SLYCAN Trust ආයතනය, පරිසර අමාත්‍යංශයේ දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත Resilience Frontiers සහ දායක සහකරුවන්ගේ සහය ඇතිව සංවිධානය කරන දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය තරුණ සමුළුව (GYFCC) අද (14) සිට ලබන 18 වැනිදා දක්වා අන්තර්ජාල වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්වෙයි.
දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය තරුණ සමුළුව පළමු වරට පැවැත්වූයේ 2016 වසරේදීය. ස්ලයිකැන් භාරය ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යංශයේ දේශගුණික විපර්යාස පිළිබද ලේකම් කාර්යාලය හා එක්ව මෙම සමුළුව පැවැත්වීම ආරම්භ කළේය.
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පවතින ප්‍රමුඛ ගැටලු හදුනා ගැනීම, දැනුම හුවමාරු කර ගැනීම, ඒ වෙනුවෙන් තරුණ තරුණියන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම, දේශගුණික ක්‍රියාකාරකම් සහ පර්යේෂණ පිළිබඳ අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට ඔවුන්ට වේදිකාවක් තනා දීම, ධාරිතා වර්ධනය හා ජාලකරණය තුළින් තරුණ තරුණියන්ගේ ව්‍යාපෘති යෝජනා වැඩි දියුණු කර එළිදැක්වීම මෙම සමුළුවේ ප්‍රමුඛ අරමුණු ය.
මෙවර අදියර දෙකකින් පැවැත්වෙන මෙම දේශගුණ විපර්යාස පිළිබද තරුණ සමුළුවේ පූර්ව අදියර දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ මූලිකත්වය ද ඇතිව 14 වැනිදා සහ 15 වැනිදා පැවැත්වෙයි. ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ප්‍රධාන කොට පැවැත්වෙන මෙම අදියරේදී සිංහල, දෙමළ සහ ඉංගිරිසි මාධ්‍ය ඔස්සේ දේශගුණ විපර්යාස පිළිබද සැසියන් පැවැත්වෙයි.
දේශගුණ විපර්යාස සහ ආපදා අවදානම, ජෛව විවිධත්වය, සමුද්‍රීය සහ වෙරළ පරිසර පද්ධතිය සහ තිරසර ආහාර සම්බන්ධයෙන් මෙවර ගෝලීය තරුණ සමුළුවේ වැඩි අවධානයක් යොමු කර තිබෙන බව ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය සදහන් කළාය.
ස්වභාවික පරිසරය, මිනිසා මෙන්ම පෘතුවියේ යහ පැවැත්මට දේශගුණ විපර්යාස බලපෑම එක සේ බලපාන අතර හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යමින් පවතියි. වර්ෂාපතන රටාවන්ගේ වෙනස්කම්, මුහුදු මට්ටම ඉහළ යෑම, ආන්තික කාලගුණික වෙනස්කම් හේතුවෙන් ආර්ථික හා සමාජ ගැටලු බොහොමයක් ඇති කර තිබේ.
දේශගුණ විපර්යාස බලපෑමෙන් වැඩි පීඩාවකට පත්වන්නේ ප්‍රජාවයි. ඊට දරුවන්, කාන්තාවන්, තරුණයින් මෙන්ම ආදිවාසීන්ද ඇතුළත් ය. එම පීඩාවන්ගේ බලපෑම අවම කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුවන්නේ තරුණ මැදිහත්වීම තුළිනි. ඒ නිසා දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව සහ දේශගුණික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමේදී තරුණ තරුණියන්ගේ ධාරිතා වර්ධනය කරමින් ඔවුන්ව සවිබල ගැන්වීම ඵලදායී බව ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය පෙන්වා දෙන්නීය.
තරුණ තරුණියන් දේශගුණ විපර්යාස බලපෑම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත හැකි ලෙස දැනුමෙන් සන්නද්ධ කිරීමෙන් එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබද රාමුගත සම්මුතිය (UNFCCC) හඳුනාගත් දේශගුණ විපර්යාස බලපෑම් සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කිරීමේ තරුණ තරුණියන්ගේ දායකත්වය සෘජුව ලබා ගැනීමේ අපේක්ෂාව ද ඉටු වේ.
මෙවර සමුළුව සදහා අන්කවරදාටත් වඩා දේශගුණ විපර්යාස පිළිබදව අත්දැකීම් බහුල විද්වතුන් රැසක් එක්ව සිටීම විශේෂත්වයකි. රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ පර්යේෂණ ආයතන ඒ අතර කැපී පෙනෙයි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙවර පැවැත්වෙන සමුළුවට එක්වීමට ලොව පුරා තරුණ තරුණියන්ට අවස්ථාව ඇත.
සමුළුවට ඉදිරිපත්වන දේශගුණ විපර්යාස බලපෑම අවම කිරීමේ ක්‍රියාකාරිත්වය ඇතුළත් තරුණ තරුණියන්ගේ නව ව්‍යාපෘති සදහා අන්තර්ජාලය ඔස්සේ ඔබගේ මනාපය යොමු කිරීමේ අවස්ථාව ද මෙවර උදා වී තිබේ.
දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් පවතින දේශගුණ විපර්යාස බලපෑම පිළිබද සාකච්ඡාවට සම්බන්ධ වෙමින් ලෝකයේ දේශගුණ විපර්යාස පිළිබද කටයුතු කරන ආයතන, සංවිධාන, නියෝජිතයන් සහ විද්වතුන් සමග සාකච්ඡා කරමින් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට තරුණ දේශගුණික ක්‍රියාකාරිකයන්ට මෙම ගෝලීය සමුළුව අනගි අවස්ථාවක් වනවා නොඅනුමානය.
අන්තර්ජාලය ඕස්සේ දේශගුණික විපර්යාස පිළිබද ගෝලීය තරුණ සමුළුව -2020 සදහා එක්වීමට පහත ලිංකුව භාවිතා කරන්න.