යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කළ කැණීම්වලින් ඊයේ (ජූනි 29) තවත් මිනිස් සිරුරු හයකට අදාළ අස්ථි කොටස් මතු කර ගත් බව කැණීම් නිලධාරීහු පවසති.
ඒ අනුව, මේ දක්වා මිනිස් සිරුරු 33කට අදාළ අස්ථි කොටස් මතු කර ගෙන ඇති බව ඔවුහු පැවසූහ.
තෙවන අදියරේ සිව්වන දින කැණීම් කටයුතු ඊයේ දින සිදුවිය.
තෙවන අදියරේ තෙවන දින කැණීම් කටයුතු අවසාන වන විට මිනිස් සිරුරු 27කට අයත් අස්ථි කොටස් හමුවී තිබිණි.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ තෙවන අදියරේ කැණීම් කටයුතු ආරම්භ වූයේ ජූනි 26 වන දා ය.
ඒ අනුව, දින 15ක කාලයක් මෙම අදියරේ කැණීම් කටයුතු සිදුවීමට නියමිත ය.
දෙවන අදියර අවසානයේදී කැණීම් නිලධාරීන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ දින 45කට ආසන්න කාලයක් තෙවන අදියරේ කැණීම් සිදුකිරීමට අවසරය ලබා දෙන ලෙසයි.

තෙවන අදියරේ කැණීම්වල දෙවන හා තෙවන දිනයේදී කාන්තාවකගේ යැයි සැක කරන අස්ථි කොටස් කිහිපයක් මතු කර ගෙන ඇති අතර, අදාළ කාන්තාවගේ පපු ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරන අස්ථි කොටස් කිහිපයක් හමු වී තිබේ.
උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමය සඳහන් කළේ, මේ පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවන බවත් යම් අවස්ථාවක අදාළ දරුවා මවගේ තුරුලේ සිටියදී ඝාතනය වී ඇති බවට සැකයක් මතුවන බව ත් ය.
එමෙන් ම, ඊයේ මෙලෙස මෙම ස්ථානයෙන් පාසල් බෑගයක් බවට සැක කෙරෙන බෑගයක් මතු වී ඇති අතර ඒ අසල කුඩා දරුවෙකුගේ මළ සිරුරකට අදාළ අස්ථි කොටස් කිහිපයක් තිබී හමුව ඇත.
පාසල් බෑගය තුළ යමක් පවතින්නේ නම් ඒ හරහා මෙම අස්ථි කොටස් කුමන කාලයකට අයත් දැයි යන්න නිගමනය කළ හැකි බව ද උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමය සඳහන් කළේ ය.
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයක සිදුකළ කැණීමකින් මළ සිරුරු 5කට අයත් අස්ථි කොටස් කිහිපයක් හමුවූ බව යාපනය පොලිසිය පැවසුවේ ජූනි 2 වන දා ය.
මෙම සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට 2025 පෙබරවාරි මස 20 වන දා පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබිණි.
අදාළ අස්ථි කොටස් හමුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් පියවර ගෙන තිබුණු අතර ඉන් අනතුරුව එහි කැණීම් කටයුතු ආරම්භ විය.
පැවති වැසි තත්ත්වය මත අදාළ ස්ථානයේ කැණීම් කටයුතු කිරීමට නොහැකි වූ අතර, වැසි තත්ත්වය අඩු වීමෙන් පසු යාපනය පොලිසිය, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් සිදුකිරීමට නියෝගයක් ලබා ගත්තේ ය.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ 2025 මැයි 15 සිට 17 වන දා දක්වා අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කැණීම් සිදු කළ අතර, එහිදී මිනිස් සිරුරු දෙකකට අයත් අස්ථි කොටස් මතු කර ගැනීමට හැකි විය.
නමුත් වර්ෂාව හේතුවෙන් පළමු අදියරේ කැණීම් කටයුතු තාවකාලිව නවතා දැමිණි.
දෙවන අදියරේ කැණීම් කටයුතු ජූනි 2 වන දා සිට ජූනි 7 වන දා දක්වා පැවැත්වුණු අතර එහිදී මිනිස් සිරුරු 17කට අදාළ අස්ථි කොටස් මතු කර ගැනීමට හැකි විය.
තෙවන අදියරේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
යාපනය මහේස්ත්‍රාත් ඒ. ආනන්දරාජාගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව හා යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රණාවන් යන අයගේ ප්‍රධානත්වයෙන්, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන්, යාපනය පොලිසියේ නිලධාරීන් සහ බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් කැණීම් සිදු කරති.
මෙම මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් “සැකයක්” ඇති වන බව උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාජා කනකරංජනී පවසයි.
“හින්දු චාරිත්‍ර අනුව අපි මිය ගිය අයගේ සිරුරු වැඩිපුර ම අදාහනය කිරීම තම යි කරන්නේ. සිරුරු ආදාහනය කළා නම් මිනිස් අස්ථි කොටස් ඉතිරි වෙන්න විදිහක් නෑ. ඒත් දැන් මේ හින්දු සුසාන භූමිය ළඟින් හමුවුණ මිනිස් සිරුරුවල අස්ථි කොටස් සම්පූර්ණයෙන් ම දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා.”
ඇය සඳහන් කළේ, මෙම අස්ථි කොටස් අයත් සිරුරු හින්දු චාරිත්‍ර අනුව ආදාහනය කළේ නම්, අස්ථි කොටස් ඉතිරි වීමට ඇති සම්භාවිතාව ඉතා අවම බව ය.
“හින්දු චාරිත්‍ර අනුව ආදාහනය කළා නම් මේ අස්ථි කොටස් ඉතුරු වෙන්න විදිහක් නෑ. මේ අස්ථි කොටස් ඉතුරු වෙලා තියෙන්නේ මොකක් හරි හේතුවකින් මියගොස් භූමදානය කළ පිරිසකගේ අස්ථි කොටස්,” ඇය පැවසුවා ය.
“අනෙක් කාරණය තමයි මේ අස්ථි කොටස් හමුවෙලා තියෙන්නේ අඩි දෙකක්, තුනක් ගැඹුරින්. හින්දු චාරිත්‍ර අනුව යම් කෙනෙක් භූමදාන කළත් අඩු ම තරමේ අඩි පහක්වත් වළ හාරලා තමයි භූමදාන කරන්නේ. අපේ සිරිත් විරිත් අනුව එක ම තැනක පුද්ගලයින් පස් හය දෙනෙක් එකවර භූමදාන කරන්නේ නෑ. මේ කාරණා දිහා බැලුවා ම පේනවා මේ වෙන යම් හේතුවක් මත වළ දාපු පිරිසකගේ අස්ථි කොටස් කියලා,” ඇය තවදුරටත් සඳහන් කළා ය.
යුද්ධය පැවති සමයේ පුද්ගලයින් අතුරුදන්ව ඇති බැවින් මෙම අස්ථි කොටස් අයිති පුද්ගලයින් කවුරුන් ද? යන්න දැන ගැනීමට අවශ්‍ය බව උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාජා කනකරංජනී පවසයි.
“මේ අස්ථි කාගේ ද කියලා දැනගන්න ඕනේ. මොක ද යුද්දේ කාලයේ විශාල පිරිසක් අතුරුදන් වෙලා ඉන්නවා. ඒ අය ගැන කිසි ම තොරතුරක් නෑ. අපිට සැකයක් තියෙනවා අතුරුදන්වූවන්ගේ අස්ථි කොටස් මෙතන ඇති කියලා,” ඇය පැවසුවා ය.
ඇය අවධාරණය කළේ, ඔවුන් මේ සම්බන්ධයෙන් “අවධානයෙන්” සිටින බව ය.
“අපි අතුරුදන් වූවන්ගේ ඥාතීන් විදිහට කැණීම්වලින් හමුවන දේවල් ගැන හොයා බලනවා. අපේ නියෝජිතයින් කැණීම් කටයුතු ස්ථාන ගැන විමසිල්ලෙන් ඉන්නේ,” ඇය පැවසුවා ය.
“අතුරුදන් වූවන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ දක්වා රජයන් හරහා ලැබිලා නෑ. අපිට සැකයි අපේ අතුරුදන් වූවන් මරලා දාලා වළ දාන්න ඇති ද කියලා,” යෝගරාජා කනකරංජනී වැඩිදුරටත් සඳහන් කළා ය.