රිටිගල රක්ෂිතයේ කොඩිගල කන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී අතරමංව සිටි පුද්ගලයන් දෙදෙනකු රිටිගල වනසත්ව අඩවි ආරක්ෂකනිලධාරීන් විසින් බේරාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දෙදෙනාගෙන් එක් අයකු තමන් නාග ලෝකයෙන් පැමිණි සෘෂිවරයකු බවත් භාවනා කටයුතු සඳහා රිටිගලට පැමිණි බවත් ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, රාජාංගනය ප්‍රදේශයේ සහ මාතලේ, ලග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම 35 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ.

වනජීවී නිලධාරීන් පවසන්නේ, ඔවුන් පුරාවිද්‍යා නටඹුන් සහිත ප්‍රදේශයෙන් රක්ෂිතයට ඇතුළු වී කොඩිගල කන්ද තරණය කර ඇති බවයි. රක්ෂිතයට ඇතුළුවීම තහනම් බවට සඳහන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැන්වීම් පුවරුද නොසලකා ඔවුන් මෙලෙස ඇතුළු වී තිබේ.
වනජීවී නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් වලදී, අත්අඩංගුවට ගත් එක් පුද්ගලයකු ප්‍රකාශ කර ඇත්තේ තමන් “නාග ලෝකයෙන් පැමිණි සෘෂිවරයකු” බවත්, භාවනා කටයුතු සඳහා රිටිගලට පැමිණි බවත්ය. අනෙක් පුද්ගලයා තමන්ගේ “ආවතේවකරු” බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී ගිනිකූරු පෙට්ටි, ලයිටර, ඡායාරූප සහ වීඩියෝ කැමරාවක්, ඇඳුම් පැළඳුම් කිහිපයක්, හක් ගෙඩියක්, ඇට මාලයක් සහ කුඩා ප්‍රමාණයේ උඩැක්කියක් ඇතුළු භාණ්ඩ කිහිපයක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.