කොළඹ වරායේ ඩොලර් මි.392ක ව්‍යාපෘතිය ගැන වරාය අධිකාරිය පැහැදිලි කරයි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරායේ නවීන සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සැලසුම අත්හැර දමා නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

වරාය අධිකාරිය සඳහන් කරනුයේ කොටස් හිමියන් ඉවත් වුවද ඒ වෙනුවට තරගකාරි ලංසු ක්‍රියාවලියක් හරහා රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් යටතේ නව සැපයුම් මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බවය.

නව ව්‍යාපෘතිය සඳහා කොළඹ වරාය තුළ සැලකිය යුතු භූමි ප්‍රමාණයක් භාවිත කිරීමට නියමිත අතර, වරාය ආශ්‍රිත සහ අගය එකතු කළ සැපයුම් සේවා රැසකට සහාය වන ඒකාබද්ධ පහසුකමක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඔවුන් පෙන්වා දෙනුයේ මෙමගින් කොළඹ වරාය බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පමණක් නොව, පුළුල් සමුද්‍රීය හා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම මෙහි අරමුණ බවය.

එමෙන්ම පෙර හවුල් ව්‍යාපෘතිය නවතා දැමීම සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් ඉවත්වීමක් නොව, වරායේ දිගුකාලීන වාණිජ සහ උපායමාර්ගික අරමුණු සමඟ වඩාත් ගැළපෙන විකල්ප සංවර්ධන ක්‍රමයක් වෙත යොමුවීමක් බවද ඔවුන් අදාළ නිවේදනය මගින් සඳහන් කර තිබේ.

කොළඹ වරාය තුළ නවීන සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා සැලසුම් කර තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 280කට ආසන්න වටිනාකමකින් යුත් හවුල් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන නොයාමට එහි කොටස් හිමියන් තීරණය කර තිබුණි.

මෙම ව්‍යාපෘතිය South Asia Commercial and Logistics Hub නමින් 2023 වසරේ පිහිටුවන ලද සමාගමක් හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර, China Merchants Port Holdings Company Limited සමාගමේ පූර්ණ අනුබද්ධ සමාගමකට එහි සියයට 70ක කොටස් හිමිකමක් තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ Access Engineering PLC සමාගම් දෙකටම සියයට 15 බැගින් කොටස් හිමිව තිබුණි.

යෝජිත ව්‍යාපෘතිය යටතේ වර්ග මීටර් 150,000කට ආසන්න ධාරිතාවක් සහිත නවීන සැපයුම් පහසුකමක් ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර, කොළඹ වරායේ සැපයුම් හැකියාවන් ශක්තිමත් කර එය ප්‍රධාන කලාපීය සමුද්‍රීය හා සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම මෙහි අරමුණ විය.

කෙසේ වෙතත්, පවතින බාහිර තත්ත්වයන්, වාණිජමය කරුණු සහ කොටස් හිමියන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීමෙන් පසු එම හවුල් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන නොයාමට තීරණය කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව, කොටස් හිමියන් විසින් සිදුකර ඇති ප්‍රාග්ධන දායකත්වයන් ආපසු ගෙවීමට නියමිත අතර, එහි සමස්ත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 29.8කට ආසන්න වේ.

අදාළ නියාමන අවශ්‍යතා සහ මෙහෙයුම් වියදම් සැලකිල්ලට ගනිමින්, එම මුදල් එක් එක් පාර්ශ්වයේ කොටස් ප්‍රමාණයට අනුව ආපසු ගෙවීමට නියමිත බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.