ලොවම කම්පා කළ නේපාල ව්‍යසනය 

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නේපාලයේ ඇතිවූ හදිසි ජල ගැලීම් තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් නවතම අනාවරණයක් සිදුකර තිබේ.

නේපාලයේ ඇතිවූ හදිසි ජල ගැලීම් තත්ත්වය සම්බන්ධයෙන් විවිධ වූ මතයන් ඉදිරිපත් වී තිබේ.

මුලින්ම වාර්තා වූයේ නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයක් භූ කම්පනයක් හේතුවෙන් නායගොස්, චීනයේ සිට ගලාබසින බෝත්කොෂි ගංගාවේ අතු ගංගාවක් වන ටිබෙටයේ ලෙන්දේ කෝලා ගඟට පෙරළී බෝත්කොෂි ගංගාවේ ජල මට්ටම ඉහළයාමෙන් මෙම හදිසි ආපදා තත්ත්වය ඇති වූ බවයි.

කෙසේවෙතත්, අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සිදුකළ වැඩිදුර විශ්ලේෂණවලින් හෙළිවී ඇත්තේ භූ කම්පනයක් නොව, ග්ලැසියරය කඩා වැටීමෙන් සිදුවූ නායයෑමක් හේතුවෙන් ගංගාවේ ජල මට්ටම එකවර ඉහළ ගොස් මෙම දැවැන්ත ජල ගැලීම හටගන්නට ඇති බවයි.

පුද්ගලයන් සිය ගණනකට දිවි අහිමි කළ සහ තවත් සිය ගණනක් අතුරුදන් කළ මහා ජලගැලීම් ආපදාවක් නේපාලයට ඊයේ බලපෑවේ එරට වේලාවෙන් පෙරවරු 8.30ට පමණි.

හදිසියේ හටගත් මෙම දැවැන්ත ජල කඳට හසුවී පුද්ගලයින් රැසක් මියගොස් ඇති අතර ඒ අතරින් මළසිරුරු 170කට වැඩි ප්‍රමාණයක් අද (27) පෙරවරු කාලය වනවිට සොයාගෙන ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

නේපාල – චීන ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ මෙම දරුණු ආපදා තත්ත්වයෙන් නිවාස, මාර්ග සහ පාලම් රැසක් සම්පූර්ණයෙන්ම විනාශවුණි.

ජල ගැලීම්වලින් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ නේපාලයේ චිත්වාන් දිස්ත්‍රික්කයට වන අතර එරට නුවකොට්, ධාඩිං, ගෝර්කා, තනාහුන් සහ නවාල්පූර් යන ප්‍රදේශවලින්ද දරුණු හානි වාර්තා වී තිබේ.

විශාල ජල ගැල්මත් සමඟ මඩ සහ ගල් විශාල ප්‍රමාණයක් පහළ ප්‍රදේශ වෙත ගලාඒමෙන් ගම්මාන රැසක් මඩවලින් යටවී ඇති බව වාර්තා වෙයි.

අතුරුදන්වූවන් සෙවීමේ සහ සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.