නවතම පුවත්

යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස

අසංක

අසංක

මෙම වසරේ ජූලි 15 වනදා වන විට මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 1, 095, 675 ක් වූ බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

එම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බව ද හෙතෙම පෙන්වා දේ.

මෙරට සංචාරක ව්‍යාපාරය පාස්කු ප්‍රහාරය, කොවිඩ්19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ බිඳ වැටුණු නමුත් සංචාරක අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන එක්ව දියත් කළ විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මෙසේද පැවසීය.

“මීට වසර දෙකකට පෙර මෙරට සංචාරක ව්‍යාපාරය පැවතියේ සතුටුදායක තත්ත්වයක නොවෙයි. විශේෂයෙන් පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමට ලක් වුණා. නමුත් සංචාරක අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන එක්ව දියත් කළ වැඩපිළිවෙල තුළින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.

ඒ අනුව 2022 වසරේ දී 719,978 ක් සහ 2023 වසරේ 1 487,303 ක් ලෙස විදෙස් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා. 2024 ජූලි 15 වෙනිදා වන විට මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1, 095, 675 ක් වනවා. ඒ අනුව මේ වසර අවසානය වන විට පසුගිය වසර දෙකට සාපේක්ෂව වැඩි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් මෙරට සංචාරය කරනු ඇති බවට පුරෝකතනය කළ හැකියි. යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමයට ළඟා වූයේ 2018 වසරේදීයි. එම වසරේදී 2,333,796 දෙනෙකු මෙරට සංචාරය කළා. එම වසරේ සංචාරක ව්‍යාපාරයේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4 ක් ලෙස වාර්තා වුණා. මේ වන විට රටේ පවතින තත්ත්වය අඛණ්ඩව පැවතුන හොත් 2024 වසර අවසන් වන විට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාවත්, ඒහරහා ලබන ආදායමත් අනිවාර්යයෙන් 2018 ප්‍රමාණයට වඩා වැඩි කර ගත හැකියි.”

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එච්.ජී.ජයසේකර මහතා,

“2022 හා 2023 වසර තුළ උද්භිද උද්‍යාන නැරඹීම සඳහා පැමිණි මුළු දේශිය සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙලින් 1,773,048 ක් හා 1,925,129 ක් වනවා. ඒ අතරින් විදේශිය සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙලින් 103,322 ක් සහ 227,729 ක් වෙනවා. එය ඊට පෙර වර්ෂය සමඟ සංසන්දනයේ දී දේශිය සංචාරකයින් ගේ පැමිණීම පිළිවෙලින් 2022 වර්ෂයේ දී 148% කින් ද 2023 වර්ෂයේ දී 9% කින් ද වැඩීවීමක් බව කිව යුතුයි. විදේශිය සංචාරකයන්ගේ පැමිණීම 2022 වර්ෂයේ දී 461% කින් ද 2023 වර්ෂයේ දී 120% කින් ද වැඩිවී තිබෙනවා.

2024 වසර ජුනි මස තෙක් උද්භිද උද්‍යාන නැරඹීම සදහා පැමිණි මුළු දේශිය සංචාරකයන් සංඛ්‍යාව 965,468 ක් සහ විදේශිය සංචාරකයන් සංඛ්‍යාව 183,674 ක් වනවා. එය පසුගිය වර්ෂයේ ජුනි මස තෙක් විදේශිය සංචාරකයන්ගේ පැමිණීම සමඟ සන්සංදනය කිරීමේ දී එය 96% කින් වැඩිවී තිබෙන බව කිව හැකියි.

ඒ අනුව 2022 වසරේ දී ආදායම රුපියල් මිලියන 420.02ක් සහ 2023 වසරේදී ආදායම රුපියල් මිලියන 901.1ක් ලෙස වාර්තා වෙනවා. 2024 වසරේ ජූනි මස වන තෙක් පමණක් රුපියල් මිලියන 735.56ක ආදායමක් වාර්තා වෙනවා. එය පසුගිය වසරවල සමාන කාලපරාසය හා සන්සංදනයේ දී 2022 දී 184% කින්ද 2023 දී 115% කින් ද ඉහළ ගොස් ඇති 2024 දී 133% කින් ද ඉහළ ගොස් තිබෙනවා.”

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.යූ.රත්නායක මහතා,

“ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරය දෙස අවධානය යොමු කිරිමේදී විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 2018 වසරේදී 2,333,796 ක් ලෙස වාර්තා වුණා. ඒ වගේම 2023 වසරේ සිට විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.

ඒ අනුව 2023 වසර වන විට සංචාරක පැමිණීම 1,487,303 දක්වා වර්ධනය වූ අතර එය 2024 ජූලි15 වනදා වන විට 1,095,675 ක් ලෙස කැපී පෙනෙන ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනවා. 2024 වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා සංචාරක ව්‍යාපාරයෙන් උපයා ඇති සම්පූර්ණ ආදායම ඩොලර් මිලියන 1556.64ක් පමණ වන බවද සඳහන් කළ යුතුයි.

සංචාරක සංවර්ධන අධිකාරිය මහා පරිමාණ සංචාරක නිකේතන සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම තුළින් තිරසාර බව කෙරෙහි අවධානය යොමු කරමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටිනවා. වර්තමානය වන විට අයෝජකයින් සඳහා සූදානම් කර තිබෙන ව්‍යාපෘති ලෙස කුච්චවේලි, කල්පිටිය, දෙද්දුව පෙන්වා දිය හැකියි. ආයෝජකයින් සඳහා ඉදිරියේදී විවෘත කිරීමට සැලසුම් කරන ව්‍යාපෘති අතර කුච්චවේලි, කල්පිටිය හා යාල ඇතුළත් වෙනවා.

2024 වසර වන විට සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන ආයතන ලෙස සංචාරක නවාතැන් 4,534 ක්, සංචාරක මාර්ගෝපදේශකයින් 4,923 ක් හා අනෙකුත් සංචාරක සේවා සපයන්නන් 2,756 වශයෙන් මුළු සේවා සපයන්නන් 12,213 ක් ලියාපදිංචි ව සිටිනවා. මීට අමතරව ලියාපදිංචිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් හා ජංගම වැඩසටහන් පාසිකුඩා සහ මඩකළපුව, කිතුල්ගල, කතරගම, මීමුරේ, ඇල්ල, පින්නවල, ගාල්ල ආදී ප්‍රදේශ තුළ ක්‍රියාත්මක වුණා.

බණ්ඩාරවෙල, කතරගම, අනුරාධපුර, නුවරඑළිය ප්‍රදේශ තුළ දේශිය සංචාරකයින් සඳහා ජාතික නිවාඩු නිකේතන ක්‍රියාත්මක වන අතර පසුගිය දෙවසර තුළ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති වශයෙන් අලුත්නුවර, මදුනාගල, දුන්හිඳ, රජනාව ඇල්ල, සඳතැන්න කෘෂි ව්‍යාපෘතිය, ගැටබරුව සංචාරක මධ්‍යස්ථානය, ගල්කිස්ස සංචාරක පොලිස් ඒකකය සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය ආදි ව්‍යාපෘති පෙන්වා දිය හැකියි.

2024 ජූනි මාසය වනවිට සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් ආයෝජන ව්‍යාපෘති ගණන 16 ක් වන අතර එහි අනුමත කාමර 224 ක් වනවා. එහි සමස්ත ආයෝජනය ඩොලර් මිලියන 25.39 ක් පමණ වනවා. ඉදිරි නව සැලසුම් ලෙස සමුද්‍ර සංචාරක මාර්ග සිතියමක් සංවර්ධනය කිරීම, සංචාරක සංවර්ධන ප්‍රදේශ ගැසට් කිරීම, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සමඟ ප්‍රධාන කලාප සැලසුම් නිර්මාණය කිරීම, වගේම බලශක්ති අර්බුදය විසඳීමට සහාය වෙමින් මයික්‍රොග්‍රිඩ් සූර්ය බලශක්ති වැඩසටහන ආදිය ඇතුලත් වෙනවා.”

tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!
image-9
හොඳ රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද
image-8
පාරවල් හැදීම ආර්ථික වර්ධනයට ඉතා වැදගත්..- ජනපති
image-7
දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් අරගෙන!
IMAGE-1
Ceylon Energy හාHJT China එක් වී SESRIPව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි
image-5
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICC Sri Lanka ) තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !