සටන් විරාමය උල්ලංඝනය වේ, ගැටුම් යලි ඇවිලෙන ලකුණු!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දින කිහිපයක් තිස්සේ දේශසීමාවල හමුදා ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සටන් විරාමයකට එකඟ වූ බව ඉන්දියාව හා පකිස්ථානය ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු සටන් විරාමය “උල්ලංඝණය” කළ බවට එකිනෙකාට චෝදනා එල්ල කර තිබේ.

“අපි ඇති කර ගත්ත අවබෝධය දිගින් දිගට ම උල්ලංඝණය වුණා,” ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පිපිරීම් ශබ්ද ඇසීමෙන් පසු, ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පැවසුවේ ය.

ඉන් සුළු වේලාවකට පසුව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, “ඇතැම් ප්‍රදේශවල ඉන්දියාවේ [සටන් විරාම] උල්ලංඝණය කිරීම් නොතකා … සටන් විරාමය විශ්වසනීය ලෙස ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින,” බව ය.

පසුගිය දින හතර තුළ ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති වූ සටන්, දශක ගණනාවකට පසු දෙරට අතර ඇති වූ දරුණුතම මිලිටරි ගැටුම වේ.

පසුගිය මාසයේ පෙහෙල්ගාම්හි සිදුවූ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ විට ඩ්‍රෝන යානා, මිසයිල සහ කාලතුවක්කු භාවිතය ආරම්භ විය. පෙහෙල්ගාම් ප්‍රහාරයට තමන් කිසි ම ආකාරයේ සම්බන්ධතාවක් නොමැති බව පවසමින් පකිස්ථානය චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.

දේශසීමාවල ගැටුම්වලින් දින 4කට පසුව, ඔවුන් පූර්ණ සහ ක්ෂණික සටන් විරාමයකට එළැඹුණු බවට ඉන්දියාව සහ පකිස්ථානය නිවේදනය කළේ ය.

සෙනසුරාදා උදෑසන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම පුවත ඔහුගේ Truth සමාජ මාධ්‍ය වේදිකාවේ සටහන් කර තිබිණි. එහි මැදිහත්කරුවා එක්සත් ඇමෙරිකා එක්සත් ජනපදය බවට ඔහු ප්‍රකාශ කළේ ය.

පසුව පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් රටවල් දෙක සටන් විරාම ගිවිසුමට එළැඹ ඇති බව තහවුරු කළ අතර, “රටවල් දුසිම් තුනක්” එහි රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට සම්බන්ධ වූ බව පැවසීය.

නමුත් නිවේදනයෙන් පැය කිහිපයකට පසු, ඉන්දියාවේ පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රධාන නගර වන ශ්‍රී නගර් සහ ජම්මුහි ජීවත් වන පුද්ගලයින් සහ බීබීසී වාර්තාකරුවන් විසින් වාර්තා කළේ පිපිරීම් ශබ්ද ඇසුණු බවත් අහසේ දැල්වීම් දුටු බවත් ය.

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මෙලෙස පැවසීය: “පහුගිය පැය කිහිපය ඇතුළේ අද හවස අපි එකඟ වුණු අවබෝධය දිගින් දිගට ම උල්ලංඝණය කරලා.”

“මේක අපි අද කලින් ඇති කර ගත්ත අවබෝධය උල්ලංඝණය කිරීමක්.”

ඉන්දියාවේ සන්නද්ධ හමුදා මේ සම්බන්ධයෙන් “සුදුසු ප්‍රතිචාරයක් ලබා දෙනු ඇති” බව මිස්රි පැවසූ අතර, “මේ සටන් විරාමය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස පකිස්ථානයෙන් ඉල්ලා සිටිනවා,” යනුවෙන් පවසමින් ඔහු මාධ්‍ය හමුව අවසන් කළේ ය.

එයට ප්‍රතිචාර වශයෙන් පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු මෙසේ පැවසීය: “අද දවසේදී කලින් ප්‍රකාශයට පත් කරපු පකිස්ථානය සහ ඉන්දියාව අතර සටන් විරාමය විශ්වාසවන්තව ක්‍රියාත්මක කිරීමට පකිස්ථානය කැපවෙලා ඉන්නවා.”

“සමහර ප්‍රදේශවල ඉන්දියාවෙන් [සටන් විරාම] උල්ලංඝණය කිරීම් කළත් ඒවා නොසලකා, අපගේ හමුදා වගකීමෙන් හා සංයමයෙන් යුතුව තත්ත්වය හසුරුවනවා.”

“සටන් විරාමය සුමට විදිහට ක්‍රියාත්මක කරන්න යද්දී ඇති වන ඕනෑ ම ගැටලුවක් සුදුසු මට්ටම්වල සන්නිවේදනයක් හරහා විසඳ ගන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා.”

“භූමියේ ඉන්න භට පිරිස්වල අයත් සංයමයෙන් කටයුතු කරන්න ඕනේ.”

කාශ්මීරය සම්පූර්ණයෙන් ම තමන්ට අයත් බවට ඉන්දියාව සහ පකිස්ථානය ප්‍රකාශ කළ ද, 1947 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එම රටවල් බෙදී ගිය දින සිට එක් එක් රාජ්‍යයන්ට කාශ්මීරයේ බලය හිමි ව ඇත්තේ අර්ධ වශයෙනි.

එය මෙම න්‍යෂ්ටික අවි හිමි රටවල් දෙක අතර ගැටුම්කාරී ප්‍රදේශයක් බවට පත්ව ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් යුද්ධ දෙකකට මැදි වී තිබේ.

සටන් විරාමය තහවුරු කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පැවසුවේ, දෙරට අතර “වෙඩි තැබීම් නැවැත්වීම සහ හමුදා ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන,” තිබෙන බව ය.

“ත්‍රස්තවාදයේ සියලු ම ආකාරවලට එහි ප්‍රකාශනයන්ට එරෙහිව ඉන්දියාව ස්ථිර සහ කිසිදු බුරුලක් නොදක්වන ස්ථාවරයක් අඛණ්ඩව පවත්වාගෙන ගොස් තියෙනවා. එක ඉදිරියටත් සිද්ධ වෙනවා,” ඔහු තවදුරටත් පැවසීය.

පසුව ජාතිය අමතමින් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් පැවසුවේ, “සියලු දෙනාගේ ම ප්‍රයෝජනය සඳහා” සටන් විරාමයකට එළැඹ ඇති බව ය.

සටන් විරාම නිවේදනයෙන් පසුව අදහස් දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවේ, මධ්‍යස්ථ ස්ථානයක සිට පුළුල් පරාසයක කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට ඉන්දියාව සහ පකිස්ථානය එකඟ වී ඇති බව ය.

තමා සහ ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, දෙරටේ අගමැතිවරුන් වන නරේන්ද්‍ර මෝදි සහ ෂෙබාස් ෂරීෆ් ඇතුළු ජ්‍යෙෂ්ඨ ඉන්දීය සහ පකිස්ථාන නිලධාරීන් සමග පැය 48ක් ගෙවූ බව ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ, “ගැටුම සමනය කරන්න ගන්නා හැම උත්සහයක් ම” තමන් සාදරයෙන් පිළිගන්නා බව ය.

බ්‍රිතාන්‍යය “දින කිහිපයක් තිස්සේ” සාකච්ඡාවල “නියැලී සිටින” අතර, විදේශ ලේකම් ඩේවිඩ් ලැමී දෙපාර්ශ්වයට ම කතා කළ බව එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමර් පැවසුවේ ය.

“අද සටන් විරාමයක් දකින්න ලැබීම ගැන මම සතුටු වෙනවා,” කියර් පැවසීය. “දැන් කරන්න තියෙන්නේ ඒක දිගට ම සහ කාලයක් පවතින බවට සහතික කරන එක.” සංචාරක ගමනාන්තයක් වන පෙහෙල්ගාම්හි සංචාරකයින් 26 දෙනෙකු ඝාතනය කිරීමෙන් සති දෙකක අවිනිශ්චිතතාවකින් පසුව මෑත කාලීන සටන් ආරම්භ විය.

ඉන්දියානුවන් 25 දෙනෙකු සහ එක් නේපාල ජාතිකයෙකු ඝාතනය කරමින් අප්‍රේල් 22 වන දින ඉන්දියාව විසින් පාලනය කරන කාශ්මීරයේ සිදුවූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය පැවසුවේ, සටන්කාමීන් හින්දු පිරිමින් ඉලක්ක කළ බව ය.

මේ සතියේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ප්‍රහාරයට වගකිව යුතු අය “වගවිය යුතු” බවට පත් කිරීම මෙම “කැපවීමේ” කොටසක් බව ය. පකිස්ථානය ඒවා විස්තර කළේ “කුපිත නොවන දේවල්” ලෙස ය.

බදාදා සිට ඉන්දීය ගුවන් ප්‍රහාර සහ දේශසීමාවල වෙඩි තැබීම් හේතුවෙන් පකිස්ථානයේ සහ පකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් ඇති බව පකිස්ථානය ප්‍රකාශ කළ අතර, පකිස්ථාන ෂෙල් වෙඩි ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 21 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය හමුදාව වාර්තා කළේ ය.

සිකුරාදා රාත්‍රියේ සටන් උත්සන්න වූ අතර, දෙරට ගුවන් කඳවුරු සහ අනෙකුත් හමුදාවට සම්බන්ධ ස්ථාන ඉලක්ක කර පහර දුන් බවට එකිනෙකාට චෝදනා කර ගත් හ.

ඉන්දියාව විසින් පාකිස්තානයට ත්‍රස්තවාදයට රුකුල් දීමේ චෝදනා එල්ල කරමින්, ආර්ථික හා මිලිටරි පියවර ගැනීමට සූදානම් වන බවට නිතර වාර්තා වේ. ඒ කෙසේ වෙතත් පාකිස්තානය මේ ප්‍රහාරය සමඟ ඔවුන්ට කිසිදු සම්බන්ධයක් නැති බවටත් ප්‍රකාශ කර ඇත.

ඉන්දු – පාකිස්තාන ගැටුම හා එය බලපාන අන්දම පිළිබඳ විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණ.

ඉකුත්දා කාශ්මීරයේ පෙහෙළිගම් ප්‍රදේශයේදී වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයෝ 26 දෙනෙකු මරුමුවට පත් වූහ. ඒ සමඟ ඉන්දියාව හා පාකිස්තානය අතර කලක් තිස්සේ පැවතෙන ගැටුම්, මතභේද නැවත උත්සන්න වී තිබේ. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් “කාශ්මීර විරෝධතා පෙරමුණ” (Kashmiri Resistance Front) නමැති සංවිධානය වගකීම දරන බවටත් ප්‍රකාශ කර ඇත. එසේම, ඉන්දීය රජය විසින් මෙය පාකිස්තාන රජයේ අනුදැනුම සහිතව සිදු කරන ලද ප්‍රහාරයක් ලෙසටත් හඳුන්වාදී තිබේ.

ඒ අනුව මේ ප්‍රහාරයෙන් පසු දෙරට අතර සබඳතා දැඩි ලෙස පිරිහී ඇත. ඉන්දීය රජය විසින් පාකිස්තානයට එරෙහිව දැඩි ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරමින් සිටියි. ඒ ඔස්සේ මේ ප්‍රහාරයත් සමඟ දකුණු ආසියානු කලාපයේ ආරක්ෂක තත්ත්වය යළිත් වරක් අවදානම්සහගත මට්ටමකට පත්ව තිබේ. සැබැවින්ම, ඉන්දියා-පාකිස්තාන ගැටුමේ මූලය වන කාශ්මීර ප්‍රශ්නය තේරුම් ගැනීමට නම්, එහි ඓතිහාසික පසුබිම අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. වර්ෂ 1947දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමත් සමඟ, ඉන්දියාව හා පාකිස්තානය වෙන් වෙන් රාජ්‍යයන් විය. එවකට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ තිබූ ප්‍රාන්ත දෙවර්ගයකි. එතෙක් ඍජුව බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව තිබූ ප්‍රාන්ත සහ මහරාජාවරුන්ගේ පාලනය යටතේ පැවති ප්‍රාන්ත වශයෙන් ඒවා හඳුනාගත හැකි විය.

ජම්මු කාශ්මීරය

මේ කියන ගැටලුසහගත, ජම්මු කාශ්මීරය යනු මෙවැනි මහරාජවරයකුගේ පාලනය යටතේ පැවති ප්‍රාන්තයකි. ඉන්දියාව හා පාකිස්තානය බෙදා වෙන් කිරීමේදී, මොහොමඩ් අලි ජින්නා සහ නේරු මහත්වරුන් එකඟ වූයේ හින්දු බහුතරයක් සිටින ප්‍රාන්ත ඉන්දියාවට ද මුස්ලිම් බහුතරයක් සිටින ප්‍රාන්ත පාකිස්තානයට ද අයත් විය යුතු බවටය. ජම්මු කාශ්මීරයේ සංකීර්ණතාව වූයේ එහි ජනගහනයෙන් බහුතරය මුස්ලිම්වරුන් වුවද එහි පාලකයා (මහරාජා හරි සිං) හින්දු ජාතිකයෙකු වීමය. ඒ අනුව මුලදී, මහරාජා තීරණය කළේ ස්වාධීනව සිටීමටයි. ඒ කෙසේ වෙතත්, පාකිස්තානයේ අනුග්‍රහය යටතේ ප්‍රදේශය තුළ කැරලි කෝලාහල පැතිරෙන්නට විය. එවිට මහරාජා ඉන්දීය හමුදාවේ සහාය ඉල්ලා සිටියේය. ඉන්දියාව එම සහාය සැපයූයේ කාශ්මීරය ඉන්දියාවට ඒකාබද්ධ වීමේ කොන්දේසිය මතය. මෙයින් පසු, ජම්මු කාශ්මීරය ඉන්දියාවේ කොටසක් ලෙස නිල වශයෙන් පිළිගැනුණි. තවද, ඉන්දියාවේ තිබූ එකම මුස්ලිම් බහුතර ප්‍රාන්තය ද මෙය විය. ඒ කෙසේවෙතත් අදටත් පාකිස්තානය තවමත් කාශ්මීරය ස්වාධීන රාජ්‍යයක් විය යුතු බවට හෝ එසේත් නැතිනම් එය පාකිස්තානයේ කොටසක් විය යුතු බවටත් තර්ක කරයි.

තවද, ඉන්දියාව හා පාකිස්තානය අතර 1947 හා 1965 වර්ෂවල ප්‍රධාන යුද්ධ දෙකක් ඇතිවීමට මේ කාශ්මීර ගැටලුව ප්‍රධාන හේතු විය. මීට අමතරව, පාකිස්තානයේ ආධාර ලබන කාශ්මීර බෙදුම්වාදී කණ්ඩායම් විසින් ඉන්දියාව තුළ විවිධ ත්‍රස්තවාදී ක්‍රියා ද සිදු කර ඇත. ඒ අනුව 1999 වසරේදී විශාල ප්‍රහාරයක් එල්ල වූ අතර, එම අවස්ථාවේදී ඉන්දියාව හා පාකිස්තානය යුද්ධයකට පටලැවීමේ ආසන්නම අවස්ථාවට පැමිණියහ. ඉක්බිතිව, 2015 වසරේ මුම්බායි නගරයේ සිදු වූ බෝම්බ පිපිරීම්වල වගකීම කාශ්මීරයේ ක්‍රියාත්මක බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත පැවරීමත් මෙහි තීරණාත්මක කඩඉමකි.

එසේම, පාකිස්තානයේ දැක්මෙන් බලන විට, වර්ෂ 1947 නිදහස ලැබීමේදී යොදා ගත් නිර්ණායක අනුව, කාශ්මීරය පකිස්තානයට අයත් විය යුතු රාජ්‍යයක් ලෙස සැලකේ. ඔවුන්ගේ තර්කය වන්නේ ඉන්දියාව යම් ආකාරයක බලහත්කාරයන් යොදාගෙන මේ ප්‍රාන්තය අත්පත් කරගත් බවය.

එම යටගියාවන් අලුත් කරමින් මේ වන විටත් ඉකුත්දා කාශ්මීරයේදී වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඉන්දු – පාකිස්තාන සබඳතා අවුලට පත්වීම නැවත වරක් උග්‍ර වී තිබේ. මෙහිදී ඉන්දියාව විසින් පාකිස්තානයට ත්‍රස්තවාදයට රුකුල් දීමේ චෝදනා එල්ල කරමින්, ආර්ථික හා මිලිටරි පියවර ගැනීමට සූදානම් වන බවටත් නිතර වාර්තා වේ. ඒ කෙසේ වෙතත් පාකිස්තානය මේ ප්‍රහාරය සමඟ ඔවුන්ට කිසිදු සම්බන්ධයක් නැති බවටත් ප්‍රකාශ කර ඇත. ඉන්දියාව “අසත්‍ය චෝදනා” එල්ල කරමින් ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යවන බවටත් තවදුරටත් පාකිස්තානය චෝදනා කරයි.

මෙරටට බලපෑම

ඉන්දු – පාකිස්තාන ගැටුම ශ්‍රී ලංකාවට කෙරෙන බලපෑම බහුවිධය. විශේෂයෙන්ම මේ ගැටුම ඉදිරියට වර්ධනය වුවහොත්, දකුණු ආසියානු කලාපයේ ආර්ථික හා ආරක්ෂක තත්ත්වයට සැලකිය යුතු බලපෑමක් එල්ල විය හැකිය.

ආර්ථික බලපෑම ලෙස දකුණු ආසියාතික කලාපය ගත් කල, සාගරික ගමනාගමනය සම්බන්ධයෙන් අතිශය සංවේදී කලාපයකි. මේ කලාපයේ යුද්ධයක් හෝ සැලකිය යුතු ආරක්ෂක අර්බුදයක් ඇතිවුවහොත්, කොළඹ වරාය හා ත්‍රිකුණාමලය වරාය වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන්ට පැමිණෙන නැව් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු විය හැකිය.

මෙය රටේ විදේශ වෙළෙඳාමට ඍජුව බලපානු ඇත. වෙළඳ හා නාවික ගමනාගමනයට බාධා ඇතිවීම මඟින් ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන කටයුතුවලට බලපෑම් ඇති කරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ විශාල වශයෙන් ද්විපාර්ශ්වික වෙ‍ළෙඳ සබඳතා පවත්වන හෙයින්, මේ අර්බුදය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති කරනු ඇත. තවද, කලාපීය ආරක්ෂක පරිසරයට විය හැකි බලපෑම ගතහොත්, ඉන්දියාව හා පාකිස්තානය යනු න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකි. මේ රටවල් අතර අර්බුදය තවදුරටත් උත්සන්න වුවහොත්, මුළු දකුණු ආසියාතික කලාපයේම ආරක්ෂක තත්ත්වය අවදානමට ලක්විය හැකිය.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ අසල්වැසියෙකි. එහෙයින්, මේ රටවල් අතර උග්‍ර වන ආරක්ෂක ගැටුම් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ද බලපෑම් කළ හැකිය.

විශේෂයෙන්ම ඉන්දීය සාගරය ආශ්‍රිතව සිදුවන ගැටුම් මඟින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවන් ආශ්‍රිත ආරක්ෂාවට බලපෑම් ඇති විය හැකිය. ඊට අමතරව, මේ රටවල් අතර ගැටුම් උත්සන්න වීම ජාත්‍යන්තර ආරක්ෂක හමුදා මැදිහත්වීම් ද ආකර්ෂණය කර ගත හැකි අතර, යම්හෙයකින් එය එසේ වුවහොත්, මුළු කලාපයම ආරක්ෂක අස්ථාවරත්වයකට මුහුණ දෙනු ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාව ඉන්දියාව හා පාකිස්තානය යන රටවල් දෙකම සමඟ සමීප සබඳතා පවත්වයි. මේ රටවල් අතර ගැටුම තවදුරටත් උග්‍ර වුවහොත්, ශ්‍රී ලංකාවට මැද තැබූ ස්ථාවරයක් ගැනීමට සිදුවේ. මෙය රටේ විදේශ ප්‍රතිපත්ති සඳහා සැලකිය යුතු අභියෝගයක් විය හැකිය.

කලාපීය සහයෝගීතාව

තවද, මේ ගැටුම හේතුවෙන් කලාපීය සහයෝගීතා ආයතන වන සාර්ක් (SAARC) වැනි සංවිධානවල ක්‍රියාකාරිත්වයට ද බලපෑම් ඇති කරනු ඇත. ශ්‍රී ලංකාව මේ සංවිධානවල සක්‍රිය සාමාජිකයෙකු හෙයින්, කලාපීය සහයෝගීතාවයේ පසුබෑම රටට නොයෙකුත් ආකාරයෙන් බලපෑම් ඇති කරනු ඇත. තවද, ඉන්දියාව හා පාකිස්තානය අතර ගැටුම්කාරී තත්ත්වයක් පැවතීම දකුණු ආසියාතික කලාපයට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව අඩු වීමට හේතුවිය හැකිය. එසේම, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා ඉන්දියාව ප්‍රධාන සංචාරක මූලාශ්‍රයක් වන හෙයින්, මේ ගැටුම සංචාරක කර්මාන්තයට ද බලපෑම් කරනු ඇත.

විශේෂයෙන්ම බොහෝ ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවේ රැකියා සඳහා සංක්‍රමණය වන අතර, ඉන්දියාවේ ආර්ථික හා ආරක්ෂක තත්ත්වය අස්ථාවර වුවහොත්, මේ සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ රැකියා අවස්ථාවන්ට හා ආරක්ෂාවට බලපෑම් ඇති විය හැකිය. ඒ අනුවද, ඉන්දු පාකිස්තාන ගැටුම ශ්‍රී ලංකාවේ දේශපාලන පරිසරයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ හා නායකයන් අතර ඉන්දියාව හෝ පාකිස්තානය සමඟ සමීප සබඳතා පැවැත්වීම පිළිබඳ විවිධ මතවාද පවතී. ඉන්දු පාකිස්තාන ගැටුම උග්‍ර වන අවස්ථාවලදී, මෙම ධ්‍රැවීකරණය තවදුරටත් ප්‍රබල විය හැකිය. ඇතැම් දේශපාලන කණ්ඩායම් ඉන්දියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට වැඩි කැමැත්තක් පෙන්වීමත් ඇතැමුන් පාකිස්තානය සහ චීනය වැනි රටවල් සමඟ සබඳතා ශක්තිමත් කිරීමට උත්සාහ කරනු දක්නට පුළුවන. ඒ කෙසේවෙතත් මෙය රටේ දේශපාලන ස්ථාවරත්වයට අහිතකර ලෙස බලපෑ හැකි අතර, මෙරට විදේශ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී අභියෝග මතුකරන්නටත් පුළුවන.

තවද, ඉන්දු පාකිස්තාන ගැටුමේදී, ශ්‍රී ලංකාවේ ජාතිවාදී ව්‍යාපාර යළි මතුවීමේ අවදානමක් පවතී. විශේෂයෙන්ම ආගමික හා ජනවාර්ගික ආතතීන් පවතින රටක, අසල්වැසි රටවල් අතර පවතින ආගමික ගැටුම් රටේ අභ්‍යන්තර සමගිය කෙරෙහි බලපෑම් කළ හැකිය.

සහයෝගිතාව

එපමණක් නොව, ඉන්දියාව හා පාකිස්තානය අතර ගැටුම තුළ මෙම රටවල් දෙකම ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් ඔවුන්ගේ පැත්තට නැඹුරු කර ගැනීමට උත්සාහ කරනු ඇත. මෙය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර දේශපාලන අරගලයක කේන්ද්‍රස්ථානයක් වීමට හේතු විය හැකිය. එක් අතකින් ඉන්දියාව, අමෙරිකාව වැනි බටහිර රටවල් සමඟ සමීප සහයෝගිතාවක් පවත්වන අතර, අනෙක් අතට පාකිස්තානය චීනය හා රුසියාව වැනි රටවල් සමඟ සමීප සබඳතා පවත්වයි. මේ අනුව ශ්‍රී ලංකාව විදේශ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී සංකීර්ණ ගැටලු මතු කරන්නට පුළුවන. මෙයින් අවසාන වශයෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර පවත්නා ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත්, ශ්‍රී ලංකාවට මෙන්ම මුළු දකුණු ආසියාතික කලාපයටම සැලකිය යුතු ආර්ථික, ආරක්ෂක,දේශපාලනික බලපෑම් ඇති කරනු ඇත. සැබැවින්ම, ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් මෙවැනි ගැටුම්වලින් ඉතා අහිතකර ලෙස බලපෑමට ලක්වන අතර, මේ ගැටුම්කාරී තත්ත්වය තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් මැදිහත්වීමේ අවශ්‍යතාව ද පැන නැඟී ඇත. ශ්‍රී ලංකාව වැනි රටවල්, සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු ආසියාතික කලාපයේ ගැටුම් අවම කිරීමට දායක විය යුතුය. එමෙන්ම, කලාපීය ආර්ථික හා ආරක්ෂක ස්ථාවරතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ද වැදගත් වේ.

ඉන්දියාව හා පාකිස්තානය අතර ගැටුම් නිරාකරණය කර ගැනීමේ ප්‍රධානතම විසඳුම වන්නේ සාකච්ඡා හා සංවාද මාර්ගයෙන් ගැටුමට තුඩුදුන් හේතු හඳුනාගෙන ඊට නිසි විසඳුම් සෙවීමයි. එසේම, මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීම ද අවශ්‍යය. ඒ අතරතුර ශ්‍රී ලංකාව මෙහිදී උපායමාර්ගික ලෙස සිය විදේශ ප්‍රතිපත්ති සැලසුම් කර ගත යුතු අතර, මේ ගැටුමෙන් ඇති විය හැකි ආර්ථික හා ආරක්ෂක බලපෑම් අවම කර ගැනීම සඳහා සූදානම් විය යුතුය. එහිදී කලාපීය හා ජාත්‍යන්තර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, ඉන්දු – පාකිස්තාන සබඳතා වර්ධනය සඳහා මැදිහත්වීම සහ කලාපීය සාමය හා ස්ථායීතාව සඳහා දායකවීම ද ඉතා වැදගත්ය.