ලියුකේමියාවට ප්‍රතිකාරයක් සොයාගනී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වෛද්‍යවරුන්ට අනුව, කලක් විද්‍යා ප්‍රබන්ධයක් මෙන් සැලකුණු ප්‍රතිකාර ක්‍රමයක් දැන් ආක්‍රමණශීලී සහ සුව කළ නොහැකි බව සිතූ රුධිර පිළිකා සුව කිරීමට උපකාරී වී තිබේ.

මෙම ප්‍රතිකාරය ක්‍රියාත්මක වන්නේ, සුදු රුධිරාණු තුළ ඇති DNA නිවැරදිව සංස්කරණය කර පිළිකාවට පහර දිය හැකි “ජීවමාන ඖෂධයක්” බවට පත් කිරීමෙනි.

2022 දී මෙම ප්‍රතිකාරය ලැබූ පළමු දැරිය මේ වන විට පිළිකාවෙන් නිදහස් වී සිටින අතර දැන් පිළිකා පිළිබඳ විද්‍යාඥයෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටී.

‘ගෝල්ඩන් බ්ලඩ්’: ලෝකයේ දුර්ලභ ම රුධිර ප්‍රභේදය සායනිකව නිපදවීමට උත්සහ කරන්නේ ඇයි?
එතැන් සිට, තවත් දරුවන් 8 දෙනෙකු සහ T-cell acute lymphoblastic leukaemia රෝගයෙන් පෙළෙන වැඩිහිටියන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, මේ වන විට ඔවුන්ගේ රෝගී තත්ත්වය 64%ක ප්‍රතිශතයකින් සුව වී ඇත.

T-සෛල සාමාන්‍යයෙන් ශරීරයේ ආරක්ෂකයින් ලෙස සලකයි. ඔවුන්ගේ කාර්යය වන්නේ අනතුර සොයාගෙන එය විනාශ කිරීම යි. නමුත් මෙම වර්ගයේ ලියුකේමියාවේදී, T-සෛල පාලනයකින් තොරව වර්ධනය වීම සිදුවේ.

එම රෝගය සඳහා කීමෝතෙරපි සහ ඇටමිදුළු බද්ධ කිරීම් සාර්ථක වූයේ නැත. අත්හදා බැලීමේ රෝගීන් සඳහා, පර්යේෂණාත්මක ප්‍රතිකාර හැර ඉතිරිව ඇති එක ම තේරීම ජීවිතයේ අවසානයට ආසන්නව සිටින ඔවුන් සුවපහසු ලෙස තබා ගැනීම යි.

පියයුරු පිළිකාවලින් වැළකීමට ඉදිරි දශකයේදී එන්නතක්: එන්නත් 50ක් අත්හදාබැලීම් මට්ටමේ
“මම ඇත්තට ම හිතුවේ මං මැරෙයි කියලා. මට කවදාවත් ලොකු වෙනකම් ජීවත් වෙන්න බැරි වෙයි කියල හිතුණා. මට හිතුණේ හැම ළමයෙකුට ම කරන්න පුළුවන් දේවල් මට කරන්න මට කරන්න බැරි වෙයි කියලා,” ලෙස්ටර්හි 16 හැවිරිදි ඇලිසා ටැප්ලි පවසයි.

ග්‍රේට් ඕමන්ඩ් ස්ට්‍රීට් රෝහලේදී මෙම ප්‍රතිකාරය ලබා ගත් ලොව පළමු පුද්ගලයා ඇය යි. දැන් ඇය නැවතත් ඇගේ ජීවිතය විඳිමින් සිටින්නී ය.



වසර තුනකට පෙර විප්ලවීය ප්‍රතිකාර ක්‍රමය අනුව ඇගේ පැරණි ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙනුවට නව ප්‍රතිශක්තිකරණ පද්ධතියක් වර්ධනය කිරීම සිදුවිය. ඇය මාස හතරක් රෝහලේ නැවතී සිටි අතර කුඩා ආසාදනයක් පවා භයානක විය හැකි බැවින් ඇගේ සහෝදරයා බැලීමට පවා ඉඩක් නොලැබිණි.

දැන් ඇගේ පිළිකාව හඳුනාගත නොහැකි අතර, ඇයට කිරීමට ඇත්තේ වසරකට වරක් පමණක් පරීක්ෂාවකට යාමට පමණි. ඇලිසා ඇගේ උසස් පෙළ විභාගය සඳහා ඉගෙන ගනිමින්, එඩින්බරෝ ආදිපාද සම්මානය ලබා ගනිමින්, රිය පැදවීමේ පාඩම් ගැන සිතමින් සහ ඇගේ අනාගතය සැලසුම් කරමින් සිටී.

“මට ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලැබීමට අවශ්‍ය යි, කවදාහරි මම රුධිර පිළිකා ගැන පර්යේෂණ කරන්න බලාපොරොත්තු වෙනවා,” ඇය පැවසුවා ය.

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සහ ග්‍රේට් ඕර්මන්ඩ් ස්ට්‍රීට් රෝහලේ වෛද්‍ය කණ්ඩායම, පාදක සංස්කරණය ලෙස හැඳින්වෙන ක්‍රමයක් භාවිත කළහ.

පාදක යනු මූලික රසායනික ඒකක වේ. පාදක හතරක් ඇත: ඇඩිනීන් (A), සයිටොසීන් (C), ගුවානීන් (G) සහ තයිමින් (T) ඒවා වේ. මෙම පාදක අපගේ ජාන කේතය සාදයි. අකුරුවලින් වචන සාදන ආකාරයට ම, මෙම පාදක අපගේ ශරීරය ක්‍රියා කරන ආකාරය සඳහා උපදෙස් නිර්මාණය කරයි.

පාදක සංස්කරණය මගින් විද්‍යාඥයින්ට ජාන කේතයේ එක් නිශ්චිත ස්ථානයක් ගෙන එක් පාදකයක් පමණක් වෙනස් කිරීමට ඉඩ සලසයි. එහිදී එක් වර්ගයක පාදකයක් තවත් පාදකයක් බවට පත් කළ හැකි ය. මෙය ශරීරයේ මූලික රසායනික ඒකක දෙන උපදෙස්වලින් කුඩා කොටසක් නැවත ලිවීමට ඉඩ සලසයි.


පිළිකාවට එරෙහිව සටන් කිරීම සඳහා නිරෝගී T-සෛල භාවිත කිරීමට පර්යේෂකයන්ට අවශ්‍ය විය. සාමාන්‍යයෙන්, T-සෛල අනතුර සොයාගෙන එය විනාශ කරයි. අදහස වූයේ මෙම නිරෝගී T-සෛල, T-cell acute lymphoblastic leukaemia රෝගයට පහර දීම ය.

මෙය ඉතා අභියෝගාත්මක විය. පිළිකා සෛල විනාශ කිරීමට හැකි වන පරිදි කණ්ඩායමට නිරෝගී T-සෛල වෙනස් කිරීමට සිදු වූයේ ප්‍රතිකාරයට හානියක් නොකිරීමට ය.

ඔවුහු පරිත්‍යාගශීලියෙකුගෙන් ලබාගත් නිරෝගී T-සෛලවලින් ආරම්භ කළ අතර ඒවා වෙනස් කිරීමට පටන් ගත්හ.

පළමු පාදක සංස්කරණය මගින් T-සෛලවල ඉලක්ක කිරීමේ යාන්ත්‍රණය අක්‍රිය කරන ලද අතර එම නිසා ඒවාට රෝගියාගේ ශරීරයට පහර දීමට නොහැකි විය.

දෙවැන්න මගින් සියලු ම T-සෛලවල තිබූ CD7 නම් රසායනික සලකුණ ඉවත් කරන ලදී. ප්‍රතිකාරය ස්වයංව විනාශ වීම වැළැක්වීම සඳහා එය ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ.

තෙවන සංස්කරණය නොපෙනෙන පළිහක් මෙන් ක්‍රියා කළේ ය. එය රසායනික ප්‍රතිකාර ඖෂධයක් මගින් සෛල මරා දැමීමෙන් ආරක්ෂා කළේ ය.

මරණය අබියස සිට විවාහය දක්වා: පිළිකාවකින් දිවි ගලවාගෙන අවයව තුනක් බද්ධ කිරීමෙන් පසු විවාහය සැලසුම් කරන ජෙසිකා
ජාන වෙනස් කිරීමේ අවසාන අදියරේදී T-සෛලවලට CD7 සලකුණ සහිත ඕනෑ ම දෙයකට පහර දීමට උපදෙස් දෙන ලදී.

දැන්, වෙනස් කරන ලද T-සෛල, ඒවා පිළිකාමය හෝ සෞඛ්‍ය සම්පන්න ද යන්න සොයා ගත් අනෙකුත් සෑම T-සෛලයක් ම විනාශ කරනු ඇති නමුත් ඒවා එකිනෙකාට පහර නොදෙනු ඇත.

මෙම ප්‍රතිකාරය රෝගීන්ට එන්නත් කරනු ලබන අතර සති හතරකට පසු ඔවුන්ගේ පිළිකාව හඳුනාගත නොහැකි නම්, රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත වර්ධනය කිරීම සඳහා ඇටමිදුළු බද්ධ කිරීමක් සිදු කරනු ලැබේ.

“වසර කිහිපයකට පෙර නම් මේක විද්‍යා ප්‍රබන්ධයක් වෙන්න තිබුණා,” ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සහ ග්‍රේට් ඕර්මන්ඩ් ස්ට්‍රීට් රෝහලේ වෛද්‍යවරයෙකු වන මහාචාර්ය වසීම් කාසිම් පවසයි.

“අපි මුළු ප්‍රතිශක්තිකරණ පද්ධතිය ම වෙන් කළ යුතු යි… ඒක ඉතා ගැඹුරු හා අභියෝගාත්මක ප්‍රතිකාරයක් වුණත් ඒක ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා,” ඔහු එක් කළේ ය.

මෙම අධ්‍යයනය New England Journal of Medicine සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී. එයට ග්‍රේට් ඕර්මන්ඩ් ස්ට්‍රීට් රෝහලේ සහ කිංග්ස් කොලේජ් රෝහලේ ප්‍රතිකාර ලැබූ පළමු රෝගීන් 11 දෙනාගේ ප්‍රතිඵල ඇතුළත් වේ. මෙම රෝගීන්ගෙන් නව දෙනෙකුට ඉතා හොඳ සුවයක් ලැබුණු අතර ඇටමිදුළු බද්ධ කිරීමට අවස්ථාව හිමි විය.

ප්‍රතිකාර කිරීමෙන් පසු මාස ​​තුනේ සිට අවුරුදු තුනක් දක්වා කාලය තුළ රෝගීන් හත් දෙනෙක් රෝගයෙන් නිදහස්ව සිටිති.

ප්‍රතිකාරයේ ඇති බරපතළ ම අවදානම්වලින් එකක් වන්නේ, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉවත් කරන අතරතුර ආසාදන ඇතිවීම යි.


අවස්ථා දෙකකදී, පිළිකාවේ CD7 සලකුණු නැති වී ගිය අතර, එමගින් එය ප්‍රතිකාරයෙන් සැඟවී ශරීරය තුළ නැවත වර්ධනය විය.

“මෙම වර්ගයේ ලියුකේමියාව ඉතා ආක්‍රමණශීලී බැවින්, මෙම ප්‍රතිඵල කැපී පෙනෙනවා. කිසිවක් ඉතිරි නොවූ රෝගීන්ට බලාපොරොත්තුවක් ලබා දීමට හැකි වීම ගැන මම ඉතා සතුටු වෙනවා,” ග්‍රේට් ඕර්මන්ඩ් ස්ට්‍රීට් රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍ය රොබට් චීසා පැවසීය.

කිංග්ස්හි රුධිරය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩෙබොරා යාලොප් මෙසේ පැවසුවා ය: “අපි ඉතා ශක්තිමත් ප්‍රතිචාර දැක තිබෙනවා. සුව කළ නොහැකි බව කී ලියුකේමියාව නැති කරන්න ප්‍රතිකාරයක් සොයා ගත්තා. ඒක ප්‍රබල ප්‍රවේශයක්.”

පර්යේෂණය පිළිබඳව අදහස් දක්වමින්, එක්සත් රාජධානියේ ප්‍රාථමික සෛල පුණ්‍යායතනයක් වන ඇන්තනි නෝලන්හි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ටානියා ඩෙක්ස්ටර් මෙසේ පැවසුවා ය: “මෙම රෝගීන්ට [මේ ප්‍රතිකාරය] අත්හදා බැලීමට පෙර දිවි ගලවා ගැනීමේ අවස්ථාව ඉතා අඩු යි. මෙවැනි ප්‍රතිකාර ක්‍රම තවදුරටත් වැඩිදියුණු වෙලා අනාගතයේදී තවත් රෝගීන් වෙත ළඟා වනු ඇතැයි මෙම ප්‍රතිඵල බලාපොරොත්තුවක් ලබා දෙනවා.”