විශේෂාංග


Share now!

රාජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිරගතව සිටි අවසාන හය දෙනා ඉකුත් සෙනසුරාදා (12) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මගින් නිදහස් කරනු ලැබූහ.

1999 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් අනුව එම වසරේ සිට මෙම ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටියේ හත් දෙනකු පමණි. ඉන් එක් පුද්ගලයකු ඉකුත් මැයි මාසයේ දී නිදහස් කරනු ලැබූ අතර ඉකුත් සෙනසුරාදා නිදහස් කරනු ලැබුවේ ඉතිරි හය දෙනායි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මුලදී 41 දෙනකුට චෝදනා එල්ල වූ අතර කොටි සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්, එම සංවිධානයේ රහස් ඔත්තු අංශයේ ප්‍රධානි, පොට්ටු අම්මාන් හා එම සංවිධානයේ කාන්තා රහස් ඔත්තු අංශයේ ප්‍රධානි අකිලා යන තිදෙනා ද ඒ අතර වූහ. ඔවුන් කිසි දිනෙක අත්අඩංගුවට පත් වූයේ නැත.

ප්‍රභාකරන් හා පොට්ටු අම්මාන් යුද්ධයේ අවසාන දිනයේ දී එනම් 2009 මැයි 18 වැනිදා නන්දිකඩාල් කළපුව අසල දී මිය ගියහ. අකිලා 1995 රැවිරැස හමුදා මෙහෙයුමට මුහුණ දීමේ දී මියගොස් තිබිණි.

චෝදනාවට ලක්වූ තවත් 11 දෙනෙක් තමිල්නාඩුවේ විවිධ ස්ථානවල දී අත්අඩංගුවට පත්වන්නට යාමේ දී සයිනයිඩ් කා දිවි නසා ගත්හ. තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට පත්වීමෙන් පසු එල්ලී දිවි නසාගෙන ඇත.

මියගිය එම 15 දෙනා හැර ඉතිරි 26 දෙනාට විරුද්ධව විශේෂ අධිකරණයක් හමුවේ 1992දී නඩු පවරනු ලැබ 1998දී ඔවුනට මරණ දඬුවම් පැනවිණි. ඔවුන්ගේ අභියාචනයක් විභාග කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන් 19 දෙනකු නිදහස් කළේය. ඒ ඔවුන් මෙම ඝාතනයට දායක වී ඇත්තේ ඉතා සුළුවෙන් යැයි ද ඒ වෙනුවෙන් ඔවුන් එතෙක් බන්ධනාගාරයේ ගත කළ වසර අට ප්‍රමාණවත් යැයි ද කියමිනි.

ඉතිරි හත් දෙනාගෙන් තිදෙනකුගේ මරණ දඬුවම ද ශ්‍රේෂ්ඨාධිකරණය ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලෙස අඩු කළේය. ඉන් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයෝය. ශ්‍රී ලාංකිකයන් වූ මුරුගන් හා සාන්තන් යන දෙදෙනාගේත් මුරුගන්ගේ බිරිඳ වන නලිනි හා සේරජිවාලන් යන ඉන්දියානුවන් දෙදෙනාගේත් මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද තහවුරු කෙරිණි.

මෙසේ නිදහස් වූ ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනා නිදහස් වූ දිනම තාමිල්නාඩුවේ තිරුචිහි පිහිටි විශේෂ කඳවුරක රඳවනු ලැබූහ. ඒ ඔවුන් ඉන්දියාවට අනවසරයෙන් ඇතුල් වූ විදේශිකයන් වන නිසාය. ඔවුන් වෙත ගමන් බලපත්‍ර නොවූ හෙයින් ඔවුන් පිටුවහල් කරන්නේ කුමන රටකට ද යන ප්‍රශ්නය මතුව ඇතැයි කියවේ.

රජිව් ගාන්ධි ඝාතනය සිදුවූයේ 1991 මැයි 21 වැනිදා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදුර් නම් ස්ථානයේ පැවැති මැතිවරණ රැස්වීමකදීය. කොටි සංවිධානයේ සාමාජිකවක වූ තේන්මොලි රාජරත්නම් හෙවත් දුනු නම් මරාගෙන මැරෙන කාන්තාවක් බෝම්බයක් පුපුරවා මෙම ඝාතනය කර තිබිණි.

මෙම ඝාතනය කොටි සංවිධානයේ බෙදුම්වාදී අරගලයට විශාල වශයෙන් අහිතකර ලෙස බලපෑ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයට ද යම් යම් බලපෑම් කොට ඇත. ගැඹුරට සලකා බලන්නේ නම් මෙම සිද්ධිය දකුණු ආසියානු කලාපයේ භූ දේශපාලන චලනයන්ගේ ප්‍රතිඵලයක් වූ අතර එම සිද්ධිය පෙරළා මෙම භූ දේශපාලනයට ද බලපෑම් කොට තිබේ. එමගින් ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද දේශපාලන ගමන් මගේ සැලකිය යුතු වෙනසකට ද එය මඟ පැදීය. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා හා රාජිව් ගාන්ධි ඝාතනය නොවූයේ නම් ඇතිවිය හැකිව තිබූ තත්ත්වයක් අනුමාන කිරීමෙන් මෙම නිගමනයට පැමිණිය හැකිය.

ඉන්දියානු සාගර කලාපයට විහිදී තිබූ සීතල යුද්ධයේ බලපෑම් නිසා යම් ප්‍රමාණයකට කඩතොළු වී තිබූ ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාව මෙම ඝාතනය මගින් එක්තරා දුරකට යහපත් අතට හරවනු ලැබීය.

මෙරට බෙදුම්වාදී අරගලයේ ආරම්භයේ දී ආසන්න වශයෙන් සෑම දෙමළ සන්නද්ධ කණ්ඩායමක්ම එක්තරා දුරකට වාමාංශික නැඹුරුවක් පෙන්වීය. ඊළාම් නොවේ. ඊළම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්) සිය කාර්යාලවල හා ප්‍රචාරක ලිපි ලේඛනවල කාල් මාක්ස්, එංගල්ස් හා ලෙනින්ගේ පින්තූර හා උධෘත පාඨ යොදා ගනු දක්නට ලැබීම ඊට උදාහරණයකි.

එහෙත් මෙම කණ්ඩායම් පුද්ගල ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වූ මාක්ස්වාදී ඉගැන්වීම කිසිදා නොපිළිගත්හ. ඒ අනුව ඔවුහු තරගකාරී සංවිධානවල හා දේශපාලන පක්ෂවල නායකයන් ද රජයේ නිලධාරීන් ද ඝාතනය කළහ. තවමත් මාක්ස්වාදය පිළිගන්නා ජනතා විමුක්ති පෙරමුණද රජයේ නායකයන් ඝාතනය කිරීමෙන් රජය මර්දනය වළකාලීමට උත්සාහ කිරීමෙන් එම පක්ෂය ද එම කාරණයේදී එම දෙමළ සංවිධාන මෙන් කටයුතු කොට ඇත.

පුද්ගල ත්‍රස්තවාදය කෙරෙහි විශ්වාසය තැබූ කොටි සංවිධානය රජිව් ගාන්ධි පමණක් නොව මෙරට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් වැනි මෙරට බොහෝ දේශපාලනඥයන්ද ඝාතනය කළේය. එහෙත් ඔවුනට එමඟින් තමන් පිළිබඳ ඉන්දීය රජයේ හෝ ශ්‍රී ලංකා රජයේ ආකල්ප හෝ එම රාජයන්හි ක්‍රියාමාර්ග හෝ වෙනස් කළ නොහැකි විය. සිදු වූයේ ආණ්ඩු දෙකම තම තමන්ගේ ස්ථාවරයන් තව තවත් දැඩි කිරීම පමණි.

එසේ වුව ද මෙම ක්‍රියා මගින් ඔවුනට මෙම දෙරටේ මෙන්ම වෙනත් ඇතැම් රටවල ද කැරැලිකාරී කණ්ඩායම්වලට විශාල ආශ්වාදයක් දෙන්නට හැකිවිය. එවැනි කණ්ඩායම්වලට කොටි සංවිධානය වෙතින් ඇති වූ බලපෑමට ඉතා හොඳ උදාහරණයක් නම් නේපාලයේ ටෙනයි ප්‍රදේශයේ මදේශි ජාතික කැරැලිකාරී කණ්ඩායමක් ඔවුන්ගේ නමේ මුලකුරු ද එල්.ටී.ටී.ඊ වශයෙන් යෙදෙන පරිදි ‘‘ලිබරේෂන් ටයිගර්ස් ඔෆ් ටෙරායි ඊළම්’’ යනුවෙන් ඔවුන්ගේ නම සකසා ගැනීමය. 2010 දී නේපාල ආණ්ඩුව හා එම සංවිධානය අතර අත්සන් කරන ලද සාම ගිවිසුමකින් අනතුරුව එම සංවිධානය ගැන අසන්නට ලැබෙන්නේ නැත.

කලාපයේ භූ දේශපාලනය තේරුම් ගෙන කටයුතු කරන්නට මෙරට ඇතැම් රාජ්‍ය නායකයන් මෙන්ම දෙමළ සන්නද්ධ කණ්ඩායම් අසමත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙරටට ඇති වූ හානිය අති විශාලය. විශේෂයෙන්ම එමගින් උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවට සිදු වූ හානිය කියා නිම කළ නොහැකි තරම්ය.

ඉතාමත් අත්දැකීම් ඇති ශූර දේශපාලනඥයකු වුවද හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාද මෙම කාරණය තේරුම් නොගැනීම නිසා මේ රටේ බෙදුම්වාදය ශක්තිමත් කරන්නටත් එමඟින් දශක තුනක යුද්ධයකටත් අවිඥනිකව හෝ දායක විය. අසූවේ දශකයේ දී සීතල යුද්ධය ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙමින් තිබිණි. එකල ඉන්දියාව සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය හා නැගෙනහිර යුරෝපීය සමාජවාදී රටවල සමීප සහයකු විය. එසේ තිබියදී 1977 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර සමගත් ඇමෙරිකාවේ බළල් අතක් වන ඊශ්‍රාලය සමඟත් සමීප සබඳතා ඇති කර ගත්තේය.

එවිට එවක ඉන්දියාවේ අගමැතිනියව සිටි ඉන්දිරා ගාන්ධිගේ ප්‍රතිචාරය වූයේ ශ්‍රී ලංකාවේ අනාගතයට දැඩි ලෙස බලපෑමක් ඇති වන අයුරින් මෙරට දෙමළ බෙදුම්වාදී සංවිධානවලට එම සංවිධාන අතර ඇති වෙනස් කම් හා මතභේද නොතකා මුදලින් අවි ආයුධවලින් හා යුද පුහුණුවෙන් ආධාර කිරීමය. 1980 ගණන්වලදී තමන් කිරි පොවා හැදූ සර්පයා දිනෙක තම පුත්‍රයා බිලිගනු ඇතැයි ඇය එදා සිතන්නට නැත.

ජයවර්ධන මහතාගේ මෙම ක්‍රියාව සමාන කළ හැක්කේ යුක්රේනයේ වත්මන් ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කිගේ කටයුතුවලටය. දෙදෙනාම තමන්ගේ දොරකඩ සිටින ප්‍රබල අසල්වැසියාගේ සතුරාට සහාය දී අසල්වැසියාගෙන් බඩකට පුරා බැට කෑහ.

භූ දේශපාලන චලනයන් පිළිබඳ අවබෝධය කොටි නායක ප්‍රභාකරන්ටද පිටස්තර දෙයක් විය. එහෙයින් 1987 දී අනෙක් සියලු දෙමළ සන්නද්ධ සංවිධාන ආයුධ සන්නද්ධ සටන අත්හළ පසුත් ඔහු ශ්‍රී ලංකා හමුදාවන්ට පමණක් නොව ඉන්දීය හමුදාවලටද පහර දුන්නේය. ඒ අතර ඔහු වෙනත් සතුරන් ද රට තුළ ඇති කර ගත්තේය. දෙමළ බුද්ධිමතුන්, දෙමළ බෙදුම්වාදී සටනට මුලදී සහාය දුන් සිංහල වාමාංශික කණ්ඩායම් හා නැගෙනහිර පළාතේ බහුතර ජන කොට්ඨාසය වන මුස්ලිම් ජනතාව ඒ අනුව ඔහුගේ මතවාදවලින් ඈත් වූහ.

මුලදී දෙමළ බෙදුම්වාදී සටනට මුදලින් ආයුධවලින් හා පුහුණුවෙන් ආධාර කළද ඉන්දියාව ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් අපේක්ෂා කළේ නැත. එය තම රටේ පල ප්‍රයෝජනවලට හානිකර බවද ඔව්හු දැන සිටියහ. ශ්‍රී ලංකාවේ බිහිවන ස්වාධීන දෙමළ රාජ්‍යයකින් එවකට කෝටි 5ක් වූ තමිල්නාඩු දෙමළ ජනතාව අතර ඇතිවිය හැකි බෙදුම්වාදී ප්‍රවනතා පිළිබඳ ඔවුනට හොඳ අවබෝධයක් තිබිණි. එවැනි රාජ්‍යයක් තමිල්නාඩු බෙදුම්වාදීන්ට හොඳ පුහුණු කඳවුරක් වීම ගැනද ඔවුහු දැන සිටියහ. තමිල් නාඩුව යනු 1960 ගණන්වලදී බෙදුම්වාදී දේශපාලනයක් පැවැති ප්‍රාන්තයකි. එය ආරම්භයේදීම තහනම් කොට එවකට සිටි අගමැති ජවහර්ලාල් නේරු එය යටපත් කොට දැමීය.

ඒ අනුව ඉන්දිරා ගාන්ධි ප්‍රමුඛ ඉන්දීය නායකයෝ 1987 වනවිට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බලපෑම් කොට බලය බෙදීමේ සංකල්පය පිළිගන්නා තැනට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා පත් කොට ගත්හ.ගෝපාලස්වාමි පාර්තසාරති හා රොමේෂ් බණ්ඩාරි වැනි ඉන්දීය නිලධාරීහු එහිදී විශේෂ කාර්ය භාරයක් ඉටු කළහ. ඉන්දිරා ගාන්ධිගේ පුත් රජිව් ගාන්ධි බලයට පත්වී බලය බෙදීමේ සංකල්පය ක්‍රියාත්මක කරවීම සඳහා බලහත්කාරී ක්‍රියාවල ද නිරත විය. ඔහු 1987 ජූනි 3 වැනිදා යුද්ධයට කොටු වී සිටින යාපනයේ ජනතාවට ආහාර බෙදන්නට යැයි කියමින් නැව් ගණනාවක් අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදට ඇතුල් කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ගේ ගමන් මඟ හරස් කළ විට එම නැව් හැරී ගියද පසුදා ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා යාපනයට ඉහළ අහසේ සිට ආහාර පොදි බිම දමා යළි පියාසර කොට තිබිණි.

මෙම හමුදා ක්‍රියාමාර්ග මගින් ශ්‍රී ලංකා නායකයන් හීලෑ කරගත් ඉන්දීය බලධාරීහු එම නායකයන් හා කොටි නායකයන් මත ගිවිසුමක් ද (ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුම) පැටවූහ. තමන් තවදුරටත් බෙදුම්වාදය ඉදිරියට ගෙන යන්නට සූදානම් නැතැයි යන පණිවිඩයද ඉන් දෙනු ලැබීය. ඉන්පසු 1988 පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවැති 4 වැනි සාර්ක් සමුළුවට සහභාගි වූ ඉන්දීය විදේශ ලේකම් එස්.කේ. සිංහ ශ්‍රී ලංකාව තුළ වෙනම දෙමළ රාජ්‍යයක් බිහිවීම ඉන්දියාවට හානිකර වන හෙයින් ඊට ඉඩ නොදෙන බව ජනමාධ්‍යයට පවසා තිබිණි.

ඔහු ඉදිරිපත් කළ භූ දේශපාලනික තර්කය ප්‍රභාකරන් පිළිගත්තේ නම් ඊළඟ දශක දෙක තුළ සිදු වූ දස දහස් ගණනක ජීවිත හානි වළක්වා ගත හැකිව තිබිණි.

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය තමිල්නාඩුව තුළට කාන්දුවීම පිළිබඳ බියට අමතරව කොටි සංවිධානය ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉන්දීය හමුදාවට පහරදීම නිසාද ඉන්දියාවට කොටි සංවිධානය මර්දනය කරන්නට බල කෙරිණි. එහෙත් එනිසා ඉන්දියාවට එරෙහි ජනමතයක් තමිල්නාඩුව තුළ ගොඩ නැගෙන්නට වූයේ ශ්‍රී ලංකා ආණ්ඩුවට හා කොටි සංවිධානයට තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්නට දී අත සෝදා ගන්නා තැනට ඉන්දියාව යොමු විය. ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවෙන් පිට විය යුතු යැයි ජනාධිපති ප්‍රේමදාස මහතා කළ ප්‍රසිද්ධ නිවේදනයද එම අරමුණට හේතු විය.

රාජිව් ගාන්ධි ඝාතනය සිදු වූයේ 1991 මාර්තු මාසයේදී ඉන්දීය හමුදා මෙසේ මෙරටින් පිට වී මාස දෙක හමාරකිනි. එය පිළිගැනීමකි. එහෙත් එමගින් සිදුවූයේ ඉන්දීය ආණ්ඩුව ශ්‍රී ලංකාවේ යුද කටයුතුවලට වඩ වඩා ක්‍රියාශීලිව බුද්ධි සේවා කටයුතු වැනි කටයුතුවලදී සහාය දීමය.

1991 දීම සෝවියට් සංගමය සහ නැගෙනහිර යුරෝපීය සමාජවාදී කඳවුර බිඳ වැටී සීතල යුද්ධයද අවසන් විය. ආර්ථික අර්බුදය විසින් ඉන්දියාවටද බටහිරට යොමුවන්නට සිදුවිය. සීතල යුද්ධය අවසන් වී තිබීම නිසා ඉන්දියාවට එය දුෂ්කර නොවීය. ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා බටහිරට නැඹුරු විය.

මෙරට බෙදුම්වාදයට සහාය දෙන්නට ඉන්දියාවට තිබ එකම හේතුවද ඉන් අහෝසි විය. එහෙයින් ඉන්පසු ඉන්දියාව කළේ තමිල්නාඩුවේ නොසන්සුන්තා ඇති වීම වැළැක්වීම සඳහා වඩා පුළුල් බලය බෙදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස චාරිත්‍රයකට මෙන් විටින් විට ශ්‍රී ලංකාවට කියා සිටීමය. අවශ්‍ය නම් ශ්‍රී ලංකාව සමඟ කරන ආර්ථික කටයුතුවලදී වාසි ලබා ගැනීම සඳහාද ඉන්දියාව තවදුරටත් එම ඉල්ලීම ඉදිරියටද කළ හැකිය.