විදුලි ගාස්තු මේ ජනවාරියේ දී සියයට 60 සිට 65 අතර ගණනකින් වැඩි කිරීමට පසුගිය සඳුදා (02) විදුලිබල ඇමැති කංචන විජේසේකර මහතා ඇමැති මණ්ඩලයට ගෙනා යෝජනාව පිළිබඳව තීරණයක් ගැනීම සතියකින් කල් ගොසිනි. එසේ සතියක් කල් ගෙන තිබෙන්නේ අනෙක් ඇමැතිවරුන්ට ඒ පිළිබඳව තම අදහස් ඉදිරිපත් කිරීමටය. ඒ අනුව විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ලබන සඳුදා (09) යළි ඇමැති මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනීමට නියමිතය.
දෙසැම්බර් 27 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී ද අමාත්‍ය විජේසේකර පැවසුවේ, විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවය. විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව එක පියවරකින්වත් පසුපසට ගෙන නොමැති බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියේ දැඩි අධිෂ්ඨානයකිනි.
අමාත්‍යවරයා එහිදී කී ලෙස විදුලි ගාස්තු මෙසේ යළි ඉහළ නංවන්නේ 2023 වර්ෂය සඳහා විදුලිය නිපදවීමට අවශ්‍ය රුපියල් කෝටි 27,800කට ආසන්න මුදල උපයා ගැනීමටය. ඒ ගාස්තු ඉහළ නැංවීමත් සමග දැනට රුපියල් 29.14කට ලබා දෙන විදුලි ඒකකයක මිල රුපියල් 48.42ක් වන බව ද අමාත්‍යවරයා කියයි. (2022 දෙසැම්බර් 28 වැනිදා ලංකාදීප)
ඇමැතිවරයා ඒ කියන හැටියට විදුලි ඒකකයක් රුපියල් 29.14ක් වන වර්තමානයේ රටේ පවතින්නේ කෙබඳු තත්ත්වයක් ද? 2022 දෙසැම්බර් 30 වැනිදා ලංකාදීප පුවතකින් අනාවරණය වූයේ ලංකාවේ ජනතාව කෑම බීම මිලදී ගැනීම සඳහාත් තම දේපළ විකුණන බවය.
2022 දෙසැම්බර් 29 වැනිදා ලංකාදීප වාර්තාවකට අනුව ලෝක ආහාර වැඩසටහන හෙළිකරන්නේ ලංකාවේ ජනගහනයෙන් සියයට 76ක් ආහාර අනාරක්ෂිතතාවෙන් පීඩා විඳින බවය. රටේ ජනගහනයෙන් සියයට 73ක් මිලෙන් සේම පෝෂණ ගුණයෙන් ද හීන ආහාර අනුභව කරන බව කියන ලෝක ආහාර වැඩසටහන, රටේ ජනගහනයෙන් සියයට 52ක් කෑමට ගන්නා ආහාර ප්‍රමාණය අඩුකර තිබෙන බව ද හෙළිකරයි.
ජනගහනයෙන් සියයට 40ක් කෑම වේල් සංඛ්‍යාව කපා හැරීමට පෙළඹී සිටින බව ද අනාවරණය කරන ලෝක ආහාර වැඩසටහන, ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන වැඩි පිරිසක් සිටින්නේ දකුණු පළාතේ බව ද හෙළි කරයි. ඒ වැඩසටහන කියන හැටියට විදුලිබල ඇමැති නියෝජනය කරන දකුණු පළාතේ සමස්ත ජනතාවගෙන් සියයට 48ක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙයි. එසේ පීඩා විඳින සමස්ත රටවැසියන් සංඛ්‍යාව ජනගහනයෙන් සියයට 76කි.
ජනතාවගේ ඒ පීඩනයට 2022 අගොස්තු මාසයේ දී විදුලිය ගාස්තු සියයට 75කින් ඉහළ නැංවීම ද හේතු වී තිබෙනු නිසැකය. යළිත් සියයට 60 සිට 65 අතර ගණනකින් ඉහළ නැංවීමට සැරසෙන්නේ මාස පහකට පෙර එසේ ඉහළ දැමූ විදුලි බිලය. ඇමැති කියන හැටියට දැන් රුපියල් 29.14ක් වන විදුලි ඒකකයක් රුපියල් 48.42ක් දක්වා ඉහළ නගියි. කෑම බීමත් නැතිව පීඩා විඳින රටවැසියන්ට එසේ විදුලි ගාස්තු ඉහළ නැංවීමෙන් සහනයක් සැලසෙයි ද?
ඇමැති කියන්නේ 2023 වසර සඳහා අවශ්‍ය විදුලිය නිපදවීමට රුපියල් කෝටි 27,800ක් වැය වන බවය. විදුලිය නිෂ්පාදනයට යන වියදම කෑම බීමත් නැතිව පීඩිතව සිටින ජනතාව මතම පැටවීම ආණ්ඩුකරණයක් නම් එසේ ආණ්ඩු කිරීමට නොහැක්කේ කාටදැයි නැගෙන්නේ සරල එහෙත් තර්කානුකූල ප්රශ්නයකි. ඒ ප්‍රශ්නයට ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුව දෙන පිළිතුර කුමක් ද?
ඉහළ මිලක් වැය වන්නේ ඩීසල්වලින් විදුලිය නිපදවීම සඳහාය. එසේ නම් කළ යුත්තේ ඩීසල්වලින් විදුලිය නිපදවීම ක්‍රමයෙන් අඩුකර සම්පූර්ණයෙන්ම නවතා දැමීමය. එසේ කරගැනීමට හැකි වුවහොත් ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි ගාස්තු වැඩි කිරීමට ද සිදු නොවෙයි. විදුලිය නිෂ්පාදනයට යන වැය බර ජනතාවට සේම ආණ්ඩුවට ද බරක් නොවිය යුතුය. 2023දී විදුලිය නිපදවීමට අවශ්‍ය ගල් අඟුරු සහ ඩීසල් ගෙන්වීමට රටින් පිටට යනු ඇතැයි අපේක්ෂිත මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1640කි.
ලංවිම මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ තම අවසාන දිගුකාලීන ජනන සැලැස්මේ සඳහන් වන්නේ 2023දී මෙගාවොට් 320ක් හදිසියේ මිලදී ගත යුතු බවය. එසේ හදිසියේ මිලදී ගැනීමට සිදුවන්නේ ඩීසල්වලින් නිපදවන විදුලියයි. ඒ සඳහා ගෙවීමට සිදුවන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 400ක් පමණ වනු ඇතැයි සඳහන්ය. එසේ වුවහොත් විදුලිය නිපදවීම සඳහාම 2023දී ඇමෙරිකන් ඩොලර් මිලියන 2040ක් (1640+400) රටින් පිටට යයි. එහෙයින් ආණ්ඩුව කළ යුත්තේ රටින් පිටට යන මේ මුදල අවම කර ගැනීමය. ඒ සඳහා කළ හැකි පිළියම් මොනවාද?
ඒ ඇතැම් පිළියම් සඳහා මුදල් වැය නොවෙයි. ආණ්ඩුව කළ යුත්තේ ප්‍රතිපත්ති තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමය. බලශක්ති විශේෂඥයන් ‘‘පවර් වීලින්’’ (Power Wheeling) නමින් හඳුන්වන්නේ එසේ ක්‍රියාත්මක කළ හැකි එක් ක්රමයකි. දැන් සියල්ල තීරණය කරන්නේ විදුලිබල මණ්ඩලයයි. ලංකාවේ නිපදවන සමස්ත විදුලියෙන් සියයට 35ක් පමණ නිවාසවලට ද, තවත් සියයට 10ක් පමණ රාජ්‍ය ආයතනවලට ද සැපයෙයි.
ඉතිරි සියයට 55ක් පමණම භාවිත කරන්නේ කර්මාන්ත සඳහාය. එහෙයින් ඒ කර්මාන්ත හිමියන්ට අවශ්‍ය විදුලිය ඔවුන් කැමති නිෂ්පාදකයකුගෙන් මිලදී ගත හැකි ක්‍රමයක් ඇති කළ යුතුය. බලාගාරයේ සිට කර්මාන්ත ශාලාවට විදුලිය සම්ප්‍රේෂණය කිරීමට භාවිත කළ යුතුව තිබෙන්නේ ලංවිම සතු ජාතික පද්ධතියයි. ප්‍රේෂණය සඳහා ජාතික පද්ධතිය පාව්චිචි කරනවාට මණ්ඩලයට ගාස්තුවක් ගෙවිය යුතුය.
‘‘පවර් වීලින්’’ නමින් හඳුන්වන ඒ ක්රමයේ දී මහා පරිමාණයෙන් විදුලිය පාව්චිචි කරන කම්හල් හිමියන් වැනි අය විදුලිය මිලදී ගන්නේ තමන්ට අවම මුදලකින් මිලදී ගත හැකි බලාගාර හිමියකුගෙනි. ඒ සඳහා ඔවුන් දෙදෙනා අතර ගිවිසුමක් ඇතිවෙයි. දැන් ලංකාවේ පවතින්නේ විදුලිබල මණ්ඩලයේ ඒකාධිකාරියකි.
මණ්ඩලය කියන ගණනට විදුලිය මිලදී ගත යුතුය. එහෙත් ‘‘පවර් වීලින්’’ ක්‍රමය යටතේ විදුලි නිෂ්පාදකයෝ රැසක් බිහිවෙති. ඔවුන් අතර තරගයක් ඇති වෙයි. ලංවිම යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ විය යුත්තේද ඒ තරගය ඇති කිරීමය. විදුලිය නිෂ්පාදකයන් අතර තරගයක් ඇති වූ විට පාරිභෝගිකයන්ට අඩු මුදලකට විදුලිය මිලදී ගත හැකි වෙයි. විදුලිය නිෂ්පාදකයාට ද වාසිය. නිෂ්පාදකයාට ලංවිම කොන්දේසිවලට යටත්වීමට සිදු නොවෙයි. එසේම ලංවිමට විදුලිය සපයා මුදල් ලබා ගැනීමට අවුරුදු ගණනක් බලා සිටීමටද නොවෙයි.
ලංවිමට විදුලිය සැපයූ පුනර්ජනනීය බලාගාර හිමියන්ට දැන් අවුරුද්දක් තිස්සේ මුදල් ගෙවා නැත. පවර් වීලින් ක්‍රමය යටතේ විදුලිය නිෂ්පාදකයන්ට එසේ නොවෙයි. ලංවිම මුදල් නොගෙවන නිසා දැන් පුනර්ජනනීය බලශක්ති බලාගාර සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ආයෝජකයන්ට බැංකුවලින් ණය ද නොදෙයි. එහෙත් පවර් වීලින් ක්‍රමය යටතේ තම විදුලිය මිලදී ගන්නා කම්හල හෝ හෝටලය සමග ඇති කර ගත් ගිවිසුම පෙන්වා ආයෝජකයන්ට බැංකුවලින් ණය ගත හැකිය.
පවර් වීලින් ක්‍රමය සඳහා සුදුසු වන්නේ සුළං, සූර්ය සහ ජල විදුලි වැනි පුනර්ජනනීය බලශක්ති බලාගාරය. එහෙත් ඒ බලාගාරයක් ඉදිකිරීමට දැන් රාජ්‍ය ආයතන 26කින් අනුමැතිය ගත යුතුය. ඒ අනුමැතිය ගැනීමට පමණක් අවුරුදු පහක් පමණ ගත වෙයි. එහෙයින් මේ ක්‍රමය අකා මකා දමා සති දෙක තුනකින් තනි ආයතනයකින් පමණක් පූර්ණ අනුමැතිය (Blanket Approval) දෙන ක්‍රමයක් ඇති කළ යුතුය. වර්තමාන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාව සිටි 2002 වසරේදී එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කළ බව අපට මතකය. ඒ 2002 අංක 02 දරන පනතිනි.
අද රටට අවශ්‍යව තිබෙන්නේ ඊටත් වඩා බලගතු පනතකි. සුළං, සූර්ය හා ජල විදුලිබලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය මුදල බැංකු ඇපකරයක් මගින් පෙන්වන පුද්ගලයන්ට පමණක් අනුමැතිය සමග ඉඩම් ලබාදිය යුතුය. ලබාදෙන නිශ්චිත කාලයේදී බලාගාරය ඉදි නොකළොත් බැංකු ඇපකරය රාජසන්තක කළ යුතුය. එසේ කළහොත් දැනට සිදුවන එල්.ඕ.අයි. (Letter of Intent) ලබා ගෙන ඒවා විකිණීමේ ජවාරම ද නවතා දැමිය හැකියි. දැන් බොහෝ දෙනෙක් කරන්නේ පුනර්ජනනීය බලාගාර ඉදිකිරීමට අවශ්‍ය බලපත්‍ර (L.O.I.) ලබාගෙන බලාගාර ඉදිනොකර ඒ බලපත්‍ර විකිණීමය. එය දැන් ප්‍රකට ජාවාරමකි.
ඉතා ඉක්මනින් එනම් උපරිම මාස හයකින් ඉදිකළ හැක්කේ හිරු එළියෙන් විදුලිය නිෂ්පාදනය කරන බලාගාරය. සූර්ය බලාගාර පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන හැටියට හිරු එළියෙන් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන්නේ රුපියල් 25 සිට 30 අතර මුදලකි. එසේම ලංකාව හිරු එළියෙන් අසීමිතව විදුලිය නිපදවිය හැකි රටකි.
එසේ තිබිය දී හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ ඒකකයක් රුපියල් 150ක් තරම් ඉහළ මිලකට ඩීසල් විදුලිය මිලදී ගැනීමට පිඹුරුපත් සැකසීමේ රහස කොමිස් කුට්ටි නොවේ දැයි ජනතා සිත්වල ප්‍රශ්න පැන නැගෙන්නේ නිරායාසයෙනි. එසේම සහේතුකවය. ඒ ප්‍රශ්නවලට ආණ්ඩු කරන අය දෙන පිළිතුරු මොනවාද? අඩු පිරිවැයකින් හා කෙටි කලෙකින් හිරු එළියෙන් විදුලිය නිපදවා ගැනීමට හැකියාව තිබියදී වහ වහා ඊට අවශ්‍ය ප්‍රතිපත්ති සහ සැලසුම් සම්පාදනය කර ක්‍රියාත්මක නොකර ‘‘හදිසි ඩීසල් විදුලිය’’ මිලදී ගැනීමට කෙළ හලන්නේ ඇයි ?
ලංකාවේ ආණ්ඩු කරන අය ‘‘ඉමර්ජන්සි පවර් සප්ලයි’’ කියමින් ගිනි ගණනට ඩීසල් විදුලිය මිල දී ගැනීමට ප්‍රතිපත්ති හා සැලසුම් සකසා ඒවා ක්‍රියාත්මක කළත්, අප ද අයත් ආසියාවේ අනෙක් රටවල් යන්නේ හිරු එළියෙන් විදුලිය නිපදවීමටය. න්‍යෂ්ටික බලශක්තියෙන් පොහොසත් ජපානය තීරණය කර තිබෙන්නේ වසර 2030 වන විට එරට සියලු නිවාසවල වහලවල් මත හිරු එළියෙන් විදුලිය නිපදවන සූර්ය කෝෂ පැනල තිබිය යුතු බවටය. එහෙත් තෝකියෝ නගර සභාව කියන්නේ තමන් 2030 වනතුරු බලා නොසිට 2024 අවසන් වීමට පෙර ඒ ඉලක්කය වෙත යන බවය. ඉන්දුනීසියාව තවත් උදාහරණයකි.
අවසන් ජී-20 සමුළුව පැවැත් වූයේ ඉන්දුනීසියාවේය. ඒ 2022 නොවැම්බර් 15 සහ 16 දිනවල ඉන්දුනීසියාවේ බාලි දූපතේදීය. ජී -20 සමුළුවේ සත්කාරක රට ලෙස ලෝකයට පණිවිඩයක් දීමට ඉන්දුනීසියාවට අවශ්‍ය වෙයි. ඉන්දුනීසියාව ලෝකයේ හොඳම ගල් අඟුරු නිපදවන හා භාවිත කරන රටකි. ලොව හොඳම ගල් අඟුරු තිබෙන අනෙක් රටවල් දෙක වන්නේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාවයි. ජී-20 සමුළුව අවසානයේ දී ඉන්දුනීසියාව අනාවරණය කළේ, දැනට සියයට 10ක් පමණ වන තම රටේ පුනර්ජනනීය බලශක්ති 2030 වන විට සියයට 34ක් දක්වා වර්ධනය කිරීමට තම රට තීරණය කර ඊට අවශ්‍ය ක්‍රමවේ ද දැනටත් හදා හමාර බවය. එසේම ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 20 ක් ආයෝජනය කරන බවය. ලොව හොඳම ගල් අඟුරු නිපදවන හා භාවිත කරන රටක් පුනර්ජනනීය බලශක්ති කරා යන්නේ එලෙසය.
තායිලන්තය තවත් උදාහරණයකි. එරට විදුලි ජනන අධිකාරිය සවුදි අරාබියේ ඇක්වා පවර් (Acwa Power) සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කර තිබෙන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක ආයෝජනයකින් ග්‍රීන් හයිඩ්රජන් නිපදවීමටය. ඒ ග්‍රීන් හයිඩ්රජන් නිපදවීමට අවශ්‍ය විදුලි බලය ගන්නට යන්නේ සුළං බලාගාරවලිනි. ඉදිරි අවුරුදු පහේදි ග්‍රීන් හයිඩ්රජන්වලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක් ඇතිවන බව බලශක්ති විශේෂඥයන්ගේ පුරෝකතනයයි.
දියරමය ස්වභාවික ගෑස් (Liquefied Natural Gas – LNG) බලාගාරවලට ස්වභාවික ගෑස් වෙනුවට හයිඩ්රජන් මිශ්‍ර කළ හැකි බව බලශක්ති විශේෂඥයන්ගේ මතයයි. අනාගතයේදී නිෂ්පාදනය වන විශාල ට්‍රක් ධාවනය කෙරෙන්නේද හයිඩ්රජන්වලිනි. ඇක්වා පවර් ගිවිසුම මත තායිලන්තය අවුරුද්දකට හයිඩ්රජන් ටොන් 225,000 ක් නිපදවීමට නියමිතය. ඒ 2050 දී කාබන් වලින් තොර ලෝකයකට යාම සඳහාය.
සිංගප්පූරුව තම රටට අවශ්‍ය විදුලියෙන් සියයට 85 ක් නිපදවන්නේ දියරමය ස්වභාවික ගෑස් (LNG) වලිනි. එරට දැන් සැලසුම් කරගෙන යන්නේ ස්වභාවික ගෑස් වලින් තොරව ග්‍රීන් හයිඩ්රජන් වලින් විදුලිය නිපදවීම සඳහාය. එහෙත් සිංගප්පූරුව ඇතුළේ ග්‍රීන් හයිඩ්රජන් නැත. තායිලන්තය ග්‍රීන් හයිඩ්රජන් නිපදවීමට සැරසෙන්නේ සිංගප්පූරු වෙළෙඳපොළ දෙස බලාගෙනය.
බලශක්ති විශේෂඥයන්ගේ තක්සේරුව අනුව ලංකාව ද ග්‍රීන් හයිඩ්රජන් නිපදවීමට හොඳ රටකි. මන්නාරමේ සුළං බලාගාර ඉදිකිරීමට ආයෝජනය කරන ඉන්දීය ව්‍යාපාරික අදානිගේ අරමුණු අතර ග්‍රීන් හයිඩ්රජන් නිෂ්පාදනය කිරීමේ බලාපොරොත්තුවක්ද තිබෙන බව අපේ බලශක්ති විශේෂඥයන්ගේ අනාවරණයයි. ඒ සඳහා අදානි දැනටත් සිංගප්පූරුව සමග සාකච්ඡා කරගෙන යන බවද ඒ බලශක්ති විශේෂඥයෝ හෙළිකරති.
ආසියාවේම අපේ අසල්වැසි රටවල් එවැනි ගමනක් යද්දි කෑම බීමත් නැතිව නහය ළඟටම ගිලී සිටින ලංකාව ‘‘ඉමර්ජන්සි ඩීසල් පවර්’’ සරණ යමින් ඒ බර පරිපීඩිතව සිටින ජනතාව මතම පැටවීමට සැරසෙයි. එහි රහස නොදන්නෝ කවරහු ද?
(ගුණසිංහ හේරත්)