දුම්රියකට යටවී අනතුරට පත් කාන්තා සෙබළියකගේ දිවි බේරාගත් පුද්ගලයා යුද්ධ හමුදාධිපතිගේ ඇගයීමට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2026 නොවැම්බර් මස 18 දින හෝමාගම, ගොඩගම ප්‍රදේශයේදී සිදුවූ අනතුර හේතුවෙන් දුම්රියට යටවී සිටි තරුණ කාන්තා සෙබළියකගේ දිවි බේරාගැනීම සඳහා සිය ජීවිත අවදානම ද නොතකා වීරෝදාර ලෙස ක්‍රියා කළ චින්තක ගමගේ මහතා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න විසින් ඇගයීමට ලක් කරන ලදී. ඒ අනුව, 2026 නොවැම්බර් මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී චින්තක මහතා යුද්ධ හමුදාධිපති හමුවූයේය.

අදාළ අනතුර සිදුවූ අවස්ථාවේදී දුම්රියට යටවී සිටි තුවාල ලැබූ කාන්තා සෙබළියගේ දිවි බේරාගැනීම සඳහා දුම්රිය යටින් රිංගා ගොස් සිය ජීවිතය ද දැඩි අවදානමකට ලක් කරමින් ඇය ආරක්ෂිතව ඉන් මුදාගැනීමට චින්තක ගමගේ මහතා කටයුතු කර තිබිණි. එම වීරෝදාර ක්‍රියාවෙන් අනතුරුව ඔහු තුවාල ලැබූ සෙබළියට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සහතික කිරීම සඳහා ඇය රෝහල්ගත කරන තෙක්ම ඇය සමඟ රැඳී සිටීමට ද කටයුතු කර ඇත.

මෙම හමුවේදී චින්තක ගමගේ මහතාගේ අසමසම ධෛර්යය, කරුණාව සහ පරාර්ථකාමී මැදිහත්වීම යුද්ධ හමුදාධිපතිගේ විශේෂ ප්‍රශංසාවට ලක් වූ අතර, හදිසි අවස්ථාවකදී අන්‍යයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව ඉදිරිපත් වීම සමාජයේ සෑම පුද්ගලයකු තුළම පැවතිය යුතු උතුම් මානුෂීය ගුණාංගයක් බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

තවද, සිය පෞද්ගලික ආරක්ෂාව පවා නොතකා තවත් පුද්ගලයකුගේ ජීවිතය බේරාගැනීම සඳහා එක් පුද්ගලයකු ගනු ලබන නිර්භීත තීරණයක් මගින් අන්‍යයන්ගේ ජීවිතවලට කෙතරම් විශාල බලපෑමක් සිදුකළ හැකිද යන්න චින්තක ගමගේ මහතාගේ ක්‍රියාව තුළින් මනාව පිළිබිඹු වන බවත්, එවැනි ආදර්ශවත් ක්‍රියාවන් සමාජය තුළ ධෛර්යය, කරුණාව සහ මානුෂීයත්වය වැනි උතුම් ගුණාංග තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට මහඟු ආදර්ශයක් සපයන බවත් යුද්ධ හමුදාධිපති වැඩිදුරටත් සඳහන් කළේය.