හදිසි මිලදී ගැනීම් යටතේ ගල් අඟුරු ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ සඳහා දැනට ලියාපදිංචි වී සිටින සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවීමට ලංකා ගල් අඟුරු සමාගම පියවර ගෙන ඇත.
බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරියේදී බලශක්ති අර්බුදයක් ඇතිවීම වැළැක්වීමේ පූර්ව සූදානමක් ලෙස මෙම තීරණය ගත් බවයි. විශේෂයෙන්ම මෙරටට මෑතකදී ගෙන්වන ලද ගල් අඟුරු නැව්ගත කිරීම් කිහිපයක් මූලික තත්ත්ව පරීක්ෂාවලින් අසමත් වීම හේතුවෙන්, අවශ්‍යතාවක් මතු වූ සැනින් කඩිනමින් ගල් අඟුරු ලබාගැනීම මෙහි අරමුණයි.
මින් පෙර ඉන්දියාවේ ප්‍රසිඩන්ට් චෙම්පර් (President Chamber) සමාගම වෙත ලබා දී තිබූ ටෙන්ඩරය යටතේ මෙරටට ලැබුණු ගල් අඟුරු තොගවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු මතු වී තිබේ. ලක්විජය බලාගාරයේ දත්තවලට අනුව, දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද මෙම ගල් අඟුරු දහනය කිරීමේදී නිකුත් වන තාප ප්‍රමාණය විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් නොවන බව අනාවරණය වී ඇත.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, මෙරටට පැමිණි නැව් 10ක් අතුරින් නැව් හයක පරීක්ෂණ වාර්තා ලැබී ඇති බවයි. එම නැව්වල අඩංගු වූ ගල් අඟුරුවල තාප ධාරිතාව නියමිත ප්‍රමිතියට (කිලෝ ග්‍රෑමයට කිලෝ කැලරි 5,900) වඩා අඩුවීම හේතුවෙන් අදාළ සමාගමෙන් දඩ මුදල් අය කිරීමට පියවර ගෙන ඇත.
අය කර ඇති දඩ මුදල් මෙසේය:
පළමු නැව සඳහා ඩොලර් මිලියන 2.07.
දෙවන නැව සඳහා ඩොලර් 436,001.
තෙවන නැව සඳහා ඩොලර් 484,929.
සිව්වන නැව සඳහා ඩොලර් 345,652.
පස්වන නැව සඳහා ඩොලර් 500,192.
හයවන නැව සඳහා ඩොලර් 510,677.
අදාළ ටෙන්ඩරය ලබාදීමේදී රෙගුලාසි උල්ලංඝනය කරමින් දූෂිත ක්‍රියාවන් සිදුව ඇති බවට එල්ල වන චෝදනා සහ සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දීමට මේ වන විටත් කමිටුවක් පත් කර තිබේ. කෙසේ වෙතත්, අවශ්‍යතාවක් මතු වුවහොත් එළඹෙන අප්‍රේල් මාසයට පෙර මෙම නව ගල් අඟුරු තොගය මිලදී ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

