ප්‍රබෝධා හෙට්ටිආරච්චි
“මේ මිනීමැරුම්වලට වගකියන්න ඕනේ එදා මං කිව්ව දේවල් බොරු කියලා මාධ්‍ය හමු තිබ්බ ඇමතිලයි මුජිබර් රහුමාන්ලයි” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
හෙතෙම මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා සිදුවූ පිපිරීම් පිළිබද අද පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ සැසිවාරය අමතමිනි.
විපක්ෂ නායකවරයාගේ කතාවේදී මහින්ද රාජපක්ෂ මහතා “විජේදාස රාජපක්ෂ ඇමතිවරයා 2016 දී පාර්ලිමේන්තුවේ මේ ගැන විශාල ප්‍රකාශයක් කළා. අපේ නෙවෙයි ඒ කාලේ ඔබතුමාලගේ ඇමති” යනුවෙන් කළ ප්‍රකාශය හේතුවෙන් විජේදාස රාජපක්ෂ මහතාට කරුණු දැක්වීමට කථානායකවරයා අවස්ථාව ලබාදුන්නේ ය.
ඒ අනුව සිය අදහස් දැක්වීම කරමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ “2016 නොවැම්බර් 18 වැනිදා මම මැතිසබයේදී කිව්වා තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන්ගේ පවුල් පිටින් 32 නෙකු පමණ තුර්කියට ගියා අයිසිස් සංවිධානයට බැදෙන්න කියලා. ඒ ගැන විමර්ශන කළ යුතු බවත් කිව්වා. එදා මම කිව්ව දේවල් බොරු කියලා සමහර ඇමතිවරු මාධ්‍ය හමු තියලා කිව්වා. මේ පිපිරීමෙන් කළ මිනීමැරුම්වලට වගකියන්න ඕනේ අන්න ඒ ඇමතිවරුයි මුජිබර් රහුමාන්ලයි” යනුවෙනි.
මෙහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ එසැණින්ම පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.30 දක්වා කල්තබන බවට කථානායකවරයා හා ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.