නීතීඥ නිරෝධා එස්. කලන්සූරිය
එමෙන්ම මෙම පනත මඟින් උරුමවීමේ අනුපිළිවල අනුව ස්ත්‍රීන්ට වඩා ප්‍රමුඛතාවයක් පුරුෂයන්ට ලබා දෙමින් උරුමවීමක් ක්‍රියාත්මක වේ. මෙය සාධාරණ හා යුක්ති සහගත නොවේ. මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 12 වන ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි සමානාත්මතාව පිළිබඳ මූලික මිනිස් අයිතිවාසිකමද මෙම පනත මඟින් කඩ කර ඇත.
එමෙන්ම උරුම වීමේ අනුපිළිවලේදී වයසින් වැඩිමහල් අනුපිළිවලක්ද ක්‍රියාත්මක වීම බලවත් අසාධාරණයකි. පිරිමි දරුවන් අතරින් වැඩිමහල් දරුවාට එසේ ප්‍රමුඛත්වය ලබා දීම පවා යුක්ති සහගත නොවේ.
උදාහරණයක් ලෙස පියා මිය ගිය අවස්ථාවකදී නිවසේ සිටින වයස්ගත මවට ඇප උපස්ථාන කරමින් දේපල නඩත්තු කරනු ලබන්නේ වැඩිමල් ගැහැණු දරුවන් විය හැක. වයසින් බාල පිරිමි දරුවා නගරයෙ හෝ විදේශීය රටක රැකියාව කිරනවාද විය හැක. නමුත් පනත අනුව උරුමය හිමිවන්නේ මව ආරක්ෂා කරන දියණියට නොව නිවසේවත් නොසිටින වයසින් අඩු පිරිමි දරුවාටයි.
‘‘මහ රජ මේ පොළවෙහි සිටින සියලු මනුෂ්‍යන්ට ද, සතා සිවුපාවන්ට ද, අහසේ සිටින කුරුල්ලන්ට ද මිහිතලය මත ජීවත් වීමට ද කැමති තැනකට යාමට ඒමට ද සමාන අයිතියක් ඇත. මෙම භූමිය ඇයිතිවෙන්නේ මෙහි වෙසෙන මනුෂ්‍යයන්ට සහ සත්වයින්ට ය. එබැවින් ඔබ මෙම භූමියේ අයිතිකරු නොව භාරකරු පමණි. ’’
මහා වංශයේ දැක්වෙන පරිදි මෙම ප්‍රකාශය ලංකාවට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ විසින් එවකට ලංකාවේ රජ වූ දෙවන පෑ තිස්ස රජුන්ට දේශනා කළ ධර්මයෙන්උපුටා ගත් කොටසකි. මේ අනුව රජුට පවතින්නේ භූමිය පිළිබඳ භාරකාරත්ව අයිතියක් පමණක් බව මනාව පැහැදිලි වේ. ඉහත තත්වය අධිකරණය විසින් පවා වලංගු නීතියක් ලෙස පිළිගත් බව ජාත්‍යන්තර අධිකරණයේ විභාගයට ගත් Danube Case (Gaboikovo – Nagimaros Project (Hungari/Slovakia) 1997 General List N 92 (1997-09-25) සාක්ෂි දරයි. මෙම නඩුවේදී ජී.ජී. වීර මන්ත්‍රී විනිසුරුතුමා විසින් මෙම පාඨය යොදාගෙන ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (4) ව්‍යවස්ථාව අනුව පවසා සිටින්නේද ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු බවයි. මේ අනුව රජයට ජනතාවගේ යහපත වෙනුවෙන් ඉඩම් ආරක්ෂා කිරීමටත් පරිපාලනය කිරීමටත් ඒ සඳහා කාලානුරූපීව නීති සැකසීමටත් ඉතා විශාල කාර්යභාරයක් පැවරි ඇත. රජය විසින් එය ඉටු කළ යුත්තේ ජනතාවට සමානාත්මතාවයෙන් සලකමින් බව අමරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා Bulankulama and others Vs Secretary, Ministry of Industrial Development 2000 (3) SLR 243 නඩුවේදී පවසා ඇත.
බ්‍රිතාන්‍ය කිරීටය ඉඩම් සම්බන්ධව නීති පැනවූයේ ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අරමුණින් මිස ලාංකීය ජනතාවගේ අවශ්‍යතාවයන් ඉලක්ක කොටගෙන නොවේ. පසුකාලීනව ඩී.එස් සේනානායක මහතාගේ මූලිකත්වයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ නීති හදුන්වා දුන් අතර ඉඩම් කොමිෂන් සභාවේ නිර්දේශය මත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තේරීම් කාරක සභාව කෘෂි ආර්ථික සංවර්ධනය ඉලක්ක කොටගෙන 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත හදුන්වා දෙන ලදි. මෙම ආඥා පනතේ අරමුණ වූයේ ඉඩම් විධිමත්ව සංවර්ධනය කිරීම සහ අන්සතු කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම බව ආඥා පනතේ පූර්විකාව දක්වයි. ඉන් පසු කාලානුරූපී අවශ්‍යතාවයන් අනුව එම ආඥා පනත වරින් වර සංශෝධනයන්ට ලක් වූ අතර 1969 අංක 16 දරණ සංශෝධන පනතින් අවසර පත්‍ර ලාභියාට යම් නිශ්චිත කාලයක් අවසර පත්‍රයේ පරිදි කොන්දේසි අනුගමනය කළ පසු ඉඩමේ අයිතිය ලබා ගැනීමට අවකාශ විවර වුණි.
ඉඩම් සංවර්ධන ආඥා පනතේ සංශෝධනය විය යුතු ඉතාම වැදගත් අංගයක් වන්නේ අනුප්‍රාප්තිය පිළිබඳ නීතියයි. ලංකාවේ නීති පද්ධතිය අනුව අන්තිම කැමති පත්‍රයක් නොතබා මිය ගිය තැනැත්තකුගේ ඉඩමෙන් භාගයක් විවාහක කාලත්‍රයාටද ඉතිරි භාගය දරුවන් අතරද බෙදී යයි. විවාහක කාලත්‍රයා ජීවත්ව නොමැති විට දරුවන් අතර සමව බෙදී යයි. දරුවන් නොමැතිනම් විවාහක කලත්‍රයාට භාගයක්ද මිය ගිය තැනැත්තාගේ දෙමාපියන්ට ඉතිරි භාගයද ආදී වශයෙන් ඉඩම බෙදී යයි. ඉඩම් සංවර්ධන ආඥා පනතේ විධිවිධාන අනුව අනුප්‍රාප්තිය දැක්වෙන්නේ 6,7 පරිච්ඡේදයන් වලය. එහිදී ඉඩම් හිමියා මිය ගිය විට ඉඩමේ අනුප්‍රාප්තිය කාලත්‍රයාට ලැබේ. නමුත් කාලත්‍රයා යලි විවාහයක් සිදු කරගතහොත් එම හිමිකම අහෝසි වේ. 48 (ආ) වගන්තිය අනුව කාලත්‍රයා පසු උරුමකරු ලෙස අවසර පත්‍රකරු හෝ දීමනාකරු ලෙස නම් කර ඇති විට පසු උරුම කරුට හිමි උරුකමට සමාන මුල් උරුමයක් කාලාත්‍රයාට ලැබේ. ඉඩම් හිමිකරුට පෙර කාලාත්‍රයා මියගිය හොත් ඉහත විධිවිධාන අදාළ නොවන අතර කාලත්‍රයාගේ කිසිදු ඥාතියකුට එම හිමිකම උරුම නොවේ.
එහෙත් මෙහි පවතින අසාධාරණය වන්නේ, අනුප්‍රාප්තිය යටතේ ඉඩමේ හිමිකම ලබන කාලාත්‍රයාට හිමිවන්නේ ජීවිත භුක්ති අයිතිය පමණක් වන අතර එම ඉඩම වෙන කිසිවකුට පැවරීමේ බලයක් ඇයට හිමි නොවේ. ( (48) (2) (අ) යන වගන්තිය ). ඒ අනුව කලත්‍රයාට ලැබෙන්නේ දෙඅත් ගැටගසන ලද නාමික අයිතියක් පමණි. තවද 48 වගන්තිය තවදුරටත් පවසා සිටින්නේ මෙම ජීවිත භුක්තියට අමතරව වැඩිමනත් අයිතියක් එම කාලාත්‍රයාට හිමි නොවන බවයි. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ මෙම අනුප්‍රාප්තිය පිළිබඳ නීතිය රටේ පොදු විවාහ දේපල නීතියට අනුකූල නොවේ. මියගිය පුද්ගලයාගේ විවාහක කාලත්‍රයාට සාමාන්‍ය නීතිය යටතේ මෙන් ඉඩමේ භාගයක් වෙනුවට ලැබෙන්නේ ජීවිත භුක්තිය අයිතිය පමණි. එමෙන්ම කාලාත්‍රයාගේ මරණයෙන් පසු ඉඩමේ මියගිය හිමිකරු විසින් මියයාමට පෙර නම් කර ඇති අනුප්‍රාප්තිකයාට ඉඩම හිමි වන අතර එසේ නම් කිරීමක් නොමැතිනම් පනතේ ආකාරයට අනුප්‍රාප්ති හිමිකම හිමි වේ.
ලංකාවේ සාමාන්‍ය නීතිය වන රෝමලන්දේසි නීතිය යටතේ ඉඩමක අයිතිය දරන තැනැත්තාට එම ඉඩම පිළිබඳ හිමිකම දැරීමේ අයිතිය හෙවත් ඕනෑම මනාපයක් කර ගැනීමේ අයිතිය, එම දේපල භුක්ති විදීමේ අයිතිය තමාගේ මරණින් පසු තම උරුමකරුවන්ට අනුප්‍රා්පත වීමේ අයිතිය, යම් දේපලක් තුලින් පරවශ්‍යතා අයිතියක් ලැබීමේ අයිතිය උකස් කිරීමේ අයිතිය යන පූර්ණ අයිතියක් (Jus In Rei) අයිතියක් ලැබේ. නමුත් ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් කාලාත්‍රයාට ලැබෙන සාමාන්‍ය නීතියේ අයිතිය පවා කප්පාදු වී ඇති බව මේ පනත පරික්ෂා කර බලන කල පෙනි යයි.
ඉඩම් සංවර්ධන ආඥා පනත පරිදි අවසරපත්‍ර කරුගේ හෝ බලපත්‍රලාභියාගේ මරණින් පසු බලපත්‍රය අහෝසි නොවේ. එම පුද්ගලයා පසු උරුමයක් නම් කර තිබේනම් එම පුද්ගලයාට දේපළ ලැබේ. නමුත් පසු අයිතිය ප්‍රධානකරු විසින්නම් නොකර මිය ගිය අවස්ථාවක 3 වන උපලේඛණය පරිදි සාරෝපණය වේ. ඒ අනුව ප්‍රමුඛතාවය හිමිවන්නේ වයසින් වැඩිමහල් පුත්‍රයන්ටය. ඉන් පසු එහි දක්වා ඇති පිළිවල අනුව
පුත්‍රයන්,
දියණියන්
මුණුපුරන්,
මිණිපිරියන්,
පියා,
මව ,
සහෝදරයන්,
සහෝදරියන්,
මාමලා,
නැන්දලා,
බෑනලා,
ලේලිලා,
පසු උරුමකරු නම් කිරීම 56 වගන්තිය යටතේ විධිවිධාන මත නම් කිරීමක් හෝ 63 වගන්තිය යටතේ අන්තිම කැමති පත්‍රයක් මගින් නම් කිරීමක් විය හැකි අතර එය ආඥා පනත යටතේ නම් කිරීමක් වේ.
තම සැමියා මිය ගිය පසු වැන්දඹු බිරිඳ තම දරුවන් රැකබලා හා නඩත්තු කිරීම සඳහා සහ පවුලේ සියලු කටයුතු කිරීමසඳහා ඇය ශක්තිමත් විය යුතුය. ඒ සඳහා ඇයට සාමාන්‍ය නීතියේ අයිතිය පරිදි මෙම දේපලේ අයිතිය හිමිවිය යුතුය. එමෙන්ම තමන්වා රැකබලා ගන්නා දරුවකුට එම ඉඩම පැවරීමේ අයිතියද හිමි විය යුතුය.
ඉඩම් සංවර්ධන ආඥා පනතින් සිදු කරන තවත් අසාධාරණයක් වන්නේ කුල වද්දා ගන්නා දරුවන් පිළිබද උරුමවීමක් සඳහන්ව නොමැති වීම හා උරුම වීම සිදු වන්නේ ලේ ඥාතීන්ට පමණි. එය කුල වද්දාගත් දරුවන්ට කරන බලවත් අසාධාරණයකි. නමුත් සාමාන්‍ය නීතිය අනුව නීති තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය.
මෙම ආඥා පනත ක්‍රියාත්මක කරන කාලයේදී එම ගොවි පවුල් වල වැඩිමහල් පිරිමි දරුවා දෙමාපියන් සමඟ ඉඩම සංවර්ධනයට දායක වී දෙමාපියන් සමඟ පවලේ බාල දරුවන් රැකබලා ගැනීමත් ඔවුන්ට අධ්‍යාපනයට උදවු උපකාර කිරීමත් නිසා වැඩිමහල් දරුවාට ඉඩමේ හිමිකම හිමිවිය යුතු යන සංකල්පය එහි ගැබ්වූවා විය හැකිය. නමුත් අද වන විට මෙම තත්වය වෙනස් වී ඇති අතර කාලානුරූපීව මෙම ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය විය යුතුයි. මියගිය පුද්ගලයාගේ කාලාතුයාට ජීවිත භුක්තිය අයිතිය ලැබීම පමණක් පුරුෂයන්ට ප්‍රමුඛත්වය දීමෙන් කාන්තාවන්ට වන අසාධාරණයත් වයසින් වැඩිමහල් දරුවාට ප්‍රමුඛත්වය දීමෙන් වන අසාධාරණයත් කුල වද්දා ගත් දරුවන් සම්බන්ධයෙන් පණත නිහඩ වීමත් යන කරුණු ඉතා ඉක්මනින් සංශෝධනය විය යුතුය.
ප්‍රාදේශීය ලේකම්වරුන් කිහිපදෙනෙක් සමඟ පැවති සාකච්ඡාව මඟින් හෙලි වූයේ පැමිණිලි වලින් 90% ක්ම ලැබෙන්නේඅසරණ වූ ජීවත්ව සිටින කාලාත්‍රයාගෙන් සහ අසරණයට පත්වූ බාල දියණියන්ගෙන් බවයි. පුරුෂයා මියිගිය පසු වැන්දඹු බිරිඳට ජීවිත භුක්ති අයිතියට අමතරව කිසිදු අයිතියක් නොලබන බැවින් එබදු තත්වයන් යටතේ අකාරුණික දරුවන්ගේ තාඩන පීඩන වලට ලක්වෙන බව පවසයි.
අනුප්‍රාප්තිනයා නම් කිරීමේ දිසාපතිවරයාගේ තීරණය අවසානාත්මක වීම මත දිසාපතිවරයාට ඇති අභිමත බලයද මෙහිදී සාකච්ඡා කළ යුතුය. මක් නිසාද යත් මෙම අභිමත බලය දිසාපතිවරයාගේ හිතුමනාපෙට සිදු කළ නොහැකි අතර එය ව්‍යවස්ථාපිත වගකීමක් බව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
උදාහරණයක් ලෙස Rev. Maiyawe Saddhananda thero Vs. Rathnayake 1984 (2) S.L.R. 373 යන නඩු තීන්දුව අනුව ඉඩම් හිමිකරු මියගිය පසු එහි ප්‍රමුඛ උරුමකරු පැවිදිව සිටින භික්ෂුව වුවහොත් එම දේපල ඊලඟට සිටින උරුමකරුට පැවරීමට බලයක් දිසාපතිට පැවරේ. මක්නිසාද යත් එය භික්ෂුවට පැවරුවොත් ඔහුගේ මරණින් පසු එය සාංගික දේපලක් ලෙස විහාරස්ථානයට හිමිවන අතර එමඟින් ඉඩම් සංවර්ධන ආඥා පනතේ අරමුණ නිෂ්ප්‍රභා වේ.
පොදු නීතියේදී ඕනෑම කෙනෙකුගේ සමීපතම ඥාතියා ලෙස සැලකෙන්නේ විවාහක සහකරුටය. මරණින් පසු මියගිය තැනැත්තාගේ අනුප්‍රාප්තිය විවාහක සහකරුට නොදී දෙමාපියන්ට, සහෝදර, සහෝදරියන්ට, මාමාට, නැන්දලාට පැවරීම සාධාරණද ? මෙය පොදු නීතියට පටහැනි තත්වයක් නොවන්නේද ? ස්ත්‍රී පුරුෂ භේදය අනුව දේපල අනුප්‍රාප්ති වීම කෙතරම් දුරට සාධාරණද ? යන්න සලකා බලා ඉඩම් පිළිබඳ ආඥා පනත සංශෝධනය වීම අත්‍යාවශ්‍ය කරුණක් බවට අද වන විට පත් වී ඇත.
මෙම ලිපිය සකස් කිරීමසඳහා පහත සඳහන් මූලාශ්‍ර යොදා ගන්නා ලදි.
(නීතීඥ කරුණාරත්න හේරත් මහතාගේ රජයේ ඉඩම් පිළිබඳ නීතිය, නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතාගේ රජයේ ඉඩම් පිළිබඳ නීතිය, මහාවංශය, ඉඩම් කාර්ය සංග්‍රහය)