ඒ 1972 ජුනි 17 වැනි දා උදෑසන ය. වෙනදා මෙන්ම හිරුගේ අරුණාලෝකය අමෙරිකාවේ වොෂිංටන් ඩීසී හි අහසට දෙසට නැගී සිටි අක්කර 10ක් පුරා විසිර තිබූ සුඛෝපභෝගී ගොඩනැගිලි සංකීර්ණයේ කවුළු අතරින් ද වැටී තිබුණි. වෝටර්ගේට් ගොඩනැගිලි සංකීර්ණයේ කාර්යාල ගොඩනැගිල්ලෙහි 6 වැනි මහලේ පිහිටි තම ප්‍රධාන කාර්යාලයට එදින සුපුරුදු රාජකාරි කටයුතු සඳහා ආවේ රටේ බහුතර බලය පතුරුවාගෙන සිටි ප්‍රජාතාන්ත්‍රික ජාතික කමිටුවේ (Democratic National Committee (DNC)) සාමාජිකයෝ ය. එකිනෙකාට සුබ දවසක් පතමින් ඔවුන් සිය දෛනික රාජකාරි ඇරඹීය. ගතවූයේ සුළු වේලාවකි. ඒ වෙත කඩා වැදුණේ ආරක්ෂක අංශ නිලධාරීන් රොත්තකි. විනාඩි කිහිපයක් ගතවීමට පෙර එහි සිටි ගෙවල් බිදින සොරුන් කිහිප දෙනකු වහ වහා අත්අඩංගුවට ගත්තේය. ඒ ආරම්භයක් පමණකි. අමෙරිකානු දේශපාලනය උඩු යටිකුරු කළ ‘වෝටර්ගේට් පාවාදීම’ නම්වූ අමෙරිකානු ඉතිහාසයට දැවැන්ත කළු පැල්ලමක් එක්කල මහා වංචාව හෙළිවීමේ ඇරඹුමය.
වෝටර්ගේට් ගොඩනැගිලි සංකීර්ණය පිළිබද නොවූව ද එවකට දේශපාලන බලකොටුවක් වූ ඩීඑන්සී ප්‍රධාන කාර්යාලය එහි පැවතීමත් පළමු අත්අඩංගුවට ගැනීම් එහි සිට ඇරඹීමත් නිසා මෙම විමර්ශන ගොනුව ද නම් කෙරුණේ ‘වෝටර්ගේට් පාවාදීම’ ලෙසයි. අමෙරිකානු ඉතිහාසයටම කළු පැල්ලමක් එක් කළ එම පාවාදීම පිළිබද සියල්ල ඇරඹෙන්නේ ‘රහසිගතව පටිගත කරන ලද සංවාද හඩපට’ විශාල ප්‍රමාණයක එකතුවකිනි. ඒ සියල්ලෙහි ප්‍රතිඵල වූයේ එවකට අමෙරිකාවේ ඉහළම පුටුවල තනතුරු දැරූ නීතිපති, බුද්ධි අංශ ප්‍රධානි ආදි රටේම ආරක්ෂාව, නීතිය, දේශපාලනය අතදරා සිටියවුන්ගේ ඉරණම සිර කදවුරු තුළ ගෙවිය යුතු බවට තීරණය වීමය. අවසාන ප්‍රතිඵලය වූයේ පළමු වතාවට ඇමෙරිකානු ජනාධිපතිවරයකුගේ ඉල්ලා අස්වීම ඉතිහාසයට එක් කරමින් 1974 අගෝස්තු 9 වැනිදා රිචඩ් නික්සන් තමන් විසින් පටිගත කළ සංවාද දහස් ගණනක හඩපටි නීතිය හමුවට දී ජනපති පුටුව හැරදමා යාමය.
රහසිගත සංවාද
එවකට අමෙරිකාව පාලනය කළේ 37 වැනි ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත් පත්වූ රිපබ්ලිකන් පක්ෂයෙන් ආ රිචඩ් නික්සන් ය. එකල වියට්නාම යුද්ධයකට මැදිවීම නිසාත් අමරිකාව තිබුණේ බෙදීම්, ආරවුල් අතරින් ඉතා බරපතළ අඩියක ය. රිපබ්ලිකන් අපේක්ෂකයකුව සිටි නික්සන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වෝටර්ගේට්හි පිහිටි ඩීඑන්සී සංවාද සියල්ලෙහි හඩ, ලියකියවිලි පිටපත් නික්සන් වෙත රහසිගතව ලැබී තිබූ නිසා නික්සන්ගේ මැතිවරණ ජය තහවුරු විය. ඒ වෙනුවෙන් නික්සන් ඉතාම ජුගුප්සාජනක පියවර පවා ගෙන තිබූ බවට පසුව හෙළිවිය. නික්සන් එවකට සිටියේ බල උද්ධාමයේ උච්ඡතම අවධියේය. ඒ තමාගේ දේශපාලන ස්ථාවරත්වය කිසිසේත් බිදිය නොහැකිය යන චේතනාවේ ය. එහෙත් වෝටර්ගේට් මහා පාවාදීම ආවරණය කිරීම හේතුවෙන් නික්සන් වරදකරුවකු විය.
දෙවන වරටත් පත්වීම වෙනුවෙන් නොඉවසිල්ලෙන් සිටි රිචඩ් නික්සන්ගේ මැතිවරණ ව්‍යාපාර උපදේශකයන් අවධාරණය කර තිබුණේ 1972 ජනාධිපතිවරණය වෙනුවෙන් වඩාත් බලපෑම්සහගත ව්‍යාපාරයක් අවශ්‍ය බවය. ඒ වෙනුවෙන් ඔවුන් තෝරාගත්තේ නීතිවිරෝධී, ආක්‍රමණශීලී, රහස් ඔත්තු බැලීමේ අයහපත් උපක්‍රම කිහිපයකි. ඒ සඳහා වෝටර්ගේට් කාර්යාල සංකීර්ණයේ පිහිටා තිබූ ප්‍රතිවාදී ඩීඑන්සී කාර්යාලය තුළ සිදුවන සංවාද රහසින් අසන්නට, ඇමතුම් පටිගත කරන්නට, එහි ලියකියවිලි පිටපත් රහසේ ගෙන්වාගැනීමේ වැඩපිළිවෙළක් නික්සන් ඇතුළු සගයින් විසින් ක්‍රියාත්මක කළේය. ප්‍රතිවාදීන්ට අපහාස කිරීම, එම නිලධාරීන්ට හිංසා කිරීම ආදී ඉතා අපිරිසිදු උපක්‍රම පවා මෙම ව්‍යාපාරය තුළ සිදුකිරීමට නික්සන් නොපැකිළව කටයුතු කර තිබුණි. වෝටර්ගේට් ඩීඑන්සී කාර්යාලයේ රහසිගතව සගවා තිබූ පටිගත කිරීමේ යන්ත්‍ර අවහිර වීම නිසා ජුනි 17 වැනිදා නික්සන්ගේ පාර්ශ්වයෙන් ගෙවල් බිදින්නන් 5 දෙනෙක් එම කාර්යාලයට යැවීය. සැලසුම වී තිබුණේ කාර්යාලයේ දොර අගුල් කිහිපයකට හා ඇතුළත ස්ථාන කිහිපයක රහසිගතව අලුත් මයික්‍රෆෝන් සවිකිරීමටය.
සුළු සාක්ෂියක්
එහෙත් වෝටර්ගේට් කාර්යාලය ආරක්ෂකයා එදා උදෑසනම කාර්යාලය තුළ සැරිසරමින් සිටියදී දොරවල් කිහිපයක අගුලුවල ටේප් අලවා තිබෙනු දැක තිබුණි. වහා පොලීසියට ඇමතූ ඔහු නිලධාරීන් ගෙන්වා ගත්තේය. පටිගත කිරීමේ යන්ත්‍ර සවිකිරීමට ආ නික්සන්ගේ ගෙවල් බිදින්නන් අත්අඩංගුවට ගැනුණි.
මෙම ගෙවල් බිදින්නන් අත්අඩංගුවට ගැනුණ ද මෙතරම් වංචාවක් හෙළිවීමට පටන්ගත්තේ ඉතාම සුළු සාක්ෂියක් මතුවීම නිසයි. ඒ සැකකරුවන්ට අයත්ව තිබූ භාණ්ඩ කිහිපයක් ආරක්ෂක අංශ භාරයට ගත් අතර ඔවුන් සතුව ධවල මන්දිරයේ දුරකතන අංක හා මැතිවරණ යළි තෝරාගැනීමේ කමිටුවට අදාළ ලියකියවිලිවල පිටපත් කිහිපයක් හමුවීමෙනි. අගෝස්තුවේම ජනතාව අමතමින් ජනපති නික්සන් කීවේ ඩීඑන්සී කාර්යාලය බිදීමට තම ධවල මන්දිර සේවකයන්ගේ සම්බන්ධයක් නොමැති බවයි. ඡන්දෙන් යළිත් මහ ඉහළින් ජයගත් ජනාධිපතිවරයාගේ කතාව ජනතාව ද පිළිගත්තේ ය. එතැනින් නොනැවතී එම සැකකරුවන්ට ඩොලර් දහස් ගණනින් ලබාදී ඔවුන් නිහඩ කිරීමේ වැයමේ ද ජනපති නික්සන් යෙදී සිටියේ සියල්ලන්ට රහසේය. නික්සන් අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් සී.අයි.ඒ වෙත අණ දුන්නේ එෆ්.බී.අයි විසින් මේ පිළිබද කරන විමර්ශනවලට බාධා කරන ලෙසයි. එය ප්‍රතිවාදී වෝටර්ගේට් කාර්යාලය බිදදැමීමට වඩා බරපතළ වංචාවක් විය. එහිදී වෝටර්ගේට් සම්බන්ධ සිද්ධියට අදාළව කුමන්ත්රණකරුවන් හත් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ. නික්සන්ගේ සහායකයින්ගේ ඉල්ලීම පරිදි, පස්දෙනෙක් නඩු විභාගයෙන් වැළකී පෙරදීම වරද පිළිගත්හ. අනෙක් දෙදෙනා 1973 ජනවාරි මාසයේදී වරදකරුවන් බවට පත්විය.
වංචනික ක්‍රියා
නික්සන් වැරදි වසා ගැනීමට දිගින් දිගටම වංචනික ක්‍රියාවල නිරත විය. විමර්ශන, ජනතාව, රජය පවා නික්සන්ගේ ගැටවලට හසුවෙමින් නික්සන් නිවැරදිකරුවකු බවට හඹායමින් සිටින අවධියක ජනපති නික්සන් සියල්ල පටිගත කොට තම වැරදි වසා ගැනීමේ සැලසුම සිදුකළ ආකාරය අනාවරණය කරගැනීම උදෙසා මූලික වූයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකි. ඒ වොෂිංටන් පෝස්ට්හි බොබ් වූඩ්වර්ඩ් හා කාල් බර්න්ස්ටෙයින් ය. ඔවුන්ට නාදුනන හෙළිදරව්කරන්නකු විසින් තොරතුරු ලබාදෙන්නට විය. එම හෙළිදරව් කරන්නා තමා හදුන්වා ගත්තේ “Deep Throat” නමිනි. ඔහු විසින් ලබාදුන් තොරතුරු ඔස්සේ ගිය බොබ් සහ කාල් සියල්ලෙහි මූලික රහස් හෙළිදරව් කරගන්නට පටන් ගත්තේ ය.
ධවල මන්දිර උපදේශක ජෝන් ඩීන් ඇතුළු නික්සන්ගේ සහායකයින් අතළොස්සක් ජනාධිපතිගේ අපරාධ සම්බන්ධ ජූරි සභාවක් ඉදිරියේ සාක්ෂි දුන්හ. ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිදු වූ සෑම සංවාදයක්ම ජනපති නික්සන් රහසිගතව පටිගත කර ඇති බව ඔවුහු සාක්ෂි දුන්හ. නඩු පවරන්නන්ට එම හඩපටි ලබාගත හැකි නම්, ජනාධිපතිවරයාගේ වරද පිළිබඳ සාක්ෂි ඔවුන් සතු වනු ඇති බව ඔවුන්ගෙන් අනාවරණය විය. ඔවුන්ගෙන් හෙළිවූ පරිදි නික්සන්ගේ ‘සංවාද පටිගත කිරීමේ සිද්ධි මාලාව’ ඇරඹෙන්නේ කලක සිටය.
සෝනි ටීසී-800බී යන්ත්‍ර
1969 දී නික්සන් තම කාර්ය මණ්ඩලය ප්‍රධානියාගෙන් දැනගත්තේ ධවල මන්දිරයේ සාකච්ඡා හා දුරකතන සංවාද පටිගත කළ ලින්ඩන් ජොන්සන් ගැනය. නික්සන් හොඳින් කල්පනා කර බලා පෙර පැවැති පටිගත කිරීමේ යන්ත්‍ර සියල්ල ඉවත් කිරීමට අණ දුන්නේය. ඒ වෙනුවට 1971 දී අමෙරිකානු ධවල මන්දිරයේ අස්සක් මුල්ලක් නෑර සියලුම දුරකතන, ඕවල් කාර්යාලයේ, ජනපති කාර්යාල මේසයේ, කාමරවල පවා රහසිගත ලෙස මයික්‍රෆෝන් සවි කොට පටිගත කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අණ දෙන්නේ ජනපති රිචඩ් ඩික්සන්ම ය. ඒ අනුව ඔහුගේ දුරකතන සංවාද පමණක් නොව, ධවල මන්දිරය තුළ සිදුවන සියලුම සාකච්ඡා, සංවාද, පවුලේ සංවාද සියල්ල රහසිගතව පටිගත කෙරිණි. සෝනි ටීසී-800බී යන්ත්‍රවලින් මේවා පටිගත කෙරුණි. ඒවා පටිගත කිරීම නැවතෙන්නේ 1973 ජුලි 18 වැනිදා ය. ඒ වෝටර්ගේට් සිද්ධිය ප්‍රසිද්ධ වී ඒ සම්බන්ධයෙන් විභාග කිරීමට සෙනෙට් කමිටුවක් පත්කළායින් පසුවය. පැය 3500ක් පුරා දිවූ සංවාද ගොන්නක් එහිදී අනාවරණය වූ අතර වෝටර්ගේට් සිද්ධියට අදාළව පැවතියේ පැය 200ක් පමණක් වූ අතර මහජන ප්‍රසිද්ධියට හා පිටපත් බවට පත්වූයේ ඉන් 5%ක් පමණකි. සෙසු සියලු සංවාද විදේශ ප්‍රතිපත්තිවලට අදාළ සංවාද බවට හෙළිවිය. ඉහත කමිටුව විසින් හඩපටි අනාවරණය කරගැනීම අතරතුරදී නික්සන්ගේ ලේකම්වරියගේ අත්වැරදීමකින් හෙළිවූ මකා දමන ලද හඩපටි කොටස් සෙවීමට කමිටු පත්කර තිබුණේ ද ජනපතිවරයා විසිනි. පසුව තහවුරු වූයේ ඒවා මකාදැමුයේ ද ජනපතිවරයා විසින්ම බවය.
කළු සෙනසුරාදා
නික්සන් විසින් හැම සංවාදයක්ම රහසිගතව පටිගත කළ හඩපටි ගොන්න තවදුරටත් පරිස්සමින් තබාගැනීමේ අර්බුදයකට නික්සන් මුහුණපෑවේය. ඔහුගේ නීතිඥයන් තර්ක කළේ ඒවා හෙළිනොකර සිටීමේ නික්සන්ගේ තීරණය ජනාධිපතිවරයාගේ විධායක බලතලවලට අනුමත දෙයක් බවයි. නමුත් විනිසුරු සිරිකා, ආර්කිබෝල් කොක්ස් සහ සෙනෙට් කමිටුව ඒකමතික තීරණයක් ගත්තේ කෙසේ හෝ හඩපට ලබාගැනීමටය. ජනපති නික්සන් විසින් කොක්ස් සේවයෙන් පහ කළේය. ඒ 1973 ඔක්තෝබර් 20 වැනිදාය. නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ඉල්ලා අස්විය. එම දිනය හැදින්වෙන්නේ ‘කළු සෙනසුරාදා සංහාරය’ ලෙසයි. අවසානයේ ජනපති හඩපටි කිහිපයක් පමණක් දීමට කැමති විය. නමුත් පසුව මතුවූ තත්ත්වය සමග ජනපති නික්සන්ට එරෙහි දෝශාභියෝගයක් වෙනුවෙන් පාර්ලිමේන්තු අධිකරණ කමිටුව අත්සන් තැබීය. ඒ ජනාධිපතිවරයා විසින් අධිකරණ කටයුතුවලට බාධා කිරීම, බලය අනිසි ලෙස යෙදවීම හා අපරාධ වසා ගැනීම ඇතුළු අපරාධ කිහිපයකට චෝදනා කරමිනි.
අවසානයේ ජනපති නික්සන් සියලු හඩපට 1974 අගෝස්තු 5 වැනිදා අනාවරණය කළේය. එමගින් දෝශාභියෝගයේ සියලු චෝදනා සම්මත වීමට තරම් සාක්ෂි තිබුණි. එබැවින් 8 වැනිදා ඔහු ඉල්ලා අස්විය. සති 6කට පසුව උප ජනාධිපති ජෙරල්ඩ් ෆෝර්ඩ් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඔහු විසින් නික්සන් ධුරකාලයේ සිටියදී කළ සියලුම වැරදි සඳහා සමාව දී තිබුණි. නමුත් නික්සන්ගේ සහායකයන්ට තත්ත්වය එතරම් යහපත් නොවීය. ඔවුන් බරපතළ අපරාධ චෝදනා ඇතිව සිරගත විණි. නික්සන් පාලන සමයේ අමෙරිකාවේ නීතිපතිවරයා වූ ජෝන් මිචෙල් 19 මාසයකට සිරගත කෙරිණි. වෝටර්ගේට් මහ මොළකරු ලෙස සැළකෙන නික්සන්ගේ එෆ්බීඅයි නියෝජිත ගෝර්ඩන් ලිඩී වසර 4 හමාරකට සිරගත විය. නික්සන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන එච්ආර් හාඩ්මන් 19 මාසයක් සිරගත කෙරිණි. ජනපති උපදේශක ජෝන් ආර්ලික්මන් මාස 18කට සිරගත වූයේ වෝටර්ගේට් කාර්යාලය බිදීමේ සිද්ධිය වසාදැමීමට උත්සහ කිරීමට ය. නික්සන් කිසිදු සාපරාධී වරදක් කිසිවිටෙකත් පිළිගත්තේ නැත. තමන් දුර්වල විනිශ්චය නිසා වැරදි තීන්දු ගත් බව පමණක් පිළිගෙන තිබුණි. දිවි නොතකා වෝටර්ගේට් පාවාදීම හෙළිකළ මාධ්‍යවේදීන් දෙදෙනා විසින් ලියන ලද, පසුකාලීනව අලෙවි වාර්තා තැබූ කෘතියක් වන “All the President’s Men” කෘතිය පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබීය. මේ සියල්ල මාධ්‍යවේදීන්ට හෙළිකළ නාදුනන හෙළිදරව් කරන්නා වූ “Deep Throat” නමැත්තාගේ සැබෑ අනන්‍යතාව 2005 වසරේදීය හෙළිවිය. ඔහු එෆ්බීඅයි රහස් ඔත්තු සේවයේ හිටපු සම-අධ්යක්ෂ මාර්ක් ෆෙල්ට් ය.
රිචඩ් නික්සන් සිය ජනාධිපති බලය අයුතු ලෙස පරිහරණය කිරීම නිසා ඇමරිකානු දේශපාලන ජීවිතයට එය දිගුකාලීන බලපෑමක් ඇති කළේය. බොහෝ ඇමරිකානුවන් වියට්නාම් යුද්ධයේ ප්‍රතිඵල ගැන දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි අතර රොබට් එෆ්. කෙනඩි, මාටින් ලූතර් කිං සහ අනෙකුත් නායකයින්ගේ ඝාතන ගැන කණගාටුවට පත්ව සිටියද, වෝටර්ගේට් පාවාදීම හේතුවෙන් එරට ජාතික වශයෙන් පැවැති අර්බුදකාරී වාතාවරණයට අතරතුර ඊට පෙර දශකය පිළිබද බරපතළ කම්පනයක් ඇති කරන්නක් විය. එපමණක් නොව, අමෙරිකානු විධායකය, අධිකරණය, ආරක්ෂක අංශ මෙන්ම මුළුමහත් රටේ පරිපාලන පද්ධතියම දෙදරවමින් නරුමවාදයේ හා අවිශ්වාසයේ වාතාවරණයක් නිර්මාණය කළේය. එ පමණක් නොව ලෝකය හමුවේ අමෙරිකාව කළු පැහැයෙන් ඉතිහාසගත කෙරිණි. වත්මන් ලෝක දේශපාලන මඩගොහොරුව තුළ, ජනතාව ගිල්වා බල කෑදරකමේ ගිජු ලිහිණින් ගොදුරු සොයමින් අදටත් අහසේ පියාසර කිරීමට එදා අමෙරිකාවේ සිදුවූ වෝටර්ගේට් පාවාදීම මග කීවේදැයි අනියත බියක් නූපදින්නේ