සුරේෂ් සලේගේ බිරිඳගෙන් පොලිස්පතිට ලිපියක්.

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ සුරේෂ් සලේ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී අමානුෂික ලෙස සලකා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින්ය.

රැඳවුම් භාරයේ පසුවන සිය සැමියාට වධහිංසා පැමිණවීම, කුරිරු සහ අමානුෂික ලෙස සැලකීම, නිල බලය අභිභවා කටයුතු කිරීම, වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සිදුකර ඇති බව කියන වැරදි සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඇය එම ලිපියෙන් ඉල්ලා ඇත.

ඊයේ (06) සිය පුත්‍රයා සහ ඔහුගේ සහෝදරයා හමුවූ අවස්ථාවේදී සුරේෂ් සලේ මහතා ලබාදුන් තොරතුරු පදනම් කරගනිමින් කරුණු 10ක් මෙම ලිපිය මඟින් පොලිස්පතිවරයා වෙත පෙන්වා දී තිබේ. 

එහි සඳහන් වන්නේ, පවතින තත්ත්වය හමුවේ ඔහුගේ ජීවිත ආරක්ෂාව, සෞඛ්‍යය සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ බරපතළ ගැටලුවක් මතුව ඇති බවය.

තමන් මුහුණදෙන දැඩි මානසික පීඩනය සහ අසාධාරණය තවදුරටත් දරාගත නොහැකි බැවින්, තමන් මේ වන විට මරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව සලේ මහතා සිය පවුලේ සාමාජිකයන්ට දන්වා ඇත.

කෙසේ වෙතත්, අධිකරණය හමුවේ පවතින රීට් පෙත්සම් මඟින් තමන් නිවැරදිකරු බව ඔප්පු වන බවට තමන්ට පූර්ණ විශ්වාසයක් ඇති බවත්, යම් හෙයකින් තමන් මියගියහොත්, නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස නීතිඥවරුන්ට උපදෙස් දී ඇති බවත් ඔහු පවසා තිබේ.

සිය සැමියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් වහාම මැදිහත් වන ලෙස මනෝරි සලේ මහත්මිය මෙම ලිපිය හරහා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

ඇය පෙන්වා දෙන්නේ, මීට පෙර මාර්තු 07 වෙනිදා ද මෙවැනිම අමානුෂික සැලකීම් පිළිබඳව පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ නමුත්, ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය.

එම විමර්ශනය සඳහා කිසිදු නිලධාරියෙකු පත්කර ඇති බවක් හෝ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවක් පවුලේ සාමාජිකයන්ට දැනුම් දී නොමැති බවද ඇය පවසන්නීය.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සිටින පුද්ගලයෙකුගේ ජීවිතය, සෞඛ්‍යය, ගෞරවය සහ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බලධාරීන්ට පැහැදිලි වගකීමක් ඇති පසුබිමක, පෙර පැමිණිල්ලට මෙතෙක් ප්‍රතිචාර නොදැක්වීම බරපතළ ගැටලුවක් බව ලිපියේ සඳහන් වේ.

එබැවින්, මෙම ලිපිය නැවත වරක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් ලෙස සලකා, වහාම මේ පිළිබඳව විමර්ශනයක් පවත්වා වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙස ඇය පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.