රමේෂ් වරල්ලෙගම
තුන්සියයකට අධික පිරිසක් ඝාතනය කරමින් තවත් පන්සියයකට අධික පිරිසකට තුවාලකරමින් කොළඹ, මඩකළපුව ඇතුළු ස්ථාන අටකට එල්ල වු මරාගෙන මැරෙන අන්තගාමී ප්‍රහාරය බැලු බැල්මටම අයි.එස්.අයි.එස් ත්‍රස්ත ක්‍රියාවක්බව පෙනීයයි.
එසේවුවද මේ දක්වා කිසියම් ත්‍රස්ත සංවිධායනයක් එහි වගකීම භාරගෙන නැත. නිල වශයෙන් රජය ඒ ගැන ප්‍රකාශයක් නිකුත්කර ඇත්තේද නැත. නමුත් ප්‍රහාරයට සම්බන්ධවු මරාගෙන මැරෙන සාමාජිකයන් ජාතික තවුහිත් ජමාන් සංවිධානය නියෝජනය කළ බව අනාවරළණය වී හමාරය.
අල්ලා දෙවියන් හැර වෙන දෙවියකු නොමැති බවත් අල්ලාහ් දෙවියන්ගේ පණිවුඩකරු මහම්මත්තුමා බවත් පිළිගන්නා මෙම සංවිධානය ශ්‍රි ලංකාවට පමණක් සීමාවුවක් නොවේ.
ඉන්දියාව, ප්‍රංශය, එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක මෙම සංවිධානය ක්‍රියාත්මකය. බැලුබැල්මට නමකට සීමාවුවද ඉස්ලාම් දහම පැතිරවීම ඔවුන්ගේ මුලික ඉලක්කයකි. නමුත් ලංකාවේ ක්‍රියාත්මකවු මෙම සංවිධානය සාමාජ ජාල ඔස්සේ අන්තවාදී මුස්ලිම් මතවාද ප්‍රචාරය කරමින් සිටියේය. එපමණක් නොව ඔවුන්ගේ සහය අයි.එස්.අයි.එස් සදහා ලබා දෙන බවද පවසා තිබිණි.
හැමදාමත් මෙන් දැන් සිදුව ඇත්තේ අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා නොතැබීම ගැන කතා කිරීමය. විස්සෝපවීමය. නැතිනම් කාට හෝ චෝදනාව ඉලක්කකොට ඇගබේරා ගැනීමය. නැතිනම් ප්‍රහාරය දේශපාලන පක්ෂ පාටවලින් වර්ණ ගැන්වීමය.
2009 මැයි මාසයේ මුලතිව් ෆාරා ත්‍රි නෞකාව අසල පැවැති ගිනි අවි නිහඩ කිරීමේ උත්සවයට ගිය මට දැන් මැවී පෙනෙන්නෙ නැවත කොච්චිකඩෙන් මතුවු අමිහිරි වේදනාවේ දෝංකාරයයි.
තිස්වසරක් මෙරට යුද්ධය පැවැති සමයේ සාම කාක්කො කොතරම් නම් පියඹාගියේදැයි දන්නො දනිති. යුද්ධය නිමා කිරීමේ සබෑ උවමනාව මහජනතාවට පැවිතියද ඩොලර් නෝට්ටුවලින් ඒ සැබෑ උවමනාව වසා දැමුවේ සාම කාක්කන්ය. බටහිර න්‍යාය පත්‍රයන්ය.
ඊට උඩගෙඩිදෙන දේශපාලන න්‍යාය පත්‍රයන්ද අඩුවැඩි නැතිව පැවැතිනි. ස්වභාවධර්මයේ පිනකට මෙන් රටේ අවශ්‍යතාව මාවිල්ආරුවෙන් පටන්ගෙන නන්දිකඩාල් දක්වා දිව ගියේය. අටපාස් සොල්දාදුවා දේවත්වයෙන් පුදනබව පෙන්වා එදින මේ සමාජය හුන්අසුනෙන් නැගිට ඔවුන්ට ආචාර කළේය.
සමාජ ගෞරවය පුදන බව පෙන්නුවේය. 2009 මැයි 19 වැනිදා ආරම්භ වු සාමයේ ගීතිකාව ඉන් දස වසරක් ගතවීමට ඔන්න මෙන්න තබා කොච්චිකඩේ පල්ලියෙන් අවසන්වනු ඇතැයි කිසිවෙකුත් එකල හෝ මෙකල බලාපොරොත්තු නොවුහ. බොහෝ දෙනා උත්සුක වුයේ දේශපාලනයේ බල පෙරළිය ගැනය. එය කවදා කොතැනක කුමන ආකාරයකින් සිදුවෙතැයි යන්නය.
යුද්ධයක් හෝ බෝම්බ හඩ ගැන අපේ රටේ ජනතාවට නැවත මතක් කළාට තුති යැයි එක්තරා සමාජ ජාලයක පසුගියදා ලියා තිබිණි. ඇත්ත තිත්තය. නමුත් ඇත්තත් එයමය. කුමක් හෝ දිනාගත් පසු මේ රටේ මිනිස්සු සියල්ල සුඛිත මුදිත වුවන්සේ සෙව්වේ වෙනසකි. නමුත් රටට අවශ්‍යව තිබුණේ යුද්ධයකින් පසු පිළිවෙලකි.ජාතික ප්‍රතිපත්තියකි. දේශපාලනික වශයෙන් මොන පාට රජ කළද රට රජයන ප්‍රතිපත්තියකට රට තල්ලු කිරීමේ වගකීම තිබුණේ ජනතාවටය. ඒසේ නොමැතිනම් ජනතාව බලය පැවැරූ මහජන නියෝජිතයන්ටය. අවසාන වශයෙන් රට කරවන්නන්ටය.
එල්.ටී.ටී.ඊ ත්‍රස්ත්‍රවාදය තුරන් කිරීමෙන් පසු මෙරට වැඩි අවධානයක් දිනාගත් අනෙක් පිළිලය මුස්ලිම් අන්තවාදයයි. කොටි ත්‍රස්ත්‍රවාදයට මුවාවී කුඩාවට ලියලෑ මෙම සංවිධාන යුද්ධය නිමාවීමෙන් පසු සක්‍රිය වීමට පිඹුරුපත් සැකසුවේය. නමුත් ආරක්ෂක විධිවිධාන ඊට හරස්විය.
දේශපාලනික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සිදුවන අවාසි සහගත තත්ත්වයන් තුළ උවද එවකට පැවැති රජය මෙවැනි අන්තවාදී සංවිධාන ගැන තොරතුරු සීමත වශයෙන් මාධ්‍යයට දිගහැරියේය.
අයි.එස්.අයි.එස්. ත්‍රස්ත්‍ර ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අවශ්‍ය මෙහෙයුම් සදහා ලොව පුරා රටවල් කිහිපයකට අපගේ බුද්ධි අංශ නිලධාරින් පිටත් කරන බව එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වරක් ලියුම්කරුට පැවැසුවේය. මෙම ප්‍රවෘත්තිය එකල රිවිර දිනපතා පුවත්පතේ ප්‍රධාන ශිර්ෂයක් ලෙස පලවුණි.
සිරියාවට පැනගිය මෙරට අයි.එස්.අයි.එස් පවුල්වල සාමාජිකයන් ගැනද මාධ්‍යයේ මීට පෙර පළවිය. අයි.එස්.අයි.එස් සංවිධානයේ නිල පුවත් ප්‍රකාශය හෙළිකළ ශ්‍රි ලාංකික අයි.එස්.අයි.එස් සාමාජිකයන් මියයෑමේ ප්‍රවෘත්ති ඔවුන්ගේ ගේ දොර ගැන විස්තරද මාධ්‍යයේ පළවිය. එවැනි වාර්තාවලට පවතින ආණ්ඩුවේ බාධා කිරීමක් නොවුනේය. සිදුවුයේ එවැනි සිද්ධි සම්බන්ධයෙන් තීව්‍ර සොයා නොබැලීමයි.
කොටි ත්‍රස්ත්‍රවාදය පරාජයකරන කාලයවනවිට මෙරට බුද්ධි අංශ ඉතා සක්‍රිය මට්ටමක පැවැතිනි. එය පොට්ටුඅම්මාන්ගේ කොටි බුද්ධි ජාලය පරයා යන තැනකට පැමිණ තිබිණි. රජ්‍ය බුද්ධි අංශය ආරක්ෂක අමාත්‍යංශයේ වෙනමම ස්ථාපිත වු අතර එහි ප්‍රධානියා යුද හමුදාවටත් යුද හමුදා බුද්ධි අංශයටත් සෘජුවම සම්බන්ධ නිලධාරියෙක් වුයේය.
යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය මෙන්ම රාජ්‍ය බුද්ධි සේවය, අනෙකුත් ආරක්ෂක අංශවල (ගුවන්, නාවික) බුද්ධි ඒකකය එකිනෙකට ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි. රහස් පොලිසිය එහි තවත් බරක් ඉසලීය.නැතිනම් තමන්ගේ කොටස වෙන් කරගෙන ක්‍රියාත්මකවීම සිදුවිය.
අද අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කරන ඉල්ලීම දෙස මදක් විමසා බැලීම වටින්නේ මේ නිසාය. බුද්ධි අංශය බිද වැටී ඇත්නම් නම් එය ශක්තිමත් කිරීමට පියවර ගන්නැයි අගරදගුරු කාදිනල්තුමා පැහැදිලිව ඉල්ලා සිටියි. මේ නිසා සිදුව තිබෙන ඛේදවාචකය ඔනෑම අයෙක්ට පැහැදිලිය.
පසුගිය කාලයේ බුද්ධි අංශ නිලධාරින් අධිකරණ කටයුතුවලට නිරාවරණය කරමින් සිදුවු පරීක්ෂණවල ලබාගත් ප්‍රතිඵලය මෙයදැයි සිතේ. ඔවුන් නොව කවුරු වැරදි කළද දඩුවම් තිබිය යුතුය. නමුත් ක්‍රමවේදය වෙනස් නොවීමෙන් බුද්ධි අංශ පමණක් නොව යුද්ධය නිමා කිරීමට සක්‍රියව දායක වු ආරක්ෂක අංශ නිලධාරියා සහ සොල්දාදුවාට නැතිනම් සාමාජිකයාට ඉතිරිවුයේ කලකිරීම පමණි.
ඔවුන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න පිරිසක් බවට පත්වුයේය. යුද හමුදා බුද්ධි අංශය සක්‍රියව පැවැති සමස්ත මෙහෙයුමෙන් ඈත් කළේය. ඔවුන්ගේ ඉහළ තනතුරු හෙබවු නිලධාරින් රට රටවලට යැවීය. දේශපාලනික වශයෙන් එම තැන්වල තේරුම්ගෙන තිබුණේ කිසියම් කුමන්ත්‍රණයක් සිදුවේයැයි තිබු බිය පහන් කර ගැනීමයි.
යුද හමුදා බුද්ධි අංශය මේ ප්‍රහාරය ගැන දැන සිටියාදැයි මාධ්‍යවේදියෙකු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයකගෙන් අසනවිට නොදැන සිටි බව කියවෙන්නේ මේ නිසාය. දැන සිටියත් ඔවුන්ට ක්‍රියාත්මක වීමේ බලයක් තිබුණේ නැත. හදිසි නීතිය යටතේ යම් කාලයක් තමන්ට සහ තමාගේ යුද මුදාවට ලබා දෙන්නැයි යුද හමුදාපතිවරයා ඉල්ලා සිටින්නේ මේ නිසාය.
ඇතැම්විට යුද හමුදාවේ තටු කපා දැමීමට හේතුවන්නට ඇත්තේ ජාත්‍යන්තරයේ අත්සන් තබන ගිවිසුම්ය. ඒවා දීර්ඝව කළ යුතු සාකච්ඡාය. නමුත් අද ජාත්‍යන්තරයෙන්ම එවන සැනසුම් සුසුම්වලින් මියගිය තුන්සිය දෙනෙකුට නැවත හුස්ම පොදක් හෝ දිය නොහැකිය.
අපේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් විදෙස් මාධ්‍යවේදියෙක් අසන ලද ප්‍රශ්නවලට දෙන පිළිතුරු බලා සිටීමත් අප්‍රසන්නය. ආරක්ෂාව ගැන අල්පමාත්‍රයක් හෝ දන්නා අයෙක් මීට වඩා වගකිවයුතු ප්‍රකාශයක් ඔහුගෙන් බලාපොරොත්තු නොවන්නේ නම් පුදුමයකි.
අපි පුද්ගලික හෝටල්වලට ආරක්ෂාව සපයන්න බැදිලා නෑ. එයාලා ඒ්වා බලාගන්න ඔන යැයි ආරක්ෂක ලේකම් පවසනවිට විදෙස් මාධ්‍යවේදියා එතකොට කතෝලික දේවස්ථානවලට ආරක්ෂාව දුන්නෙ නැත්තෙ ඇයි දැයි විමසයි. කලින් තොරතුරු දැනගෙනත් එවැනි ක්‍රමවේදයක් ඇති කිරීමට නොහැකිවීම සාධාරණය කිරීමට ආරක්ෂක ලේකම්වරයා ගොතනලද කතා කිසිවක් මිහිපිට මිනිසෙකුට සෑහීමකට පත්විය හැකි ඒවා නොවේ.
2018 නොවැම්බර් 11 රිවිර ඉරිදා පුවත්පතට ලියුම්කරු ලියු ලිපියකින්ම ඊට උදාහරණ සපයාදීම පහසුය. 26-11 ප්‍රහාරය ලෙස ලොව ප්‍රචලිත මුම්බායි ත්‍රස්ත්‍ර ප්‍රහාරයට දස වසරක් සපිරෙන 2018 නොවැම්බරයේ එම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වු ටාජ් පැලස් හෝටලයේ නවාතැන්ගනිමින් මා ලියු ලිපියේ ජේද දෙකක් උපුටා දැක්විය යුතුයැයි සිත්විය.
මුම්බායි සිවාජි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්වු අපි එදින දහවල් ටාජ් පැලස් හෝටලයට ළගා වුනෙමු. අපගේ සියලු ගමන්මලු ටාජ් පැලස් හෝටලයට ඇතුළුවීමට පෙරම පරික්ෂාවට ලක් කෙරිණි. කුඩා ජංගම දුරකථනයට පවා එම ආරක්ෂක කවුලුවලින් බේරී යාමට නොහැකිවිය. එකිනෙකාට නමස්තෙ යැයි කියන ගමන් ආරක්ෂකයෝ උකුසු ඇස් යොදමින් හෝටලයට එන අමුත්තන්ගේ ඇග පසග විශේෂිත ආරක්ෂක පරික්ෂාකිරීමකට ලක් කළහ. මෙම පරික්ෂාකිරීම පුදුමය දනවන සුළුවුයේ වෙන කිසිවක් නිසා නොව මිනිස් බෝම්බ සමග ලොව ප්‍රබලම ත්‍රස්තවාදීන් යැයි කියාගත් කොටි ත්‍රස්තයෝ මෙල්ල කළ ලංකාවේ අදත් මෙවැනි තත්ත්වයක් දක්නට නොමැතිවීමයි.
එම ලිපියේම තවත් ජේදයක් මෙසේය. ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදය පිළිබදව මේවනවිට හා හෝවක් නැතත් ඔනෑම වේලාවක එවැනි ප්‍රහාරයකට සුදානමින් සිටීමේ වැදගත්කමද මුම්බායි හි පවත්නා ආරක්ෂක ක්‍රමවේදය ගැනද මොහොතකට හෝ අවදානයෙන් පසුවීම මෙරට ආරක්ෂක අංශවලට වුවද හිතකර තත්ත්වයකි.
මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේද අන්තවාදී ලෂ්කාර් ඉ ටායිබා ත්‍රස්ත්‍රයන්ය. එකිනෙකට වෙනස් වුවද අන්තවාදී සංවිධාන ලෙස ලංකාවේ ප්‍රහාරය හා එම ප්‍රහාරය නෑ කම් කියයි. හෝටල්වලට රජයේ ආරක්ෂක නිලධාරින් ආරක්ෂාවට යොදවන්නේ නැති එක ඇත්තය. නමුත් ආරක්ෂක ක්‍රමවේදය ගැන උපදෙස් දීම කුමන හෝ රටක ආරක්ෂක බලධාරින්ගේ වගකීමය. හෝටලයට ආ පලියට ඔවුන් වෙනත් ග්‍රහලෝකයකට අයත් මිනිස්සු කොට්ඨාශයක් වන්නේ නැතිබව මෙරට ආරක්ෂක ප්‍රධානින් දැනගත යුතුය.
මෙම ප්‍රහාරමාලාවත් සමග කරළියට ආ ලිපියක් වුයේ Plan Attack ලිපියයි. මෙම ලිපිය හුවමාරුවී තිබුණේ පසුගිය අප්‍රේල් 11 වැනිදාය. හරියටම කිවතොත් මෙම ප්‍රහාර මාලාව එල්ල වීමට දින දහයකට පෙරය. ඇත්ත නම් ඒ වනවිට මේ රටේ ජනාධිපතිත්, අගමැතිත්, අනෙකුත් ආරක්ෂක අංශ ප්‍රධානින් සිටියේ මේ රට තුළමය. ඔවුහු විදෙස්ගතවී නොසිටියහ.
අන්තර්ජාතික වශයෙන් පැමිණි බුද්ධි තොරතුර නිසියාකාරව ප්‍රයෝජනයට ගැනීමට නම් අදාල බුද්ධි අංශ ප්‍රධානියා හෝ පොලිස්පතිවරයා වහාම ආරක්ෂක කවුන්සිලය රැස්කරන්නැයි සේනාධිනායකයාගෙන් ඉල්ලා සිටිය යුතුය. ඒසේ රැස්වී ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කළ යුතුය. තීන්දුවක් ගත යුතුය. මේ කිසිවක් සිදුනොවන්නේ කුමක් නිසාද ? ආරක්ෂක මණ්ඩලය නමට සීමාවුවක්ද යන්න ගැන දැන් ප්‍රශ්න පැන නගින්නේ ජනාධිපති, අගමැති හෝ කිසිවෙකුත් ප්ලෑන් ඇටෑක් ලිපියේ කිසිවක් නොදන්නා බවට පළවන වාර්තා නිසාය.
මොහොමඩ් සහරාන් නැමැති ජාතික තව්හිත් ජමාන් සංවිධානයේ නායකයා ඇතුළු පිරිසක් දේවස්ථාන හෝ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අදාල බුද්ධි තොරතුරෙන් කියැවිණි. රාජ්‍ය බුද්ධි සේවය ඊට ආදාල තොරතුරු සමග පිටු තුනක දැනුම්දීමේ ලිපියක් බුද්ධි ප්‍රධානියා හා පොලිස්පතිවරයාට දන්වා තිබිණි.
ෂැංග්‍රිලා හෝටලයේ පාමුල මොහොමඩ් සහරාන්ගේ හිස මිනිස් බෝම්බයෙන් වෙන්වී යනතුරු මෙරට ආරක්ෂක අංශ ප්‍රධානින් හා වගකිවයුත්තන් සිටියේ මර නින්දේය. ජනාධිපතිවරයා නොමැති අවස්ථාවේ අගමැති ප්‍රධානත්වයෙන් රැස්වු ආරක්ෂක මණ්ඩලයේ මහා උණුසුමක් ඇවිලීගියේ මෙම බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය ගැනය. මුලින් පිළිනොගත්තද දේශපාලනික වාසිය ගැන සිතා හෝ අගමැති රනිල් වික්‍රමසිංහ තමාට හෝ කැබිනෙට්ටුවේ ඇමැතිවරුන්ට මෙම දැනුම්දීම නොලැබුණ බව ප්‍රකාශ කළේය. තොරතුරු ලැබී තිබියදී මෙවැනි දෙයක් සිදුවීම ගැන සොයා බැලිය යුතු බව අගමැතිවරයා අවධාරණය කළේය.
ඊට වගකිවයුත්තා ලෙස ආණ්ඩුව ගිලටීනයට සවි කළේ පොලිස්පතිවරයාය. තවමත් පොලිස්පතිවරයා ඒ ගැන කට මැත දොඩන්නට පටන්ගෙන නැත. ඇත්ත දන්නේ ඔහුය. ප්‍රධාන වශයෙන් සිදුව ඇත්තේ ක්‍රමවේදයක් නොමැතිකමේ දුර්වලකම හා සුදුස්සන් සුදුසු තැන්වල වගකීම් නොදැරීමයි. දේශපාලන අධිකාරියට ඉන් බේරීමට නොහැකි බව හගවන්නේ ඇමැති හරින් ප්‍රනාන්දුගේ තාත්තා දැන සිටි කතාවයි.
පොලිසිය කලින්ම මේක දැනගෙන තිබුණා. අපේ තාත්තාටත් මේ ගැන ආරංචිවෙලා මට පල්ලි යන්න එපා කිව්වා. මම බේරුණෙ ඒ නිසා යැයි ඇමැති හරින් ප්‍රනාන්දු පවසන්නේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසය. ඉන් පෙනී යන්නේ කවුරු කවුරුත් නෑ කිව්වට දැනගෙන සිට ඇති බවයි. නමුත් ඔවුන්ට ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මකවීමට අමතකවුයේය.
අයි.එස්.අයි.එස් යැයි නොපැවසුවද ප්‍රහාරයට සැකපිට අන්තවාදී සංවිධානයකට උඩගෙඩිදුන් බොහෝ දෙනා දැන් පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 25කට අධිකය. එසේ අත්අඩංගුවට ගත් අය අතර දෙමටගොඩ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සුපිරි නිවාස සංකීර්ණයේ හිමිකරු ඊබ්‍රහිම් ද වේ. ඊබ්‍රහිම් ප්‍රකෝටිපතියෙකි. ඔහු හා ගම්මිරිස් අපනයනය එකට බැදී පවතින්නකි.
බොහෝ විට එකිනෙකට වෙනස් දේශපාලන ඇසුරක් පවත්වාගෙන ගිය ඔහු දේශපාලන පක්ෂ වෙනුවෙන් අත දිගහැර වියදම් දැරුවෙකි. ඇමැති රිෂාඩ් බදියුදීන් සමග උත්සව අවස්ථා කිහිපයකම ඔහු ළගින්ම සිටින ඊබ්‍රහිම් වරක් ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කර තිබේ.
මෙම ප්‍රහාර මාලාවේ මිනිස් බෝම්බ තුනක්ම ඊබ්‍රහිම්ගේ පුතුන්ය. සිනමන්ඩ් ග්‍රැන්ඩ්, ෂැංග්‍රිලා සහ දෙමටගොඩ බෝම්බ සමග පුපුරාගියේ ඔහුගේ පුතුන් බව මුලික පොලිස් පරික්ෂණවලදී සැක පහළ වී ඇත. දඹුල්ලේ සැකකටයුතුලෙස නවාතැන්පොළක් සොයමින් සිටියදී අත්අඩගුවට ගත් තව්හිත් ජමාන් නායක මොහොමඩ් සහරාන්ගේ බාප්පා සහ තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති.
ආරක්ෂක ලේකම්වරයා කියු පරිදි නම් අදවනවිට මේ සම්බන්ධයෙන් ඒෆ්.බී.අයි සහ ඉන්ටර්පෝල් පරික්ෂණද ඇරඹේ. වසා දැමු ඉස්තාලය ගැන සොවින් සිටිනවට වඩා වටින්නේ ඉතිරිව සිටින අශ්වයන්ගේ ඉස්තාලයන් පරික්ෂා කර බැලීමය. එවිට ජාතික ආරක්ෂාවත් තහවුරුවනු ඇත. ඒසේ නොමැතිව ලැබී ඇති අනගිම අවස්ථාවත් මග හැරියොත් තවත් දශක ගණනාවක් හිගන්නාගේ තුවාලය දෙස බලමින් මේ රටට වේදනාවේ ගිලෙන්නට සිදුවනවා නොඅනුමානය.