ලංකාවේ වූ පිපිරීම්වලින් මියගිය ජනතාව ‌වෙනුවෙන් ඔස්‌ට්‍රේලියානු අගමැති ‌බෞද්ධ ආගමික වතාවත්වල

Picture of අසංක

අසංක

අසිරි බණ්ඩාර
ඔස්ට්‍රේලියාවේ සිට…

ඊයේ දිනයේ ශ්‍රී ලංකාවේ සිදුවූ කණගාටුදායක තත්වය ගැන ඕස්ට්‍රේලියාවේ මධ්‍යම රජය දැඩි ලෙස හෙළා දකින බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූ අය වෙනුවෙන් සෙත් පතා මෙල්බර්න්හි පිහිටි ශාඛ්‍යමුනි බෞද්ධ විහාරයේ අද දින ආගමික වතාවත් පැවැති අතර ඒ සඳහාද ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා සහභාගී විය​.

බෝම්බ පිපිරීම්වලින් ජීවිතක්‍ෂයට පත් වූවන්ට මෙන්ම තුවාල ලැබූ සැමට තම කණගාටුව ප්‍රකාශ  කරන බව සහ මෙම හදිසි අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවේ සහය ලබාදෙන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ විපක්‍ෂ නායක මෙන්ම කම්කරු පක්‍ෂ නායක බිල් ෂෝර්ටන් මෙම මිලේච්ඡ ක්‍රියාව තරයේ හෙලා දකින බව ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු ද  මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

 තවද ඕස්ට්‍රේලියාවේ පදිංචි නමුත් මේ දිනවල ලංකාවෙ සිටින ශ්‍රී ලංකාවේ පදිංචි මවක සහ ඇගේ දියණිය මීගමුවේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගොස් ඇතැයි ද සදහන් ය.

ඊයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර වලින් මිය ගිය හා තුවාල ලැබූ පිරිස් වෙත කණගාටුව ප්‍රකාශ කරමින් මෙල්බර්න් වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සංවිධාන කළ අනුස්මරණය අද මෙල්බර්න්හි Federation Square හිදී පැවැත්විණ.

මෙම අවාසනාවන්ත සිදුවීම නිසා කම්පනයට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවන් ගේ කණගාටුව පළ කිරීමට අද රාත්‍රීයේදී ආකර්ශණීය කුළුණකින් සමන්විත ඕස්ට්‍රේලියාවේ ඉතාමත්ම ප්‍රසිද්ධ ස්ථානයක් වන Melbourne Art Centre සහ බ්‍රිස්බේන් නගරයේ ඇති ප්‍රධානතම පාලමක් වන Victoria Bridge ඇතුලු තවත් පාලම් දෙකක් ශ්‍රී ලාංකා ධජයේ පාටින් වර්ණ ගන්වා ඇත​.

තවද Toowoomba ශ්‍රී ලාංකීය සංගමයද අද දින Toowoomba කතෝලික දේවස්ථානයේදී මෙම සිද්ධියට මුහුණ දුන් සැම වෙනුවෙන් දේව මෙහෙයක්ද සංවිධාන කර තිබිණ​.