74වන ජාතික නිදහස් දිනය අදයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

74 වන ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබේ.

නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වෙයි.

අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක් යන්න මෙවර සැමරුම් උළෙලේ තේමාවය.

අද පෙරවරු 8.13ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සව සභාව වෙත පැමිණීමත් සමග නිදහස් උළෙලේ කටයුතු ආරම්භවීමට නියමිතය.

ජාතිය වෙනුවෙන් දිවිපිදු විරුවන් සිහිකිරිම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතය.

ත්‍රිවිධ හමුදා පෙළපාලි සහ සංස්කෘතික කණ්ඩායම්වල අංග ඉන් අනතුරුව පැවැත්වෙයි.

ඒ සඳහා 6,500ක භට පිරිසක් සහ සන්නද්ධ රථ 111ක් සහභාගී කරගැනීමට නියමිතය.

සැමරුම් උළෙලේදී ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වෙන අතර ඊට ගුවන් යානා 26ක් යොදාගන්නා බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පැවසීය.

නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී දේශය වෙනුවෙන් ආචර වෙඩි මුර 25ක් පිරිනැමීම දහවල් 12ට සිදුකරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සඳහන් කළේය.

නිදහස් දින සැමරුම පැවැත්වෙන කාලය තුළ නිදහස් චතුරඝ්‍රය අවට මාර්ග 21ක් ගමනාගමනය සඳහා වසා තැබෙන අතර විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකය.