නවතම පුවත්

ලංකාවේ දරුවන්ගේ හීන පාටකරන්න අමෙරිකාවෙන් ආ අපේ දරුවෝ

අසංක

අසංක

වොෂින්ටන් නුවර මේරිලෑන්ඩ් අවට ඇත්තේ දියුණු සමාජ වටපිටාවකි. එවැනි වටපිටාවක ජීවත්වන පාසල් දරුවකුට අවශ්‍යතා මත නොලැබේයැයි සිතන්නට යමක් නැත. එහෙත් මානව හා හෞතික සම්පත්වල සීමාවීම් මත ලංකාව වැනි රටක නම් අධ්‍යාපනය සීමා වූ දරුවෝ කොතෙකුත් සිටිති.

අවශ්‍යතා සීමා වීම නිසා තමන්ගෙ සිහින යථාර්ථයක් කර ගැනීමට නොහැකිව සිටින ලෝකයේ කුමන හෝ රටක දරුවන් වෙනුවෙන් පරිත්‍යාගය මුල්කරගත් කුමන් හෝ ව්‍යාපෘතියක් ඇරඹුවේ නම් එය කොතරම් මානුෂවා දී ද ? මේ කතාවේ එන ශ්‍රී ලාංකික දෙමාපියන් දාව උපන් අමෙරිකානු දරුවන් තිදෙනාත් එවැනි හැරවුම් ලක්ෂයකට පාර කපන්නෝය.

රිත්මා ප්‍රේමරත්න (16 ), සවි පීරිස් (17) සහ ඔවිනි විජේසුන්දර (16) අමෙරිකානු දරුවන් තිදෙනාගේ Donate For Dreams සංවිධානය ද එවැනි උතුම් අරමුණක් පෙරදැරිව හටගත් අපූරු සිතිවිලි ගසකි.

වෙනසකට ඇත්තේ ඔවුන් ඒ ගසෙහි හටගන්නා මල්වල සුවඳ විඳිමින් එහි පලදාව නිර්ලෝභීව පරිත්‍යාග කිරීමයි.

YouTube player

පසුගියදා අමෙරිකාවේ සිට මෙම ළමුන් සිය දෙමාපියන් ද සමඟ ලංකාවට පැමිණෙන්නේ ඔවුන් ආරම්භ කළ Donate For Dreams ව්‍යාපෘතියේ අස්වැන්න අපේම රටේ අවස්ථා සීමා වීම නිසා අධ්‍යාපනයේ නියම ඵල ලබන්නට නොහැකිවේ යැයි සිතිවිල්ලෙන් පසුවන දරුවන්ට යම් අස්වැසිල්ලක් වීම සඳහාය.

දැනටත් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රිත්මා ප්‍රේමරත්න කුඩා කල පටන් අමෙරිකාවේ හැදී වැඩුන ද දෙමාපිය අභාෂය නිසා ඉතා හොඳින් සිංහල කතා බහ කරන්නීය.

ඇය මෙම ව්‍යාපෘතියේ ආරම්භය ගැන සිහිපත් කළේ මෙසේය.

“මම අමෙරිකාවේ ජීවත් වුණත් මගේ දෙමාපියන් සමඟ ලංකාවට සෑහෙන වතාවක් පැමිණ තිබෙනවා. මේ ආපු ගමන්වල දි මම අම්මා තාත්තා එක්ක විවිධ සමාජ සත්කාරවලට එක්වුණා. ඒ නිසා Donate For Dreams කියන ලාභ නොලබන සංවිධානය හදලා මම වගේම ඉගෙන ගන්න ආස, ඒත් අවස්ථා සීමා වුණු අපේම යාලුවන්ට උදව් කරන වැඩසටහනක් හදන්න ඕන කියලා හැඟීමක් ඇති වුණා.”

ඒ වෙනුවෙන් රිත්මා මෙන්ම සවි සහ ඔවිනි තම තමන්ට හැකි අයුරින් හරි හරියට මහන්සි වී තිබේ. ඔවුහු තම පංතියේ මිතුරු මිතුරියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ නෑදෑ හිත මිතුරන් අමතමින් Donate For Dreams සඳහා ඩොලර් එක් රැස් කර තිබේ.

දෙමාපියෝ ද දරුවන්ගේ මෙම සමාජ සත්කාරය සඳහා ඔවුන්ගේ නොමසුරු දායකත්වය ලබා දී ඇත.

මෙහි මූලික පියවරට ලංකාවම තෝරාගත් මොවුන් ඒ වෙනුවෙන් මෙරටට පැමිණියේ පසුගිය ජුලි මාසයේ දී ය. ඒ මෙරට දැඩි ඉන්ධන හිඟයක් පැවති කාලයයි.

ප්‍රවාහන දුෂ්කරතා අවම කරගනිමින් වුව ද Donate For Dreams ඉලක්කයට ළඟා වීම ඔවුන්ගේ පළමු අභිප්‍රාය වී තිබිණි.

මෙම සත්කාර්යය ඔවුන් කොටස් කිහිපයකට බෙදාගෙන තිබිණි. එකක් ඔවුන්ගේ කාලය හා දැනුම ඉගෙනීමේ අවශ්‍යතාව තිබෙන දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමයි. අනෙක ඔවුන් එක් රැස් කළ මුදලෙන් කෙ‍ෙරන ද්‍රව්‍යමය හා භෞතික පරිත්‍යාගයි.

ජුලි 08 වැනිදා කෑගල්ල Vertex International ජාත්‍යන්තර පාසලට යන මොවුන් එහි දරුවන්ට අමෙරිකාව සහ එහි අත්දැකීම් පිළිබඳව අධ්‍යාපන සැසියක් පැවැත්තුවේය. එම පාසලේ අධ්‍යක්ෂ මධාරා ප්‍රියදර්ශනී මහත්මිය මෙම වැඩසටහන අගය කරමින් මෙය තම පාසලටත් සිසුන්ටත් හිමි වූ ඉතා විශිෂ්ට අවස්ථාවක් බව සිහිපත් කළාය.

මෙම දරුවන් අධ්‍යාපනය, ආකල්ප හා කුසලතා මෙන්ම අත්දැකීම් අපගේ පාසලේ දරුවන් සමඟ බෙදා ගත්තා. අපි ඒ ගැන ඔවුන්ට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිරියටත් ඔවුන් සමඟ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා යැයි ඇය කීවාය.

Donate For Dreams ජුලි 09 වැනිදා පැමිණියේ කෑගල්ල බුද්ධ ජයන්ති කාන්තා ළමා නිවාසයටයි. එහි ගිය මෙම දරුවෝ ඔවුන්ට අවශ්‍ය සියලුම පාසල් ද්‍රව්‍ය හා උපකරණ ලබා දෙමින් ආහාර පානවලින් ද ඔවුන්ට සංග්‍රහ කිරීමට අමතක නොකළෝය.

අපේ වගේ ආයතන සොයාගොස් ඔවුන්ටත් මෙවැනි උපකාර කරන්නැයි එම කාන්තා ළමා නිවාසයේ පාලිකාව Donate For Dreams සංවිධානයෙන් මෙහිදී ඉල්ලා සිටියාය.

සරණක් නොමැති දරුවන් සමග ගී ගයමින් ඔවුන්ගේ මුවගට සිනාවක් එක් කළ Donate For Dreams දරුවෝ එතැනින් නික්ම ආවේ ඔවුන් අත තෑගිබෝග ද තබමිනි.

කොළඹ අගනගරයේ සිට කිලෝමීටර් 250ක් පමණ ඈතින් පිහිටි දුෂ්කර ගම්මානයක් වූ පූනෑව පහළ ගල්කන්දෙගම විද්‍යාලය සොයා Donate For Dreams දරුවෝ එහි පැමිණෙන්නේ ඉන් පසුවය.

සරණක් ඇවසි දරුවන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ටත් සරණක් වීමේ එදින ඔවුන්ගේ අදිටන වී තිබිණි.

කලක් යුද්ධයෙන් පීඩාවට පත් මෙම ප්‍රදේශය තවමත් දුෂ්කර තා රැසකින් අනූනය.

YouTube player

Donate For Dreams වෙනුවෙන් රිත්මා එහි දී සිය අදහස් පළ කරමින් අමෙරිකාවේ දී මෙම සත් කාර්යයට දායක වූ පිරිස මෙන්ම පූනෑවේ මෙම පාසලේ දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ හා ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට සංවිධාන ශක්තිය සැපයූ කිරලව විහාරස්ථානාධිපති අසරණ සරණ සුභ සාධක පදනමේ නිර්මාතෘ ගරුතර උදුරව ඤාණින්ද ස්වාමීන්වහන්සේ, ආචාර්ය මණ්ඩලය, අනූෂා නැන්දා ඇතුඵ පිරිසට ස්තුති කළාය.

“ඇත්තටම අපි සතුටු වුණේ ඔවුන්ගෙ මුවේ ඇඳුණු සිනහව දැකලා. අපිට මේ කාර්යය කරාම හිතුනෙ අපි ඔවුන්ව සතුටු කරා නේද වගේ හැඟීමක්. ඇත්තටම ඔවුන්ගේ ඒ සිනහව අපටත් ලැබුණු තෑග්ගක්. අපි මෙතනදී මේ නංගිලා මල්ලිලාට දෙන්න ගෙනාවේ පොත්පත්,පෑන් ,සපත්තු වගේ හා වෙනත් අවශ්‍ය දේවල් විතරක් නෙමෙයි ඒ දුන්නේ අපේ ආදරය. සෙනෙහස, වගේම ඔව්නට ඉදිරි අභියෝගවලට මුහුණ දීමට උවමනා ශක්තිය” යැයි රිත්මා අප සමඟ කියා සිටියාය.

“Donate For Dreams ‘උදව් කරන්න ඔබේ සිහින සැබෑ කරන්න’ කියන තේමාවෙන් තමයි මේ අක්කලා අයියලා ඔබට උදව් කරන්නෙ. මට මගේ ජීවිතයේ අඩුපාඩු තිබ්බත් ඒ අඩුපාඩු තුළින් ඇතිවුණු බලාපොරොත්තු තමයි මම යම්කිසි සාර්ථකත්වයක් ලැබුවා නම් ලැබුවේ. ඒ නිසා දුවල පුතාලා හිතන්න ඔබට අඩුපාඩු කියන්නේ ඔබේ ඉදිරි ගමන් මාර්ගය සපුරා ගැනීමට බාධක නොවෙයි. ඒ සඳහා ඇතිවන පලස නැතිනම් උපකාරීවන මාර්ගය කියලා යැයි රිත්මා ප්‍රේමරත්නගේ පියා සුමේධ ප්‍රේමරත්න මෙහිදී කියා සිටියේය.

පූනෑව පහළ ගල්කන්දෙගම විද්‍යාලයට පානීය ජල ටැංකියක් ලැබුණේ ද එදිනය. එය ලැබූ දරුවන්ගේ සිනහව දුටු Donate For Dreams වෑයම එම ප්‍රදේශයටම පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් හඳුන්වාදීමේ අදහසක් තරමට පළල් විය.

ජුලි 12 වැනිදා Donate For Dreams සමාජ සත්කාර්ය දිගු වූයේ ගල්කිරියාගම ගැමුණු පෙර පාසලටයි. එහි ගිය Donate For Dreams දරුවන්ව පෙර පාසල් දරුවන් විසින් පිළිගත්තේ විවිද ප්‍රාසාංගික අත්දැකීමක් ද එක්කරමිනි.

Donate For Dreams ඔවිනි විජේසුන්දර මේ පිළිබඳව අදහස් පළ කරමින් මෙම වැඩසටහන පැවති ස්ථානයේ දරුවන් කොතරම් දුෂ්කරතා මධ්‍යයේ සිටියත් අප හමුවේ ඉදිරිපත් කළ සංස්කෘතික අංග ඉතාමත් විචිත්‍ර යැයි කීවාය.

“අපි ඒවා බලලා සතුටු වුණා. ඒ වගේම අපි ඔවුන්ට ලබා දුන් පාසල් උපකරණ හා පෙර පාසලට අවශ්‍ය ද්‍රව්‍ය නිසා ඔවුන්ගේ මුවෙත් සිනාවක් තිබුණා. මේ මුළු වැඩසටහනේ දි අපි විවිද තැන්වලදි ඒ ළමයින්ගේ සිනහව දැක්කා. ඒ නිසා Donate For Dreams ලංකාවට ආපු මේ ගමන ගැන අපට තියෙන්නෙ නිහතමානී අභිමානයක්” යැයි ඇය කීවාය.

උදව් කරන්න ආපු ගමනේ වෙහෙස නොතකා විටෙක තමන්ගේ බත් පත පවා පරිත්‍යාග කරන්න ඇත්නම් යැයි සිතා එයත් පරිත්‍යාග කොට සිනාසෙන දරුවන්ගේ සතුටු කඳුලු දැක සතුටු වූ මෙවැනි දරුවන් අමෙරිකාවට, අපට පමණක් නොව මුළු මහත් ලොවටම ආදර්ශයකි.

බොහෝ දේ නැතැයි සිතා තමන්ගේ සිහින සීමා කරගන්නා දරුවන්ට ඒ සිහින යථාර්ථයක් කර ගැනීමට Donate For Dreams දෙන මේ විසල් ශක්තිය රුපියල් ශතවලින් මිල කළ නොහැකිය.

YouTube player
YouTube player
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?