණය කළේය .

ඇත්තෙන්ම මෙම එන්නත් ජාතිකවාදයේ ඇති බරපතලම ගැටලුව එයයි .  එන්නත ලබාගත නොහැකි දිළිඳු රටවල් කිහිපයක හෝ වෛරසය යලි වේගවත් ලෙස ව්‍යාප්ත වුවහොත් ඒ හරහා නව කොවිඩ් ප්‍රභේද මතුවීමේ අවදානමක් ඇත . කොවිඩ් එන්නතටද පාලනය කල නොහැකි කොව්ඩ් ප්‍රභේද මේ සමග මතුවුවහොත් එය සමස්ත ලෝකයටම තර්ජනයක් වනු ඇත . කොවිඩ් එන්නත් හේතුවෙන් , මෙම වසංගතය පාලනය කරගැනීම පිළිබඳව මතුව තිබෙන බලාපොරොත්තුවද ඒ සමගම වැළලී යනු ඇත. මෙවැනි ප්‍රභේද ලොව කොයි ඉසව්වක කොයි රටකින් මතුවුවත් එය යලි ලොව පුරා පැතිරයාමට අවශ්‍යවන්නේ ඉතා සුළු කාලසීමාවක් පමනි .

ඇතැම් මැදි ආදායම් ලාභී රටවල් සහ බොහෝ අඩු ආදායම් ලාභී රටවල් තම ජනතාවට අවශ්‍ය එන්නත් ලබාදීම සඳහා යැපෙන්නේ එන්නත් සන්ධානය විසින් ලබා දෙනු ලබන Covax එන්නත මතය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් එන්නත් මාත්‍රා බිලියන 6ක් දිළිඳු රටවලට ලබාදීමට නියමිතය. ඉන් බිලියන 2ක් 2021 වසර තුළදී ම ලබා දීම ඔවුන්ගේ ඉලක්කයයි.

කෙසේ වෙතත්  Gavi එන්නත් සන්ධානය පවසන පරිදි  දැනට  Covax විසින් බෙදාහැර ඇත්තේ එන්නත්  මාත්‍රා මිලියන 79ක් පමණි , ඒ රටවල් 70 කටය . එහි අලුත්ම බෙදා හැරීම් ටොන්ගා රාජ්‍යයට සහ ට්‍රිනිඩෑඩ් – ටොබැගෝ වෙත ලැබෙමින් පවතී.

ඒ අනුව ජන සමූහ වශයෙන් එන්නත් කිරීම සඳහා අප්‍රිකානු රටවලට හැකියාවක් ලැබෙන්නේ අවසානයට ය. ඔවුන්ට යැපෙන්නට සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් ලබා දෙන එන්නත් මතය.

Covax එන්නත මුලින්ම ලැබුනේ ඝානා රාජ්‍යයට ය. ඒ පසුගිය මාසයේදී ය. නමුත් මිලියන 31ක් වූ ජනගහනයක් සහිත ඝානාවට ලැබුණේ Covax මාත්‍රා ලක්ෂ 6ක් පමණි.

නිෂ්පාදනයට පෙර ඇනවුම් නොකිරීම හේතුවෙන් එන්නත් සඳහා බටහිර රටවලට වඩා වැඩි මිලක් ගෙවීමට අප්‍රිකානු රටවලට සිදුවිය හැකි බවටද ජාත්‍යන්තර මාධ්‍ය අනතුරු අඟවා ඇත ..

, ලොව පුරා එන්නත් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා පේටන්ට් අයිතිය මුදා හරින ලෙස ඇතැම් සංවිධාන  ඖෂධ සමාගම්වලින් ඉල්ලීමක් කර ඇත. නිෂ්පාදනය වැඩි කරගැනීම මෙන්ම අඩු මුදලකට එන්නත් ලබාගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇත. නමුත් සමාගම් කිසිවක් තවමත් එම ඉල්ලීමට එකඟවී නැත . එවැන්නක් හරහා එම සාමාගම් වල ලාභය අඩුවීම ඊට හේතුවයි .

ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ වනවිට මෙම එන්නත් ජාතිකවාදයට තම විරෝධය පළකර ඇත . බලවත් ධනවත් රටවල්  සිදුකරන මෙම ක්‍රියාවලිය හේතුවෙන් ලොව දුප්පත් හා දුර්වල රටවලට එන්නත් ප්‍රමාණවත් ලෙස ලබාගැනීමට නොහැකි තත්වයක් මතුවන බව එම සංවිධානය දැඩිව අවධාරණය කර ඇත .

එම සංවිධානයේ අධ්‍යක්ෂක   ටෙඩ්රෝස් අදනම් මහතා  මෙම “එන්නත් ජාතිකවාදය ” යන වදනම භාවිතා කරමින් මේ ගැන මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් සිදුකළේය , ඔහු එහිදී පැවසුවේ වහාම මෙම “එන්නත් ජාතිකවාදය”  පාලනය කල යුතු බවකි. තමන්ගේ ජනතාවට මුලින්ම එන්නත් සියල්ල  ලබාදී තම ජනතාව පමණක් ආරක්ෂා කරගැනීමට ඇතැම් රටවල්  ආත්මාර්ථකාමී ලෙස  ක්‍රියාත්මක වන බවත් , එවැනි ක්‍රියා හරහා කොරෝනා වසංගතය මැඩලීමට ගෙන යන ලෝක වැඩපිළිවෙලට බාධා එල්ලවන බවත්ය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය ,

” කොරෝනාව යනු ගෝලීය අර්බුදයක් , එය සමග සටන් කල යුත්තේ සාමූහිකවයි . සාමූහික ප්‍රයත්නයකින් පමණයි මෙම අර්බුදය ජයගත හැක්කේ . ධනවත් බලවත් රටවල් පමණක් මෙම එන්නත් සියල්ල ලබාගැනීමට උත්සාහ දැරීමෙන්,  අනෙකුත් රටවලට එන්නත ප්‍රමාණවත් පරිදි ලබාගන්න නොහැකිවනවා . එයින් සිදුවන්නේ එම රටවල් තුල , කොරෝනා  වසංගතය බරපතල ලෙස ව්‍යාප්ත වීමයි .

එම රටවල වෛරසය එලෙස දරුණු අකාරයකින්  ව්‍යාප්ත වීම යලි සමස්ත ලෝකයටම තර්ජනයක් . එසේම ඒ හරහා මෙම වෛරසයේ නව ප්‍රභේද වර්ධනය විය හැකියි . එවන් දරුනු , හා එන්නත් සඳහාද ප්‍රතිචාර නොදක්වන ප්‍රභේද මතුවුනහොත් , ධනවත් බලවත් රටවලටත් යලි එම වෛරසය ව්යාප්තවේවි ,කොවිඩ් 19 පරීක්ෂාවකින් තොරව ලොව පුරා ව්‍යප්තවන්නට ඉඩ සැලසුවහොත් දැනට පවතින එන්නත් වලට අවනත නොවන ප්‍රභේද ඇතිවීමේ අවදානමක් පිළිබඳව අවධානය මතුව තිබෙනවා . එසේ වුවහොත් දැනට එන්නත් වී සිටින ජනයා වුවද නැවතත් රෝගාතුර විය හැකියි ..

එය මුළු ලොවටම බරපතල තර්ජනයක් . මෙම තත්වය  බුද්ධිමත්ව අවබෝධ කර ගත යුතුයි . මෙම වෛරසය ලෝකය පුරාම ව්‍යාප්තවීමට ගතවන්නේ ඉතා සුළු කාලයක් , ඒ පිළිබඳව  අපට අත්දැකීම්  තිබෙනවා .  ධනවත් බලවත්  රටවල් පවා මෙම වසංගතය ඉදිරියේ දණින් වැටෙන අයුරුද අප දැක තිබෙනවා .”

“කොරෝනා යනු ලොව කිසිදු රටකට  ආත්මාර්ථකාමීව සිතා  තනියෙන්  සටන් කර ජයගත හැක්කක් නොවේ . කොරෝනා සටන ජයගත  හැක්කේ සියලුම රටවල් එකමුතුව , එක වැඩපිළිවෙලක් , එක සැලසුමක් අනුව කටයුතු කිරීමෙන් පමණයි . මෙම යතාර්ථය ලොව ප්‍රබල හා ධනවත් රටවල් අවබෝධ කරගන්නා තුරු කොවිඩ් පරාජය කරන්නට අපට බැහැ ” යනුවෙන්  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයා පෙරේදා  පැවති  මාධ්‍ය හමුවකදීද   නැවත  නැවතත් අවධාරණය  කර සිටියේ ” එන්නත් ජාතිකවාදයේ ” ආදීනව පිළිබඳව  ඔහු හොඳින්ම දන්නා නිසා වියහැක.

 

(පැතුම් වික්‍රමරත්න )

[email protected]

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්