ජේසුගේ කටු ඔටුන්න බේරූ නෝට්‍ර-ඩෑම් දේවස්ථානය යළි ගොඩනගන්න ලෝක නායකයෝ ඉදිරිපත් වෙති

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ගින්නකින් අර්ධයක් පමණ විනාශ වූ වසර 850ක් පමණ පැරණි ප්‍රංශයේ පැරිස්හි Notre-Dame ඓතිහාසික දේවස්ථානය යළි ගොඩනැගීම වෙනුවෙන් හැකි උපරිම සහය ලබාදෙන බවට ලෝක නායකයෝ පොරොන්දු වෙති.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ජනාධිපතිවරුන්, අගමැතිවරුන් ඇතුළු බොහෝ දෙනා මෙම ගින්න ඇතිවී දේවස්ථානයට හානිවීම සම්බන්ධයෙන් ශෝකය පළකර තිබේ.

දේවස්ථානය යළි ගොඩනැගීමට සහය වීම සදහා මුලින්ම ඉදිරිපත් වී තිබුණේ අමෙරිකානු හිටපු ජනාධිපති බරක් ඔබාමාය. ශෝකය පළකරමින් සිටි රාජ්‍ය නායකයන් පසුව සහය ලබාදීමට ඉදිරිපත් වෙමින් නිවේදන කරනු දක්නට හැකිවිය.

මේ අතර 12 වන සියවසේදී ඉදි කරන ලද මෙම දේවස්ථානයේ විනාශ වූ කොටස් ද ඇතළුව දේවස්ථානය හැකි ඉක්මණින් යථාතත්ත්වයට පත්කිරීම සදහා ජාත්‍යන්තර සහය ලබාගැනීමට ජාතික අරමුදලක් පිහිටුවන බවත් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසා තිබේ.

ජේසුස් වහන්සේ කුරුසයේ තබා ඇණ ගැසීමට පෙර පැළඳ සිටි ‘කටු ඔටුන්න’ ලෙස සැලකෙන ඔටුන්න ද තැන්පත් කොට තිබුණේ මෙම දේවස්ථානයේ ය.

එය ද ගින්නෙන් නිරූපද්‍රිතව බේරා ගැනීමට මෙහිදී හැකි වී තිබේ.

ජේසුස් වහන්සේගේ ‘කටු ඔටුන්න’ පැරිස් නුවර කරා රැගෙන එන අවස්ථාවේදී ප්‍රංශයේ 9 වන ලුවී රජු ඇඳ සිටි කබාය ද මෙහිදී සුරක්ෂිතව බේරා ගැනීමට හැකිවී තිබේ.

මෙම ගොතික් සම්ප්‍රදායට අයත් ගොඩනැගිල්ලෙහි ප්‍රධාන කුළුණු දෙකක් ඇතුළු ප්‍රධාන ශෛලමය සැකිල්ල ආරක්ෂා කිරීමට ගිනිනිවන භටයින්ට හැකිවී ඇත.

නමුත් එහි වහලය සහ මුදුනත පිහිටි පිරමිඩාකාර කොටස ගින්නෙන් මුළුමනින්ම විනාශ වී තිබේ.

ගින්න මැඩපැවැත්වූ බව නිවේදනය කරනු ලැබුවේ, එය ආරම්භ වී පැය 9කට අධික කාලයක් ගත වීමෙන් පසුවය.

ගින්නට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, එය දේවස්ථානයේ සිදු කරමින් පැවති ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර එය ඇති වූ බව විශ්වාස කෙරේ.