මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ගෙන ඇති ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අනුකුලව සහ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව, 2024 ඔක්තෝම්බර් 1වැනිදා සිට අදියර තුනක් යටතේ මෙම තහනම ඉවත් කිරීම සිදු වේ.
මෙරට විදේශ විනිමය සංචිතයේ ඇතිව තිබූ පීඩනය කළමනාකරණය කිරීම සඳහා පළමුවෙන්ම 2020 වසරේ මාර්තු මාසයේදී පනවන ලද මෙම තහනම මගින්, ඖෂධ, ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය කළමනාකරණය කරගැනීම වෙනුවෙන් මෙම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කරන ලදී.
කෙසේ වෙතත්, මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන යටතේ වර්තමානයේ රට තුළ පවතින ආර්ථික හා පාරිසරික සාධක සලකා බැලීමෙන් අනතුරුව රජය විසින් මෙම තහනම ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, 304 HS කේතය යටතේ වර්ගීකරණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීම අදියර තුනකින් සිදු කෙරේ.
- පළමු අදියර: පොදු මගී ප්‍රවාහන වාහන, විශේෂ කාර්ය වාහන සහ අනෙකුත් යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා 2024 ඔක්තෝබර් 1 වැනිදා සිට අවසර දෙනු ලැබේ.
- දෙවන අදියර: වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් භාවිතා කරන වාහන ආනයනය සඳහා 2024 දෙසැම්බර් 1 වැනිදා සිට අවසර දෙනු ලැබේ.
- තුන්වන අදියර: පුද්ගලික භාවිතා මෝටර් වාහන (මෝටර් රථ, වෑන්, ක්‍රීඩා මාදිලියේ වාහන ආදිය ඇතුළුව) ආනයනය සඳහා 2025 පෙබරවාරි 1 වැනිදා සිට අවසර දෙනු ලැබේ.
මෙමඟින් පැරණි වාහන භාවිතය නිසා ඇතිවී තිබෙන ඉන්ධන අකාර්යක්ෂමතාව අවම කිරීම සහ නඩත්තු වියදම් ඉහළ යාම පාලනය කිරීම වැනි ගැටළු විසඳීමට උපකාරී වන බව අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් වේ.
ආනයන සීමා කිරීම් දීර්ඝ කිරීම හේතුවෙන්මේ වන විට ශ්‍රී ලංකාව තුළ පැරණි වාහන සමූහයක් ඉතිරි වී පවතින අතර, ඉන්ධන අකාර්යක්ෂමතාව හේතුවෙන් මාර්ග ආරක්ෂාව සහ ඉන් ඇතිවන පාරිසරික බලපෑම් පිළිබඳ ගැටළු මතුවී තිබේ.
වාහන ආනයනය සම්ප්‍රදායිකව ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇති බැවින් නව වාහන ආනයනයට ඉඩ දීමෙන් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට සහ රජයේ ආදායම වැඩි කිරීමට ද අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, වාහන ආනයනය මෙරට විදේශ විනිමය සංචිත කෙරෙහි බලපෑමක් ඇති කරන බැවින් එම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා වාහන ආනයනය සඳහා අමතර තීරු බදු පැනවීම වැනි පියවර ද හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇති පැරිස් සම්මුතියෙහි ඇතුළත් “ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වය (NDCs)” සපුරාලීම සඳහා පවතින කැපවීම මෙන්ම 2050 වන විට “ශුන්‍ය විමෝචන තත්ත්වය” කරා ළඟා වීම සඳහා පවතින ඉලක්කය, මෙම තීරණය වෙත එළැඹීමේදී ද සැලකිල්ලට භාජනය කර තිබේ.
නව වාහන ආනයන ප්‍රතිපත්තිය මඟින් පරිසර හිතකාමී වාහන කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඊට අනුව Euro 4 සිට Euro 6 දක්වා ප්‍රමිතීන්ට පරිවර්තනය වෙමින් වායු විමෝචන ප්‍රමිතීන්ට අනුකූල වීමද අවශ්‍ය වේ.
එමෙන්ම රජය විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම ද මෙමඟින් අරමුණු කර තිබේ. 2029 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ ආනයනය තහනම් කරමින් දැනට භාවිත කරන වාහන විද්‍යුත් වාහන බවට පරිවර්තනය කිරීම ද දිරිමත් කරනු ලැබේ.
මෙරට තුළ වසරකට සාමාන්‍යයෙන් 30,087ක් පමණ (මූලික වශයෙන් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ) මාර්ග අනතුරු සිදුවන අතර ඒවා තවදුරටත් අවම කිරීමේ උත්සාහයක් ලෙස රජය සිය වාහන ආනයන ප්‍රතිපත්තිවලට ආරක්‍ෂිත පියවර ද ඇතුළත් කර තිබේ.
මෙම නව රාමුව යටතේ, මෝටර් රථ ආනයනය නව මාදිලිවලට සීමා වේ. එනම් නිෂ්පාදනය කර වසර තුනකට අඩු මෝටර් රථ සහ ක්‍රීඩා මාදිලියේ වාහන (SUV) මෙන්ම නිෂ්පාදනය කර වසර පහට අඩු පොදු ප්‍රවාහන සහ වාණිජ කටයුතු සඳහා භාවිතා කරන වාහන සඳහා මෙම තහනම ඉවත් කෙරේ. තවද විශේෂ කාර්යයන් සඳහා සහ ආරක්ෂක කටයුතු සඳහා ආනයනය කරනු ලබන වාහන අවුරුදු දහයක් දක්වා පැරණි විය හැකිය. එසේම ආනයනකරුවන් විසින් මෙම වාහන ආනයනය කර දින 90ක් ඇතුළත ලියාපදිංචි කර විකිණීමට අවශ්‍ය වන අතර සිදුවන ප්‍රමාදය සඳහා දඩ මුදල් අය කෙරේ.
මීට අමතරව, මෝටර් රථ සහ අමතර කොටස් ආනයනය කරන්නන්, වාහන එකලස් කරන්නන් සහ වෙළඳුන් නියාමනය කිරීම සඳහා වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් ද හඳුන්වා දීමට නියමිත වේ.
ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින වැඩසටහනේ අංගයක් ලෙස ශ්‍රී ලංකාව ළඟා විය යුතු මූල්‍ය ඉලක්කවලට සහාය වෙමින්, ආනයන කටයුතු ක්‍රමානුකූලව නැවත ආරම්භ කිරීම මෙන්ම තීරුබදු හරහා අමතර ආදායමක් උපයා ගැනීමට ද මෙමඟින් අපේක්ෂා කෙරේ.