අමෙරිකාවෙන් මෙරටට තවත් බදු සහනයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමෙරිකාවට වෙනත් රටවල්වලින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා බලහත්කාරී ශ්‍රමය සම්පූර්ණ වශයෙන් ම යොදාගෙන හෝ අර්ධ වශයෙන් යොදාගෙන තිබෙන්නේදැයි විමර්ශනය කිරීමේ අරමුණින්, ඇමෙරිකා එක්සත් ජනපද එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය විසින් එලෙස භාණ්ඩ අපනයන කරනු ලබන රටවල් 60ක් සම්බන්ධයෙන් 2026 මාර්තු මාසයේදී විමර්ශනයක් ආරම්භ කරන ලදී.

ඒ අනුව, මේ වන විට එම විමර්ශනයට අදාළව අවසන් තීරණයකට පැමිණ උක්ත රටවල් සඳහා පනවන තීරු බදු ප්‍රතිශත එම ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, එම රටවල් අතර සිටින ශ්‍රී ලංකාවට ඒ අනුව 10% ක තීරු බද්දක් පැනවීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් යෝජිත තීරු බද්ද 12.5%ක් වූ නමුත් අවසාන තීරණය නිවේදනය කිරීමේදී එය 10%ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

2026 මාර්තු 12 වන දින එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය විසින් නිවේදනය කළේ ඔවුන්ගේ රටට භාණ්ඩ ආනයනය කරනු ලබන රටවල්වල එම භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී බලහත්කාරී ශ්‍රමය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් යොදාගෙන තිබෙන්නේ ද යන්න සම්බන්ධයෙන් රටවල් 60ක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව යි.

1974 වෙළඳ පනතේ 301 වන වගන්තිය ප්‍රකාරව ඇරඹි මෙම විමර්ශනය ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය ඇතුළු දකුණු ආසියානු රටවල් ඇතුළුව, ප්‍රධාන වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කරනු ලබන රටවල් 60ක් සම්බන්ධයෙන් සිදු කරන ලදී.

මෙම රටවල් සම්බන්ධයෙන් නිර්ණායක සලකා බැලීමෙන් අනතුරුව බලහත්කාරී ශ්‍රමය සහිත භාණ්ඩ ආනයනය කිරීම තහනම් කර ඇති හෝ එලෙස තහනම් කිරීමට කැපවී සිටින රටවල් සඳහා 10%ක තීරු බද්දක් ද, අනෙකුත් විමර්ශනය කරන ලද රටවල් සඳහා 12.5%ක තීරු බද්දක් පැනවීමටත් උක්ත කාර්යාලය විසින් මුලින් යෝජනා කරන ලදී.

එහිදී මුල් අවස්ථාවේ ශ්‍රී ලංකාව සිටියේ බලහත්කාරී ශ්‍රමය සහිත භාණ්ඩ ආනයනය කිරීම තහනම් කර ඇති හෝ එලෙස තහනම් කිරීමට කැපවී සිටින රටවල් ලෙස නම් කර තිබූ රටවල් අතර නොවූ බැවින් ශ්‍රී ලංකාවට යෝජිත තීරු බද්ද වී තිබුණේ 12.5%කි.

පසුව මෙම වෙළඳ නියෝජිත කාර්යාලය විසින් සිදු කරන ලද සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාවට පනවනු ලබන්නේ 10%ක තීරු බද්දක් පමණක් බව ජූලි 23 වන දින මේ සම්බන්ධයෙන් නිකුත් කළ අවසන් තීරණයේ දක්වා තිබේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල් කිහිපයක් එම සාකච්ඡාවලින් පසුව බලහත්කාරී ශ්‍රමය යොදාගත් භාණ්ඩ ආනයනය තහනම් කිරීමට පියවර ගැනීමත් සමග එම තීරණයට එළැඹුණු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නිල නිවේදනයේ දැක්වේ.

මෙලෙස බලහත්කාරී ශ්‍රමය සම්බන්ධයෙන් එක්සත් ජනපදය අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර ජූලි 10 වන දින ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ඔහුට පැවරී ඇති බලතල අනුව, මින්පසුව ආනයන සිදු කිරීමේදී අනුගමනය කළ යුතු රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී.

මෙම රෙගුලාසි “2026 අංක 07 දරන භාණ්ඩ ආනයනය තහනම් කිරීම පිළිබඳ ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි” ලෙස නම් කර තිබේ.

ඒ අනුව, බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන්, කැණීම් කරනු ලබන, නිෂ්පාදනය කරනු ලබන හෝ නිම කරනු ලබන ඕනෑ ම භාණ්ඩයක් ආනයනය කිරීම මෙයින් තහනම් කර තිබේ.

මෙහිදී ආනයනය කරන භාණ්ඩවල ඉහත ආකාරයේ බලහත්කාරී ශ්‍රමයක් නොමැති බව තහවුරු කිරීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කලින් කලට නියම කරනු ලබන ලේඛනමය සාක්ෂි, ප්‍රකාශ හෝ සහතික ඉදිරිපත් කිරීම කළ යුතු ය.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ වගකිවයුතු නියාමන අධිකාරිය වන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ය.

මුදල් අමාත්‍යංශය විසින් ජූලි 24 දින නිකුත් කළ නිවේදනයක ද දැක්වෙන්නේ මෙම අතිවිශේෂ ගැසට්ටුව නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස යෝජිත තීරු බදු ප්‍රතිශතය 10%ක් දක්වා අඩුවූ බව ය.

මේ අතර ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන මහින්ද සමරසිංහ සිය ෆේස්බුක් ගිණුමේ ජූලි 24 තැබූ සටහනක සඳහන් කර ඇත්තේ මෙලෙස තීරු බද්ද 10%ක් දක්වා අඩු කරගැනීමට හැකි වූයේ ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමේ කැපවීම මත බව ය.

“ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම, අතිගරු ජනාධිපතිතුමන්ගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ අදාළ නියෝග, මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම (දූත කණ්ඩායමේ නායක), මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, වෙළඳ ලේකම් විමලේන්දිරරාජා, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩල සභාපති දුමින්ද හුලංගමුව සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා දූත පිරිසේ දැඩි කැපවීම සහ දක්ෂ ලෙස ඉලක්කගතව සාකච්ඡා පැවැත්වීම, දෛනික සම්බන්ධීකරණය, බුද්ධි තොරතුරු රැස් කිරීම, උපදෙස් සහ වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ හිත ගොඩනැගීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම හිතකර ප්‍රතිඵලය ලැබුණි,” යැයි ඔහු සඳහන් කර තිබේ.