නවතම පුවත්

         දේශගුණ විපර්යාස හා බලශක්ති ක්‍ෂේත්‍රයේ අනාගතය 

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

                                     

කෝවිඩ් වසංගතයෙන් පසුව අනාගත  ලෝකය මුහුණදෙන මීළඟ ව්‍යයසනය බොහෝ දුරට දේශගුණික විපර්යාස හේතුවෙන් හටගැනෙනු ඇති බවට දැනටමත් විද්‍යාඥයින් අනතුරු අඟවා අවසන්ය .

එම ව්‍යයසනය කොරෝනා වසංගතයටද වඩා බරපතල ආකාරයේ එකක් විය හැකි බවටද , අනාවැකි පළවේ. ඇතැම් විට එය අපගේ මේ ලෝකයේ අවසානය විය හැකි බවටද ඇතැම් පිරිස් අනුමාන කරයි .

කෙසේවෙතත් මෙම අනුමාන ගැන අනතුරු ඇඟවීම් ගැන අප කොයිතරම් සංවේදීද ?

අපගේම ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින සිදුවන මෙම දේශගුණික විපර්යාසයන් ගැන අප කෙතරම් දැනුවත්ද?

අවම වශයෙන් දේශගුණික විපර්යාස යනු කුමක්ද යන්න ගැන පවා අප දන්නේ මොනවාද ?

සරළව පැහැදිලි කරගතහොත් දේශ­ගු­ණික වෙන­ස්වීම් ‍යනුවෙන් අද­හස් කරන්නේ කිසි­යම් භූගෝ­ලීය ප්‍රදේ­ශ­යක දීර්ඝ කාල­යක් තිස්සේ පව­තින උෂ්ණ­ත්වය, වර්ෂා­ප­ත­නය, සුළං, වායු­ගෝ­ලීය තෙත­ම­නය, වායු පීඩ­නය වැනි කාල­ගු­ණික අංග­යන්ගේ සාමාන්‍ය තත්ත්වය වෙන­ස්වී­මට යි. 

දේශගුණික වීපර්යාස ගැන සාකච්ජා කරන විට වැඩි අවධානයක් නිතැතින්ම  යොමුවන්නේ,  ගෝලීය උෂ්ණත්වය ඉහළයාම පිළිබදවය   

ගෝලීය උණුසුම ඉහළයාම යන්න සරළ ලෙසින් අර්ථ දැක්වුවහොත් පෘථිවිය මතුපිට උෂ්ණත්වය අඛන්ඩව ඉහළයාම ලෙස දැක්විය හැකිය. මෙහිදී හරිතාගාර ආචරණය යනු කුමක්ද යන්න පිළිබඳවද  අප නිවැරදිව අවබෝධ කර ගතයුතුමය .

හරිතාගාර ආචරණය

වායුගෝලයේ ස්වාභාවිකවම ඇති, එමෙන්ම කෘතිමව නිපදවා ඇති, හිරුගෙන් මුදාහැරෙන හෝ පෘථිවි පෘෂ්ඨයෙන් පරාවර්තනය වන විකිරණ අවශෝෂණය කිරීමට සහ ඒවා නැවත පරිසරයට මුදාහැරීමට හැකියාව ඇති වායුන්, හරිතාගාර වායුන් ලෙස හැඳින්විය හැකියි.

 ගෝලීය උණුසුම වැඩිවීම සඳහා හරිතාගාර වායුන් කිහිපයක් දායකවන බවත් එම වායුන් මිනිසා විසින් විවිධ ක්‍රම හරහා පරිසරයට මුදා හැරෙන බවත් අනාවරණය කරගෙන ඇත  . කාබන් ඩයොක්සයිඩ් ( CO2 ),  මීතේන් ( CH4 ) ,) නයිට්‍රස් ඔක්සයිඩ් ( N2O ) ,) හයිඩ්රොෆ්ලෝරෝ-කාබන් ( HFC ),) ක්ලෝරොෆ්ලෝරෝ-කාබන් ( CFC )) සල්ෆර් හෙක්සාෆ්ලෝරයිඩ් ( SF6 )හා   නයිට්‍රජන් ෆ්ලෝරයිඩ් ( NF3 ) යනු එවන් වායූන්ට උදාහරණය .

සූර්යයාගෙන් ලැබෙන සූර්යය විකිරණ (කෙටි තරංග) පෘථිවිය මඟින් අවශෝෂණය කර, ඉතිරිය දිගු තරංග ලෙස නැවත ඉහළ වායුගෝලයට නිකුත් කරයි. නමුත් හරිතාගාර වායුවල බලපෑම හේතුවෙන් ඉහළ යන භූ විකිරණ පෘථිවි වායුගෝලයේ රදවා ගැනීමේ ක්‍රියාවලිය හරිතාගාර ආචරණය ලෙසින් හඳුන්වයි. 

හරිතාගාර ආචරණය මිහිතලයට අහිතකර ක්‍රියාවලියක් වන්නේ නැත . පෘථිවියේ දේශගුණික සමතුලිතතාවය රඳාපවතින සාධකයක් ලෙසින් එය හැඳින්විය හැකියි. හරිතාගාර ආචරණය සිදු නොවුණොත් පෘථිවියේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක තරම් පහළ අගයක් ගන්නා බව විද්‍යාඥයින් පෙන්වා දී තිබෙ. එය මිහිමත ජීවීන්ට ජිවත්වීම සඳහා සුදුසු උෂ්ණත්වයක් නොවන නිසා ජීවින්ගේ පැවැත්ම සඳහා හරිතාගාර ආචරණය සිදුවිය යුතු යි.

නමුත් ගැටලුව වන්නේ ම්නිසාගේ නොමනා  ක්‍රියාවන් හේතුවෙන් මෙම හරිතාගාර ආචරණය සීමාව ඉක්මවා එසේත් නැතිනම් අසමතුලිත ලෙස ක්‍රියාත්මක වීමයි  . 

මේ හරහා ගෝලීය උණුසුම  අධික ලෙස ඉහල යන අතරම . ඒ හරහා  ලැව් ගිනි ඇතිවීම , කාන්තාරීකරණය, අධික වර්ෂාපතනය සහ අඛණ්ඩ ගංවතුර ඇතිවීම සහ පාංශු  ඛාදනය වීම වැනි ව්‍යසන දාමයක් ආරම්භවේ.

ඊට අමතරව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සමග ඒ හරහා  වසංගත රෝග  වැඩි වීම  නොවැළැක්විය හැකි වනු ඇත . ග්ලැසියර දියවී මුහුදු මට්ටම ඉහල ගොස් දූපත් රැසක් ජලයෙන් යටවනු ඇත , අවසානයේ දූපත් පමණක් නොව ,  සමස්ත ලොවටම එම අභියෝගයට මුහුනදීමට  සිදුවනු ඇත ,

ගෝලීය උණුසුම ඉහළයාම හරහා සිදුවිය හැකි ව්‍යසනයන් පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන මහත්මිය  අප වෙත මෙසේ පැවසීය ,

“ගෝලීය උණුසුම වැඩිවුවහොත් එම උෂ්ණත්වය දරාගත නොහැකි සතුන් වඳවී යන්නත් පුළුවන් ,  ඒවගේම ඒ හරහා ලොව ජෛව විවිධත්වය හීන වනු ඇති   දිවා , රෑ අතර උෂ්ණත්ව වෙනස්කම් ක්‍රමයෙන් අඩු වේවී . වායුගෝලීය විපත් (අකුණු, සුළි සුළං, සුළි කුණාටු ආදිය) සහ අම්ල වැසි උත්සන්න වේවී . හදිසි දේශගුණික විපර්යාස නිසා මිනිස් සිරුරේ විවිධ විපර්යාස ඇතිවී  ගිලිහී ඒ හරහා රෝගාබාධ බරපතල ලෙස වැඩිවෙනවා .

ගෝලීය  උෂ්ණත්වය තවත් සෙන්ට්ග්‍රෙඞ් අංශක 1.5 කින් ඉහළ යෑමට නොදී රැකගන්නට නොහැකි වුවහොත්,තත්වය බරපතල බව විශේෂඥයින් දැනටමත් අනතුරු අඟවා තිබෙනවා . එසේ වුවහොත්  ග්ලැසියර (අයිස් කඳු) දියවී ගොඩබිම් යටවනවාට අමතරව,  ස්වභාවික ආපදාවන්ට ගොදුරුව, අප බොහෝ දෙනකු දේශගුණික අනාථයින් බවට පත්වීම නොවැළැක්විය හැකිවේවි .”

ඒ අනුව  , තවදුරටත් , “ගෝලීය උණුසුම ඉහළයාම: යන අතිශය බරපතල පාරිසරික ගැටලුව ‘නොතකා හැරියහොත්’ ,  නැතහොත් ‘සුළුවෙන් තැකුවහොත්’ , එහි ප්‍රතිඵලය අප කිසිවකුට සිතාගත නොහැකි තරම් භයානක වනු ඇත , සරලවම පැහැදිලිකළහොත් ,.”ගෝලීය උණුසුම ඉහළයාම හෙවත් ‘global warming’   යනු ආනාගතයේ දවසක , ‘ලෝක විනාශය’  හඳුන්වන තවත් වචනයක් වීමට  ඉඩ ඇත !

බලශක්ති ක්ෂේත්‍රය හා දේශගුණික විපර්යාස

මෙසේ ගෝලීය උණුසුම ඉහළයාම , එසේත් නැතිනම් මෙම දේශගුණ විපර්යාසයන්ට,  මිනිසා විසින් සිදුකරන අහිතකර ක්‍රියාකාරකම් ඍජුවම බලපාන බව විද්‍යාත්මක පර්යේෂණ රැසකින් මේ වනවිට තහවුරුවී අවසන්ය .

දිනෙන් දින සොබාදහමට පටහැනිව යන මිනිසා අතින් හරිතාගාර  වායු වැඩි වශයෙන් පරිසරයට එකතුවන ආකාර කිහිපයක්ම ඇති නමුත් ඉන් ප්‍රධානතම තැනක් ගනු ලබන්නේ බලශක්ති ක්ෂේත්‍රයයි . 

 බලශක්‌තිය, (විදුලිය හා තාපය)  උත්පාදනය සදහා ලොව වැඩිවශයෙන්ම භාවිතා වන්නේ ෆොසිල ඉන්ධනයන්ය . එනම්  ගල් අගුරු සහ ඛනිජ තෙල් හා ස්වභාවික වායු  ආදියයි . මෙවැනි ෆොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් වායුගෝලයට CO2 වායුව වැනි හරිතාගාර වායු  විශාල වශයෙන් එකතුවේ. ඒ අනුව   බලශක්ති ක්ෂේත්‍රය ගෝලීය උණුසුම ඉහල නැංවීමට බලපාන ප්‍රධාන ක්‍ෂේත්‍රයන් ලෙස මේ වනවිටත් පර්යේෂකයින් විසින් හඳුනාගෙන අවසන්ය .

මේ පිළිබඳව දත්ත වාර්තා ගෙනහැර දක්වමින් අප වෙත අදහස් දැක්වූ මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා Slycan Trust ආයතනයේ ජ්‍යෙෂ්ඨ තාක්‍ෂණික  උපදේශක තුසිත සුගතදාස මහතා මෙසේ පැවසීය 

” නවතම සමීක්ෂණයන්ට අනුවද ලෝකයේ බලශක්ති උත්පාදනයෙන් 81% ක්ම ෆොසිල ඉන්ධන භාවිතයෙන් සිදුවන බවට අනාවරණය වී තිබෙනවා . මේ තත්වය යහපත් නැහැ ,ගල් අඟුරු , ඛනිජ තෙල් , ස්වාභාවික වායු තමයි මෙහිදී ප්‍රධානතම ප්‍රභව ලෙස ගැනෙන්නේ .”

.

මෙසේ ෆොසිල ඉන්ධන භාවිතය ඉහල යාමත් සමග ඊට සමගාමීව  අපගේ වායුගෝලය තුල අඩංගු  කාබන් ඩයොක්සයිඩ් වායු සංචිතය ඉහල යන අයුරු පහත රූප සටහනෙන් පැහැදිලිව දක්නට හැක .

බලශක්ති සංක්‍රාන්තිය 

බලශක්ති උත්පාදනය සඳහා පරිසරයට හානිකර නොවන , හරිතාගාර ආචරණයට , තුඩු නොදෙන ප්‍රභවයන් කරා ලෝකය වේගයෙන් යොමුවීමේ වැදගත්කම මතුවන්නේ මේ අනුවය . දැනටමත්  එම වැදගත්කම නිසිලෙස හඳුනාගත් , ඇතැම් රාජ්‍යයන් මෙන්ම පුද්ගලික අංශයේ කොටස් පවා , මේ වනවිට පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් කරා මෙසේ ‘සංක්‍රමණය ”  වීම , ‘පරිවර්තනය’ වීම එසේත් නැතිනම් ‘වෙනස්වීම’   ආරම්භ කර ඇත.

මෙහිදී බොහෝ අවධානයක් යොමුව ඇත්තේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහිය . එනම් සූර්ය ශක්තිය , සුළං බලය  හයිඩ්රොලික් ශක්තිය  භූතාපජ ශක්තිය ජෛව ස්කන්ධ ශක්තිය ආදියයි .

 ඊට අමතරව , මේ වනවිට නවීන තාක්ෂණයද යොදාගනිමින් නව බලශක්ති ප්‍රභවයන් භාවිතයට ගැනීමට රටවල් රැසක් පර්යේෂණයන් දියත්කර ඇති අතර  එවැනි බලශක්ති ප්‍රභවයන් පවා සාර්ථක ලෙස බලශක්ති ක්‍ෂේත්‍රයට ඇතුලත් කරගත් රටවල් කිහිපයක්ම දැනටත්  අපට හමුවේ.

, දකුණු ආසියානු කලාපය තුල ජල විදුලිය නිපදවීම සඳහා මෙන්ම පුනර්ජනනීය බලශක්තිය අතින් ගත් කලද විශාල ශක්‍යතාවයක් හා විභවයක් පවතී . කලාපයේ රටවල් අතර බලශක්ති සහයෝගීතාවය හරහා මෙම තත්වය තවදුරටත් වර්ධනය කර ගත හැක.

විශේෂයෙන්ම කලාපීය බලශක්ති සහයෝගීතාවයක් හරහා ගෝලීය වශයෙන් සිදුවන කාබන් විමෝචනය අවම කරලීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබාදීමටද මෙම රටවලට අවස්තාව උදාවේ. ඒ හරහා එම රටවල ජාතික අධිෂ්ඨානශීලී දායකත්වයන්ට (nationally determined contributions) අදාළ ඉලක්කයන් සපුරා ගැනීමටද සහයෝගයක් ලැබේ .

ගල් අඟුරු බලාගාර හරහා විශාල වශයෙන් සිදුවන කාබන් විමෝචනය පාලනය කර , එසේ පිටවන කාබන් භූගත කිරීමේ ක්‍රමවේදයක්ද මේ වනවිට ඇතැම් රටවල ක්‍රියාත්මක වේ . මෙහිදී සිදුකෙරෙන්නේ පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව ග්‍රහණය කර ගබඩා කිරීමේ  ක්‍රමවේදය යටතේයි .

මෙලෙස පරිසරයට හානිය අවම වන ප්‍රභවයන් කරා යොමුවීමට අමතරව ,  බලශක්ති කාර්යක්ෂමතාවය ඉහල නැංවීම මෙන්ම අරපිරිමැස්මෙන් , විධිමත් ලෙස එය   භාවිතා කිරීමද මෙම ක්ෂේත්‍රය තුල සිදුවිය යුතු වෙනස්කම් හා පරිවර්තනයන් ලෙස හඳුනාගෙන ඇත .

තිරසාර සංවර්ධනය හා සාධාරණ විපර්යාසය  (JUST TRANSITION)

මෙලෙස ලොව පුරා රටවල් කෙමෙන් කෙමෙන් , මෙවැනි පරිසර හිතකාමී , බලශක්ති ප්‍රභවයන් කරා සංක්‍රමණය වීම  හා පරිසරයට හිතකර ලෙස බලශක්ති ක්ෂේත්‍රය පරිවර්තනය කිරීම යහපත් ප්‍රවණතාවයකි . නමුත් මෙම පරිවර්තනය , විපර්යාසය , එසේත් නැතිනම් සංක්‍රමණය සිදුවිය යුත්තේ තිරසාර සංවර්ධනය යන සංකල්පයේ පිහිටා සිටය ,

තිරසාර සංවර්ධනය තුල ප්‍රධාන වශයෙන් පැතිකඩ තුනක් පිළිබඳව සාකච්ජා කෙරේ .පරිසරය යනු ඉන් එකක් පමණි , ඊට අමතරව සමාජය හා ආර්ථිකය යන පැතිකඩ දෙක පිළිබඳවද එහිදී පුළුල්ව අවධානය යොමුකෙරේ . තිරසාර සංවර්ධනයේදී  එම පැතිකඩ තුනෙහිම  සමබරතාවය රැකගනිම අත්‍යාවශ්‍යවේ. පරිසරය  පිළිබඳව පමණක් අවධානය යොමු කොට සිදුකරන යම්  ක්‍රියාවලියකින් හෝ වැඩපිළිවෙලකින්  ආර්ථිකයට , සමාජයට අහිතකර බලපෑම් එල්ලවෙනම් එය තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් ලෙස හැඳින්විය නොහැක . තිරසාර සංවර්ධන සංකල්පයන්ට අනුකූලව නම් ,  ක්‍රියාත්මක කෙරෙන සෑම සංවර්ධන වැඩපිළිවෙලක්ම , පරිසරය , ආර්ථිකය , සාමාජය යන පැතිකඩ තුනටම හිතකර විය යුතුය . සාධාරණ විය යුතුය  .

ඒ අනුව ඕනෑම ක්ෂේත්‍රයක සිදුකෙරෙන  පරිවර්තනයක්,හෝ  විප්ර්යාසයක් ද   සැමවිටම පරිසරයට , ආර්ථිකයට , සාමාජයට යන පැතිකඩ තුනටම හිතකර විය යුතුය . සාධාරණ විය යුතුය , සාධාරණ විපර්යාසයක් විය යුතුය 

 බල ශක්ති ක්ෂේත්‍රයටද මෙම සංකල්පය නිවැරදිව අදාළ කරගැනීම අතිශයෙන් වැදගත්ය . එනම් දේශගුණික  විපර්යාස අවම කිරීම ඉලක්ක කර  බලශක්ති ක්ෂේතර්යේ සිදුකෙරෙන පරිසර හිතකාමී  විපර්යාසයන් , පරිවර්තනයන් , සියල්ල  , ආර්ථික , සමාජයීය පැතිකඩයන් අතින් සලකා  බැලූ විටද  හිතකර විය යුතුය . සාධාරණ විය යුතුය. , ‘සාධාරණ පරිවර්තනයන්’ (just transition ) ලෙස හඳුන්වන්නේ එයයි .

සාධාරණ විපර්යාසය යන සංකල්පය , තිරසාර සංවර්ධනය හා නිතැතින්ම බැඳී පවතින අතර , මෙම සංකල්පය මූලිකවම ඉදිරිපත් කරන ලද්දේ  ජාත්‍යන්තර කම්කරු සංවිධානය  (ILO ) විසිනි . එහිදී මෙම සංකල්පය යටතේ  ඔවුන් විශේෂයෙන් අවධාන යොමු කරන ලද්දේ ” රැකියා අහිමිවීම ” යන ගැටලුව වෙතය .

බලශක්ති ක්ෂේත්‍රයටද අදාළ උදාහරණයකින් මෙම සංකල්පය තවත් පැහැදිලි කළහොත් මෙසේය .

බලශක්ති කාර්යක්‍ෂමතාවය නැංවීම සඳහා යම් කර්මාන්තශාලවකට නවීනතම උපාංග හා මෙවලම් කිහිපයක් හඳුන්වාදීම හරහා එම කර්මාන්තශාලාවේ රැකියාව කරන පිරිසකගේ රැකියා අහිමිවී යා හැක. නවීන තාක්‍ෂණය යම් ක්‍ෂේත්‍රයකට හඳුන්වාදීමේදී බොහෝවිට මතුවන අර්බුදයක් ලෙස මෙම රැකියා අහිමිවීම පෙන්වාදිය හැක . මෙය ආකාර දෙකකින් සිදුවේ , එනම් නවීන තාක්‍ෂණ උපාංග භාවිතා කරන විට , අවශ්‍යවන්නේ අඩු සේවක සංඛ්‍යාවකි. එසේම නවීන තාක්ෂණික උපාංග භාවිතා කිරීමට හැකියාව ඇත්තේද බොහෝවිට තරුණ හා නවීන දැනුම සහිතවූ සීමිත පිරිසකටය . ඒ කරුණු දෙකම හේතුකොටගෙන අදාළ ආයතනයේ පැරණි සේවකයින් රැසකටම එහිදී තම රැකියා අහිමිවේ.

මේ අනුව පරිසර හිතකාමී බලශක්ති ක්ෂේත්‍රයක් ඉලක්ක කොටගෙන වුවද , නවීන තාක්‍ෂණය එම ක්ෂේත්‍රයට හඳුන්වාදීමේදී ,ඒ හරහා සිදුවන  රැකියා අහිමිවීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමුවිය යුතුය . ඔවුන් වෙනුවෙන් වෙන්වූ විශේෂ වැඩපිළිවෙලක් සකස් විය යුතුය .

එහිදී පැරණි සේවකයින්ට , නව තාක්‍ෂණ දැනුම ලබාදීම  , මෙන්ම රැකියාවලින් ඉවත්ව යාමට සිදුවන පිරිස් වෙත වන්දි ලබාදීම හෝ වෙනත් රැකියා අවස්ථා හා ආදායම් මාර්ග ලබාදීම සඳහා  විධිමත් ක්‍රමවේදයක් සකස්කළ යුතුව ඇත .

කෙසේවෙතත් පුනර්ජනනීය බලශක්ති භාවිතයේදී , රැකියා සම්භන්ධයෙන් මතුවන ගැටලුව තරමක් වෙනස්ය . සමාන්‍යයෙන් සුළං බලාගාරයක්  හෝ සූර්ය බලාගාරයක් ඉදිකළ විට  , ගල් අඟුරු බලගාරයකටත් වඩා පස් ගුණයක රැකියා අවස්ථා උදාවේ. ඒ අනුව රැකියා ප්‍රමාණය සලකා බැලූ විට එහිදී ගැටළුවක් මතු නොවේ .

 නමුත් එහිදී වෙනස් ආකාරයක රැකියා අර්බුදයක් මතුවේ .එම අර්බුදයන් ගැන  උදාහරණ සහිතව පැහැදිලි කරමින් අපවෙත අදහස් දැක්වූ කථිකාචාර්ය තුසිත සුගතදාස මහතා මෙසේ පැවසීය 

 “ගල් අඟුරු බලාගාරයක සේවය කරන බොහෝ පිරිසකට , මෙවැනි සුලං බලාගාරයක හෝ සූර්ය බලාගාරයක සේවය කිරීමේ හැකියාවක් නැහැ . ඒ අනුව , ගල් අඟුරු බලාගාරයක් වැසී ගොස් ඒ වෙනුවට සූර්ය බලාගාරයක් ඉදිවුවහොත් , නව රැකියා අවස්ථා රැසක් බිහිවුවද , ගල් අඟුරු බලාගාරයේ සේවය කල පිරිසට රැකියා අහිමිවෙනවා  . මෙවැනි සංකීර්ණ ගැටළු පිළිබඳවද , “සාධාරණ විපර්යාසය” යන සංකල්පය යටතේ සොයාබැලිය යුතුයි  . ඒවාට විසඳුම් ලබාදිය යුතුයි . 

සාධාරණ විපර්යාසය” යන සංකල්පය තුල පවතින , “no one left behind” හෙවත් කිසිවකු ඇත නොහැර යාම යන අදහස අනුව යමින් මෙහිදී කටයුතු කිරීම වැදගත් වන්නේ එමනිසායි  . බලශක්ති ක්ෂේත්‍රය තුල සිදුකෙරෙන මෙම වෙනස්කම් , විපර්යාසයන් සියල්ල සමාජයේ සමාජයේ කිසිදු ස්ථරයකට හානිකර හා අහිතකර නොවන අන්දමින් සිදුකිරීම මෙම අදහසේ හරය වේ. “

කෙසේවෙතත් දැනට සාධාරණ විපර්යාසය යන සංකල්පය ඔස්සේ සලකා බැලුවද වඩාත් සාර්ථක බලශක්ති උත්පාදන ක්‍රමවේදය ලෙස බොහෝ රටවල් විසින් සලකනු ලබන්නේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනයයි .

එහිදී රැකියා අවස්තාවන් මෙන්ම රැකියා ක්ෂේත්‍රය තුල  ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයද  බොහෝ දුරට සුරක්ෂිතවේ . උදාහරණයක් ලෙස ගල් අඟුරු බලාගාර තුල කාන්තාවනට රැකියා අවස්ථා  හිමිවන්නේ ඉතා අවම වශයෙනි , නමුත් සුළං හා සූර්ය  බලාගාර තුල තත්වය වෙනස්ය . ඒවායේ කාන්තාවන් සඳහා රැකියා අවස්ථා විශාල වශයෙන් පවතී.  

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සම්භන්ධව ඇති අපේක්‍ෂා පිළිබඳව අදහස් දක්වමින් සුගතදාස මහතා මෙසේද පැවසීය .

” පුනර්ජනනීය බලශක්තිය , එසේත් නැතිනම් පිරිසිදු බලශක්ති ( Clean Energy ) උත්පාදනය හරහා 2050 වසර වනවිට කාබන් විමෝචනය 70% කින් පමණ අඩුකිරීමට අපේක්‍ෂා කරනවා . එසේම නව රැකියා අවස්ථා මිලියන 7ක් පමණ උදාකිරීමට අපේක්ෂා කරනවා . මේ හරහා වායුගෝලයේ ගුණාත්මක භාවයත් ඉහල යනවා , එයත් ආර්ථික වාසියක් ලෙස සලකන්න පුළුවන් . එසේම බලශක්තිය සඳහා වැයවන අතිවිශාල මුදල් ප්‍රමාණයද අඩුකිරීමට අපේක්ෂා කරනවා .”

 බාධක ජයගැනීම 

කෙසේ වෙතත් ගෝලීය  උණුසුම ඉහල යාමේ තර්ජනය හමුවේ , මෙම බලශක්ති ක්ෂේත්‍රයේ සිදුකල යුතු මෙම පරිවර්තනයන් තවදුරටත් වේගවත් කල යුතුව ඇත . කාර්යක්‍ෂම කල යුතුය . විධිමත් කල යුතුය . එහෙත් එම ඉලක්ක පහසු නැත . විව්ධාකාර බාධක රැසක් ඊට එරෙහිව පවතින අතර , ඒ ගැන කෙටියෙන් හෝ හඳුන්වාදීම මෙහිදී ඉතා වැදගත්ය .

 රටවල් වල පවතින දේශපාලන වාතාවරණය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු මෙන්ම ප්‍රතිපත්තිමය  සහ ව්‍යවස්ථාපිත අඩු ලුහුඬුතා මෙම බාධක අතර ඉදිරියෙන්ම ඇත .එසේම බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යුහය තුල පවතී සීමාවන් මෙන්ම වෙළඳපොල තුලින් මතුවන බාධකද මෙහිදී බලවත්ය .

යටිතල පහසුකම් සහ තාක්ෂණික සීමාවන්ද බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට බාධාවක් වන අතර විශේෂයෙන් අප වැනි දියුණුවෙමින් පවතින රටවලට මෙය දැඩි බාධාවක්ව පවතී .

දත්ත, තොරතුරු සහ සන්නිවේදන පරතරයද දැනුම සහ ධාරිතාව සම්භන්ද අඩු ලුහුඬුතාවයන්ද මෙහිදී විශේෂයෙන් බලපෑම් කරන අතර හිමිකාරීත්ව ව්‍යුහය හා ගිවිසුම් සම්මතයන්ද මෙම පරිවර්තනයන්ට බාධක ලෙස හඳුනාගත හැක. 

ගෝලීය උණුසුම ඉහල යාම , එසේත් නැතිනම් මේ කාලගුණ විපර්යාස යනු තවදුරටත් හුදු “කතාන්තරයක්” නොවේ . අදාළ අවශ්‍ය පියවරයන් , නියමිත වෙලාවට නියමිත පරිදි  නොගතහොත් ,  එය කටුක  වනු ඇති බවට දැනටමත්  ඉඟි පලවෙමින් ඇත .

ඒ අනුව ඉදිරියේදී එළඹිය හැකි මෙම මහා ඛේදවාචකයෙන් ගැලවීම සඳහා , සියලු බාධක හා ගැටළු මැඩලමින් ,  බලශක්ති ක්ෂේත්‍රය තුල සිදුකල යුතු වෙනස්කම් , විපර්යාසයන්ද වහා ක්‍රියාත්මක කල යුතුය . එහෙත් එම විපර්යාස , පරිසරයට පමණක් නොව සමාජ ආර්ථික පැතිකඩයන්ටද හිතකර ‘ සාධාරණ විපර්යාසයන්” විය යුතුව ඇත .

(පැතුම් වික්‍රමරත්න) 

[email protected]

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්