පසු ගියදා පැවැත්වූ නිදහස් දිනය පිළිබදව පසු විපරමක යෙදෙන්නට ‘සිවුකොණ’ කොළම වෙන්වන්නේ තරු පටි පැළදි අභිමානවත් මෙන්ම පළමු අදේශපාලනික ජනධිපත්වරයෙකු යටතේ පැවති ප්‍රථම නිදහස් දිනය ලෙස උදම් අනන්නට නොව, අප මෙවන් නිදහස් දින සැමරුම් තවත් කවදා වනතුරු මෙසේ සමරන්නේ දැයි හැකි නම් අසා දැන ගැනීම පිණිසය.
චීනයේ නිෂ්පාදිත සිංහ කොඩිය පිටකොටුවේ මුස්ලිම් වෙළෙන්දාගෙන් හෙට්ටු කොට තුට්ටු දෙකට මිලට ගෙන තම්බියා කියා බැන වදිමින් එකී කොඩිය නිවසේ ගේට්ටු කණුවේ සවි කොට නිදහස සමරන ජාතියක් වෙසෙන රටක මෙවන් ප්‍රශ්න ඇසීමෙන් ඇති පල කිමැයි ගම්‍ය වන්නේ නිදහස ලද දින පටන් අප මේ මොහොතේ අසන්නට වෙරදරන ප්‍රශ්නය දස විද අයුරින් මින් පෙරද අප විසින්ම අසා කිසිදු පලක් නොවූ බැවිනි. නමුත් අපි එම පැනයම අදත් එලෙසම අසමු.
අප තවමත් ජාතික විරුවන් ලෙස සලකන එකල ස්වදේශික දේශපාල්ඥයන් එදා කෙතරම් වෙර දැමුවද දෙවැනි ලෝක යුද්ධය නම් සංහාරයට මහා බ්‍රිතාන්‍ය මැදිවී ඔවුන්ගේ ජාතික ආර්ථිකය තැනින් කොණින් දෙදරා නොයන්නට සිලෝන් නම් වූ පෙරදිග ලෝකයේ මුතු ඇටය තුල වෙසෙන අසරණ ජනයා තවමත් එලිසෙබත් මහ රැජිනගේ හිරු නොබසින කිරීටයේ වෙසෙන ප්‍රවේණි දාසයන් පමණක් බවට පත් වන්නට ඉඩ තිබුණි. මෙම තත්වය අසල්වැසි ඉන්දියාවටත් සෙසු දකුණු ආසියානු වත්මන් රාජ්‍යයන් සැමටම පොදු සාධකයකි. නමුත් අප කෙසේ හෝ බ්‍රිතාන්‍ය කිරීටයෙන් ලද නිදහස සැමරිය යුතුය මක් නිසාද යත් සිලෝන් ලෙස බටහිරයින් විසින් හැදින්වූ භූමිය පශ්චාත් දෙවැනි ලෝක යුධ සමය තුල නාමිකව හෝ ස්වාධිපත්‍ය හිමි ජාතික රාජ්‍යයක් බවට පත් වීම ලාංකීය ජනයා විසින් වාර්ෂිකව එම හැගීම නැවත් නැවතත් ස්මරණය කළ යුතු බැවිනි. එය ලාංකීය ජනයාගේ අයිතියක් මෙන්ම යුතුකමකි.
බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී ස්වදේශික දේශපාලඥ්යින්ගෙන් ලාංකීය පාර්ලිමේන්තුව ස්ථාපිත වී ඔවුන් ලාංකීය ජනයා වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට, පාලනය කරන්නට පටන් ගත් දා පටන් ලාංකීය රාජ්‍යට අත්වූ ඉරණම නැවත් නැවතත් සිහිකළ නොයුතු මනාය. එහි රග කෙතරම් ද යත් ලංකාව නම් රාජ්‍යය වත්මන ජාත්‍යන්තරය විසින් වර්ග කොට ඇත්තේ අඩු දියුණු හා දුර්වල රාජයන් ගොන්න අතරටය. කෙතරම් බුද්ධිමතුන් ජාතික නිදහස් අධ්‍යාපනය හරහා ලංකාව තුල බිහි වුවද රාජ්‍යයක් වශයෙන් ලංකාව ගමන් කොට ඇත්තේ නරකාදිය දෙසටමය. මීට දශක කිහිපයකට පෙර අප දකින මුඩුක්කු ජනාවාස “කොරියාව” ලෙස අප ගර්හාවෙන් යුතුව වර්ග කළද අද සැබෑ කොරියානු වැසියන් අතිශය දියුණු වූ රාජ්‍යයක සිට ඔවුන්ගේ පැරණි කොරියාව බදු වූ ලංකාවෙන් අඩු වේතනයන් යටතේ බුරුතු පිටින් සුළු කම් කරුවන් සිය රාජ්‍යය වෙත ගෙන්වා ගන්න තරමට තත්වය ඛේදනීය වී තිබේ. එවන් පසුබිමක සිට ලාංකීය වැසියන් සෑම පෙබරවාරි මස සිව් වනදාට නිදහසේ කාහල නාදය මෙතරම් ගාම්භීර ලීලාවෙන් පවත්වන්නේ කෙසේදැයි අතිශය ගැටලු සහගතය.
නිදහස් දිනය දේශපාලඥයින් හට තමන්ගේ කෙරුවාව පෙන්වීමට කදිම දිනයකි. ජාත්‍යන්තරයෙන් ණයට ඉල්ලාගත් කාලතුවක්කු වෙඩිමුර පවත්වා, අචාර පෙළපාලි මතින් ඔවුන් පෙන්වූයේ හා තවමත් පෙන්වමින් සිටින්නේ කුමක්ද? සිය අභිමානයද එසේත් නැතිනම් තවත් වසරක් තමන් රාජ්‍යක් වශයෙන් පෙනුවූ සිය වාර්ෂික අසමත් කමද යන්න හය හතර සවිඥාණික ලාංකීය ජනයා මේ මොහොතේ අසන පැනයයි.
වත්මන් ලාංකීය ජනපතිවරයා පිළිබදව බොහෝ ලාංකීය ජනයා සිය රාජ්‍යය නැවතත් ඔහු යටතේ සවි බල ගනවනු ඇති බවට අපේක්ෂාසහගතව සිටින බැව් පෙනීයයි. එබැවින් ඔහු යටතේ එළඹෙන මීළග නිදහස් දින උත්සවය අවම වශයෙන් ජාත්‍යන්තර ණය මුදලින් ලකේට නොපවත්වන්නට මූලාරම්භය ගැනීම සදහා ලාංකිකයින් ඔහුවෙත සාධනීය බලපෑමක් එල්ල කළ යුතුය. එසේ නොවන්නට එළඹෙන වසරේ නිදහස් දිනයේදී පත්තු කිරීමට ණයට ගනු ලබන කාල තුවක්කු ප්‍රහාර සියල්ලගේම ණය බර තව දුරටත් ඉසිලීමට අසරණ ලාංකීය ජනයා හිත හදා ගත යුතුය.
නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා