දම්පත් රණසිංහ
වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හා එහි සැරයන්වරයකුගේ වැඩ තහනමට ලක් කරන්නැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කමිටු වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන 9 දෙනෙකු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් පොලිසියෙන් සිදුවූ අඩුපාඩු සෙවීමට පොලිස්පතිවරයා පත්කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කමිටුව මෙම නිර්දේශ කර ඇත.
එහි මූලික වාර්තාව අද පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවන්ට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාව පිළිබඳ පරීක්ෂණවලදී පොලීස් නිලධාරීන් අතින් බොහෝ අඩුපාඩු වී ඇති බවයි.
අත්අඩංගුවට ගත් පසුව සැකකරුවන්ගෙන් ප්‍රකාශ හෝ නිසිපරිදි සටහන් කරගෙන නොමැති බව වාර්තාවෙන් හෙළි කර තිබේ.
එමෙන්ම මේ පිළිබඳ පරික්ෂණ පැවැත්වීමට යවා ඇත්‍තේද කිසිඳු අවබෝධයක් නොමැති කොස්තාපල්වරයකු බවද වාර්තාවේ සඳහන් ය.
මෙම විමර්ශනයට අදාලව පොලිස් නිලධාරීන් අතින් සිදුවූ අඩුපාඩු සිතාමතාම සිදු කළ ඒවා බවට පෙනී ගොස් ඇතැයි වාර්තාවෙන් පවසා ඇත.